iMAGE: via ADpoc

බේරුට් ඛේදවාචකය සහ අපි

පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට පත් ගොඩනැගිලි සංඛ්‍යාවද 6000ක් තරම් වෙයි. අසරණ භාවයට පත් ජනයා දසදහස් ගණනාවකි.

මෙම මහා ඛේදවාචකයෙන් සුන්බුන් බවට පත් වරාය අසළ නගරය පිරිසිදු කිරීමට ස්වෙච්ජාවෙන් සහාය වන අතරම එහි ජනයා තවත් පියවරක් තැබූහ. එනම් මේ මහා විනාශයට වගකිය ආණඩුව ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණය කිරීමයි. ‍විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන්ගෙන් වීදී පිරී ගියේය. ටික දිනක් කල් මැරෑ ආණ්ඩුව එක් ඇමැතිවරයකුගේ ඉල්ලා අස්වීමෙන් පසු සමස්තයක් ලෙසම ඉල්ලා අස්වීමට තීරණය කළේය.

ආණ්ඩුවට ඉල්ලා අස් නොවී සිටීමට බැරි තැකට වැඩ සැළසුණේ මෙම පිපිරීමට සති දෙකකට පෙර ඒ පිළිබඳව අනතුරු අඟවා අගමැතිවරයාට යවන ලද ලිපියක් ජනමාධ්‍ය විසින් හෙළිදරව් කිරීම නිසාය.

බේරුට් වරායෙහි ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් වසර හයක් පුරා ගබඩා කර තිබුණි. ඇමෝනියම් නයට්රෙිට් යනු රසායනික පෙහොර සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යක් වුවද එහි ඇති නට්ට්‍රජන්, ඹක්සිජන් සහ හයිඩ්‍රජන් අනු ගිනි දැල්ලකට හසු වූ විට ගිනි ගෙන පුපුරා යයි. රසායනික පොහොර ලෙස භාවිත කිරීම පිණිස  ඇමෝනියම් නයිට්රේටි වෙනත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කළ යුතුය.

වරායෙහි ගබඩා කර තිබූ මෙම ඇමෝනියම් නයිට්රේට් පුපුරා ගිය හොත් දැවැන්ත විනාශයක් වනු ඇතැයි ආරක්ෂක නිලධාරීහු ඉහත කී ලිපිය මඟින්  අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා තිබුණි. එවැනි පිපිරීමකින්  බේරුට් නගරයම වුව විනාශ වී යා හැකි බව ජූලි 20 දා යවන ලද එම ලිපියෙන් ඔවුහු අනතුරු අඟවා තිබුණි.

එසේ නමුත් දූෂණයෙන් අගතැන්පත් ලෙබනන් ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. ඒසා මහා විනාශයක් වනතුරු ඔවුහු නිදිවැද සිටියහ. බහුවාර්ගික සහ බහු ආගමික රටක් වන ලෙබනනයේ ජනයා කිසිදු වෙනසකින් තොරව ආණ්ඩුවට  විරුද්ධව නැගී ගත්හ.

අප රටෙහි සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයින්ද ආරක්ෂ අංශ ප්‍රධානීන්ද කල්තබා දැන සිටි බව දැන් රහසක් නොවේ. නමුත් ඉන් කවරකු හෝ ඉල්ලා අස්වීද? ඒ වෙනුවට සිදුවූයේ නීතිය අතට ගත් දාමරිකයින් විසින් මුස්ලිම් ජනයා තලා පෙළා අහිංසක මුස්ලිම් පියකු සිය දරුවන් ඉදිරියෙහිම ඝාතනය කරනු ලැබීමය. එම විනාශයට වගකිව යුතු ප්‍රධානියා වන සිරිසේන ලක්ෂයට අධික ජනතා ඡන්දයෙන් දැන් යළි පාර්ලිමේන්තුවට පත්ව තිබේ. අනෙක් ප්‍රධාන වගකිය යුත්තා වන වික්‍රමසිංහට එම වරප්‍රසාදය ලබා ගැනීමට බැරි වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා නොව සජිත් ප්‍රේමදාසගේ ප්‍රහාරය නිසාය.

රටක නායක නායිකාවන් බිහිවන්නේ ජනතාවගේ හැටියටය. මීනිමරුවන් ජයසක නංවන්නේ ඒ නිසාය.

තවත් ජනාධිපති ජන්දයක්

ඒ කලකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතකු යැයි පෙනෙන්ට තිබූ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො විසින් මේ වන විට වසර 25ක් පාලනය කර ඇති බෙලරැස් නම් රටෙහිය. 2013 වසරෙහිදී බෙලරැස්හි නිල සංචාරයක යෙදුණු  රාජපක්ෂට එරට මහත් පිළිගැනීමක් ලැබුණි.

