iMAGE: Vikalpa

ශ්‍රී ලංකා රජය විසින් නීතිඥයන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ මාධ්‍යවේදීන් යන අයගේ ජීවිතවල ආරක්ෂාව අනතුරේ හෙළමින් ඉලක්කගත ව සිදු කරන අත්අඩංගුවට ගැනීම්, බියවැද්දීම්, සහ තර්ජන නවතා දැමිය යුතු බවට 2020 ජූලි 29 දින ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 10 ක්  එකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව Amnesty International, CIVICUS: World Alliance for Citizen Participation,  Asian Forum for Human Rights and Development (FORUM-ASIA), Front Line Defenders,Human Rights Watch,International Commission of Jurists,International Service for Human Rights,Reporters Without Borders, South Asians for Human Rights, World Organisation Against Torture (OMCT), FIDH: in the framework of the Observatory for the Protection of Human Rights Defenders යන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙයට අත්සන් තබා තිබේ.

ඔවුන් විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය විකල්ප වෙබ් අඩවිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව ඒ අනුව මෙලෙස පහතින් පළ කරමු.

ශ්‍රී ලංකාව : මානව හිමිකම් අනතුරක

නීතිඥයන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට, තර්ජනයන්ට සහ බියවැද්දීමට ලක් කෙරේ.

2020 ජූලි 29: ශ්‍රී ලංකා රජය විසින් නීතිඥයන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ මාධ්‍යවේදීන් යන අයගේ ජීවිතවල ආරක්ෂාව අනතුරේ හෙළමින් ඉලක්කගත ව සිදු කරන අත්අඩංගුවට ගැනීම්, බියවැද්දීම්, සහ තර්ජන නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන 10ක්, ජූලි 29  දින ප්‍රකාශ කර සිටියහ. 2019 ජනාධිපතිවරණ සමයේ සිට බියජනක තත්ත්වක් දක්නට ලැබුණු අතර එහි අඳුරු සේයාවන් 2020 පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළ ද දිස්වන අයුරක් පෙනෙන්නට ඇත.

මෙම තත්වය තුල, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් සහ විදේශ ආධාරකරුවන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව අයිතිවාසිකම්වල ගරුත්වය, ආරක්ෂාව සහ පරිපූර්ණත්වය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් හඬ නැගිය යුතු ය. එමෙන් ම, පසුගිය වසරවලදී මානව අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් අසීරුවෙන් අත්පත් කරගත් ප්‍රගතීන් ආපස්සට හැරවීම නැවැත්වීම උදෙසා හඬ නැගිය යුතුව ඇත.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්‍යාලය ඇතුළු බොහෝ සිවිල් ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පමුණුවා ඇත. සාමාන්‍ය ජනතාව විසින් හොබවන ලද තනතුරු විශාල ප්‍රමාණයකට සේවයේ නියුතු සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල වශයෙන් පත් කර ඇත. “ආරක්ෂාකාරී රටක්, විනයවත්, ගුණවත් සහ යුක්තියුක්ත සමාජයක්.” බිහි කිරීමේ අදහසින්, බලධාරීන් විසින් ජනාධිපති කාර්‍ය සාධක බලකාය වැනි ඕනෑම රජයේ නිලධාරියෙකුට විධාන දිය හැකි හමුදාමය ආයතන (military-led bodies) ස්ථාපිත කරනු ලැබූහ. මෙය රට මිලිටරිකරණය කිරීමේ භයානක රැල්ලක් පිළිබඳ හඟවයි. ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති වැනි රජයේ බොහෝ අය 2009 වසරේ අවසන් කෙරුණු සන්නද්ධ අරගලයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය වෙති.

පවතින රජයට එරෙහි මතවාද සහ හඬනැගීම් සිදු කරන නීතිඥයන්, ජනමාධ්‍යවේදීන්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් සහ අපවාදවලට ලක් වූ ප්‍රජාව මේ වන විට පොලිසිය, බුද්ධි අංශ සහ රජයේ මාධ්‍යයන්ගේ ගොදුරු බවට පත් ව ඇත.

2019 නොවැම්බර් මස ජනාධිපතිවරණයේ සිට සිවිල් සමාජයට මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති අවස්ථාවන් සීමා කිරීමට රජය පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දිගින් දිගටම කටයුතු කළහ. 2020 ජූලි 06 වන දින මැතිවරණ රැලියක දී අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ “මහමැතිවරණයෙන් පස්සේ එන්ජීඕ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන් ම විදේශ රටවලින් මේවට මුදල් ලැබෙන විදිය ගැන. ඒ වගේ ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ද නිරීක්ෂණය කරනවා” යනුවෙනි. පසුගිය රජය සමයේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වග විභාගයක් ද රජය විසින් නිවේදනය කර ඇත.

2019 නොවැම්බර් මස ජනාධිපතිවරණයෙන් පසු මාස කිහිපයක් තුළ ආයතන ගණනාවකට බුද්ධි අංශ නිලධාරීන්ගේ පැමිණීම් වාර්තා වී ඇති අතර එකී බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම ආයතන කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ විස්තර, වැඩසටහන් සහ අරමුදල් පිළිබඳ තොරතුරු විමසා ඇත. විශේෂයෙන් ම, එම ආයතන යුද්ධයෙන් බැට කෑ උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබූ ආයතන ය. එවැනි පැමිණීම් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට හිරිහැර කිරීමට සහ බියවැද්දීමට කළ නින්දා සහගත උත්සාහයන් ය.

පෙබරවාරි මස මුලතිව් දිස්ත්‍රික් (උතුරු පළාත) වැඩ බලන දිස්ත්‍රික් ලේකම් විසින් නිකුත් කළ විධානයකට අනුව රාජ්‍ය නොවන සංවිධානයක පැවැත්මට අවම වශයෙන් එහි 70%ක ක්‍රියාකාරීත්වය සංවර්ධන ක්‍රියාදාමයන් මූලිකව සිදුවිය යුතුය. එය විශාල පරාසයක රාජ්‍ය නොවන සංවිධානවල වැඩකටයුතු අකර්මණ්‍ය කළා සේ ම අත්තනෝමතික අතපෙවීම්වලට බලය සැපයීමක් ද විය. යාපනය පදනම් කරගෙන පවතින පරේෂණ ආයතනයකට කිහිප වරක්ම බලධාරීන් පැමිණ ඇති අතර (කොවිඩ් 19 ඇඳිරිනීතිය අවසන් වූ වහාම පවා බලධාරීන් මෙම පරේෂණ ආයතනයට පැමිණ ඇත) එහි වැඩකටයුතු, අරමුදල් සහ කාර්‍ය මණ්ඩලය පිළිබඳ විමසා ඇත.

මානව අයිතිවාසිකම් නඩු සම්බන්ධ නීතිඥයන් නීතිමය සහ පරිපාලනමය වශයෙන් ඉලක්කගත කර ඇති අතර ජනමාධ්‍ය තුළ මඩ ව්‍යාපාරවලට භාජනය වී ඇත. කුමාරවඩිවේල් ගුරුපුරන් මානව අයිතිවාසිකම් සම්බන්ධ නීතිවේදියෙක් වන අතර යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද වේ. 1996 නවට්කුල් හමුදා රැකවරණයේ සිටිය දී බලෙන් අතුරුදහන් කළ දමිළ තරුණයන් 24 දෙනා සම්බන්ධ නඩුවේ පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය. 2019 නොවැම්බර් මස විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ඔහුට නීතිය ඉගැන්වීම තහනම් කරන ලද්දේ උසාවියේ වැඩකටයුතු කිරීම ද තහනම් කරමිනි. මෙකී තහනම් කිරීම සිදුව ඇත්තේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔහු සේවයේ නිරතව සිටිය දී පීඨ සාමාජිකයෙකු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇතුළත් ව යැවූ ලිපියක් නිසා ය. 2020 ජූලි 16 වන දින ගුරුපුරන් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස් විය.

අප්‍රේල් 14 වන දින, මානව හිමිකම් කඩ වූ පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෙජාස් හිස්බුල්ලා ව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුව නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඇති අතර දින 90කට වඩා කාලයක් යනතුරු මහේස්ත්‍රාත්වරයා හමුවේ පමුණුවා නැත. [1] ඔහුගේ නීතිඥයන් සහ පවුලේ සාමාජිකයන් හමුවීමේ අවස්ථා ද ඉතාම සීමාසහිත වී ඇත. ඔහුගේ අත්අඩංගුවට පෙර දින කොවිඩ් 19 ප්‍රතිපත්ති යටතේ මුස්ලිම් ප්‍රජාවගේ ආදාහන කටයුතු ප්‍රතික්ෂේප කිරීම විවේචනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියකට ඔහු ද දායක වී ඇත.

අචලා සෙනෙවිරත්න යනු 2008 වර්ෂයේ අතුරුදහන් කළ තරුණ ජීවිත 11ක් සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල් නියෝජනය කළ නීතිඥවරියකි. එම සිදුවීමට හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ සම්බන්ධයක් විය. ඇයට සමාජ මාධ්‍ය තුළින් ලිංගික අපවාද සහ කායික හිංසනය වැනි අඩන්තේට්ටම් සිදු කරන ලදි. ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇය කළ පැමිණිලිවලට අනුව ක්‍රියා කිරීමට පොලිසිය අපොහොසත් විය.

Black Lives Matter සාමකාමී උද්ඝෝෂණයකට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමසූ නීතිඥ ස්වස්තිකා අරුන්ලිංගම් ව අත්අඩංගුවට ගන්නා ලදි. ආරක්ෂාව සම්බන්ධ කරුණු නිසා මෙහි සඳහන් කළ නොහැකි අනෙකුත් නීතිඥයන් පිරිසකගේ නිවෙස්වලට ද ආරක්ෂක නිලධාරීන් පැමිණ ඇති අතර එසේත් නැතිනම් ඔවුනට මානව අයිතිවාසිකම් සම්බන්ධ වැඩකටයුතු පිළිබඳ දුරකතන මාර්ගයෙන් දිගු ප්‍රශ්න කිරීම්වලට ලක් වීමට සිදුව ඇත.

ජනමාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය තුළ සිය විරෝධය පළ කළ පුද්ගලයන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශන නිදහස මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත. මේ සඳහා කොවිඩ් 19 වැඩකටයුතු හා සම්බන්ධ ඕනෑම නිලධාරියෙකු ව විවේචන කිරීම අත්අඩංගුවට පත් කළ හැකි වරදක් බවට අප්‍රේල් 01 වන දින ප්‍රකාශ කිරීම ද අයත් වේ. එවැනි අත්අඩංගුවක් සඳහා නීතිමය පදනමක් පවතීද යන්න ද ප්‍රශ්නයකි. මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ “2020 අප්‍රේල් 01 වන දින අදාළ ලියමනෙන් පසු එවැනි අත්අඩංගුවට ගැනීම් ඉහළ ගිය බව” සඳහන් කරමින් ය.

ජනාධිපතිවරණ සමයේ සිට මාධ්‍යවේදීන් ඉලක්කගත කර අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණ සහ සිය වාර්තා පිළිබඳ දිගු පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම යන තර්ජන සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන විවේචන සිදු කර ඇත. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතට දායකත්වය සපයන ධරීෂා බැස්ටියන්ස්, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් සමීපතමයන් ශ්‍රී ලංකා පොලිසියේ හිංසාවලට ලක් ව ඇත්තේ ඇයගේ වැඩකටයුතුවලට කළ පළිගැනීමක් වශයෙනි. 2019 දෙසැම්බර් මස සිට බලධාරීහු ඇයව කොළඹ ස්විස් තානාපති කාර්‍යාලයේ සේවා නියුක්තියෙකුගේ පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇත. රජය පවසන පරිදි චෝදනා ලද එම පැහැර ගැනීම රජයට අපහාස කිරීමේ අරමුණෙන් ගොතන ලද්දකි. බැස්ටියන්ස් මහත්මිය විසින් අදාළ සිදුවීම වාර්තාකාරිනියක වශයෙන් වාර්තා කර ඇති අතර පොලිසිය විසින් ඇයගේ දුරකතන වාර්තා තමන් සතු කර ප්‍රසිද්ධියට පත් කිරීම, නිවස සෝදිසි කිරීම සහ ලැප්ටොප් පරිගණකය තම භාරයට ගැනීම කර ඇත.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ පරිගණක අපරාධ පනත යටතේ අප්‍රේල් 09 වන දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රම්සි රාසීක් ව අත්අඩංගුවට ගන්නා ලදි. අන්තර්ජාලය මගින් ඔහු වෙත පැමිණි අන්තවාදය මුසු ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂාව පතා ඔහු පොලිසියට පැමිණ ඇත. ආරක්ෂාව ලබනවා වෙනුවට ඔහුව සිරබාරයට ගෙන ඇති අතර ඇප ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප කරන ලදි. ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ බන්ධනාගාරවල වසංගත තත්ත්වය පැතිර යාමේ ප්‍රවණතාව ද නොසලකා ඔහුගේ නඩුවාරය කල් දැමිණ.

මෙලෙස ජනමාධ්‍යවේදීන් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් ඉලක්කගත කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මැඩ පැවැත්වීම ඔවුන්ගේ ජීවිතවලට පමණක් කරන අඩන්තේට්ටමක් නොව සියලු ශ්‍රී ලංකිකයන් රැකිය යුතු නීතියේ ආධිපත්‍යය සහ මානව අයිතිවාසිකම්වලට කළ ප්‍රහාරයකි. ප්‍රකාශන නිදහස හා ඒ සබැඳි සියල්ල සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තිවල භීතිකර බලපෑමක් ඇත. සිවිල් සමාජයේ පැවැත්මට සහ මානව අයිතිවාසිකම්වල වැඩි දියුණුවට අදාළ මූලික කාරණා සඳහා ඒවා අත්‍යවශ්‍ය වේ. පසුගිය කාලයේ සිදුවූ අපරාධ වලට සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම උදෙසා කටයුතු කළ පුද්ගලයන් සහ විශේෂයෙන් ම අගතියට පත් වූවන්, ඔවුනගේ පවුල්, සුළු ජාතික ප්‍රජාව සහ උතුරු නැගෙනහිර පළාත්හි විවිධ සංවිධාන සමඟ කටයුතු කරන අය වැනි පුද්ගලයින් රාශියක් බියවැද්දීම් සහ හිංසාවට ලක් වීමේ අවධානමක පසුවෙති.

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සිදුකරන මෙවැනි හිංසා, තර්ජන සහ නීතිමය ක්‍රියාදාම අවභාවිත කිරීම සහ නීතිඥවරුන්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් සහ මාධ්‍යවේදීන් කෙරෙහි පොලිස් බලය ක්‍රියා කරවීම යන ක්‍රියාකාරකම් සියල්ල නැවැත්විය යුතු ය. රම්සි රාසීක් සහ හෙජාස් හිස්බුල්ලා වහා ක්‍රියාත්මක වන පරිදි නිදහස් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු සහ පදිංචි මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් හට සිය කාර්‍යයන් පළිගැනීමක සහ බියෙන් තොරව සාමයෙන් කළ හැකි විය යුතු ය. ඔවුනට සංවිධානය විය හැකි, එක් විය හැකි සහ තොරතුරු ලැබීමේ සහ බෙදාහැරීමේ වටපිටාවක් නිර්මාණය විය යුතු ය.

ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන හැකියාව ප්‍රතික්ෂේප කිරීම සිදු කරමින්, විශේෂයෙන් සිවිල් සමාජවල සාමාජිකයන් ඉලක්කගත කරමින් සිටින අවධියක ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් රෙගුලාසිවල අනුකූල ව ක්‍රියාත්මක වීම නියම කරන ලෙස අපි අනෙකුත් රාජ්‍යයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

[1]ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සෑම දින 90කට වරක් ම මාස 18 ක් සඳහා අලුත් කළ හැකිරැඳවුම් නියෝගයක්හරහා දින 90ක් පූර්ව චෝදනාවක රඳවා තබා ගැනීමට ඉඩ ලබා දේ. රැඳවුම් නියෝගය දැන් අහෝසි වී ඇත.