කොව්ඩි 19 වසංගතය පාලනය කිරීමට ලුකෂෙන්කෝ නිසි ක්‍රියා මාර්ග ගත්තේද නැත. ඔහු කීවේ වොඩ්කා බී ක්‍රීඩාවන්හි යෙදිමෙන් හෝ ටැක්ටර් පැදවීමෙන් වසංගතයෙන් බේරී සිටීමට හැකි බවයි. මේ නිසාද රටපුරා අසංතෝශය පැතිර තිබුණි.

ජනාධිපතිවරණයට පෙරම විපක්ෂ නායකයා අත් අඩංඟුවට ගන්නා ලදී. ඔහු වෙනුවට 37 හැවිරිදි ඔහුගේ බිරිද තවත් සුත්‍රීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ඉදිරිපත් වුවාය. විපක්ෂ රැස්වීම්හි ජනයා පොදි කෑහ. නමුත් මැතිවරණ ප්‍රතිඵලයට  අනුව ලුකෂෙන්කෝ සියයට 80ක ජන්ද ලබා ගෙන ජය ලබා තිබුණි.

මෙම ප්‍රතිඵලය පිළිනොගත් විපක්ෂ පිරිස් සාමකාමී විරෝධතා උද්ඝෝෂණ දියත් කළහ. ලුකෂෙන්කෝගේ හමුදාව ඊට පිළිතුරු දුන්නේ ජීව උණ්ඩ මගින් වෙඩි තබමින් හය දහසකට වඩා හේතු විරහිතව අත් අඩංඟුවට ගනිමිනි. අත් අඩංඟුවට ගත් දෙදෙනෙකු වධහිංසා නිසා මේ වන විට මියගොස් තිබේ.

විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය  භාවිත නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුත්රේස් මෙන්ම යුරෝපා සංගමය ද ඉල්ලා සිටියේය. ප්‍රචණ්ඩ ප්‍රහාර නවත්වන සේ ඉල්ලමින් සිය ගණනාවක් තරුණ ස්ත්‍රීහු සුදු ඇදුමින් සැරසී මල් පොකුරු රැගෙන නගරයේ සංචාරය කළහ උත්සන්න වන මර්දනය හමුවේ වඩ වඩා ගැහැණූ සාමකාමී උද්ඝෝෂණයන්ට එක්වූහ.

එසේ නමුත් රුසියානු ජනාධිපති පූටින්ගේ සහාය ලබන ලුකෂෙන්කෝ ඒ කිසිදු ආයාචනයකට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීය. විපක්ෂ අපේක්ෂිකාව රටින් පලා ගියාය.

සියයට 80 ජන්ද ලබාගත් බව කී නමුත් ජනාධිපති ලුකෂෙන්කෝ වෙනුවෙන් මේතාක් කිසිවකු පාරට බැස නැත. අන්තිමේදී පොලිම් කුරිරුකම් ගැන සමාව ඉල්ලූ ලුකෂෙන්කෝ සිය ස්වදේශ කටයුතු ඇමතිවරයට ඉල්ලා අස්වන සේ කියා සිටියේය. ජනතා නැගිටීම තවම අවසන්ව නැත.

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ මේ නිසාය. හරියට වසර 25ක්ම නායකත්වයේ සිටි රනිල් වික්‍රමසිංහ පීචං වුණා වගේය.

බෞද්ධ රාජ්‍යය වෙනුවට අපායට හැරීම

ඥණසාර හිමිගේ නායකත්වයෙන් යුතු බොදු බල සේනාවෙහි අරමුණ “බෞද්ධ රාජයක්” පිහිටුවීම  යැයි කියනු ලැබේ. එම බොදු බල සේනා රාජ්‍යය කරා යන අන්දම ඥණසාර හිමි විසින් විවිධ අවස්ථාවන්හිදී පෙන්වාදී ඇති හැටි අන්තර් ජාලයේ ඇති සමහර විඩියෝ මගින් පෙනේ. කණගාටුවට මෙන් එම වීඩියෝවන්හි භාෂාව සහ හැසිරීම ආසන්න වන්නේ බෞද්ධ රාජ්‍යකට නොව අපායටය.

බුදුන්ට ගල් පෙරලූ දේවදත්ත තෙරුන්ටත් රහත් වන්නට හැකි වී නම් ඥණසාර හිමිට කවර හෝ ආත්මයක දී රහත් වීමට බාධාවක් තිබිය නොහැක. වරක් අපායට ගියත් යළි මනුෂ්‍ය ආත්මයක් ලබා ගෙන රහත්වීමට බැරි යැයි කොතැනකවත් කියා ද නැත.

නමුත් දැන් ඥණසාර හිමි නායකත්වයෙන් මහ මැතිවරණයට ආ කණ්ඩායමට වී ඇති වින්නැහිය දෙස බලන විට නම් මොකක් හෝ ලොකු වරදක් ඇති බව පෙනේ. මෙම භික්ෂුන් එක් පාර්ලිමේන්තු ආසනයකට කන පොරකෑම ගිහියන්ගේ දේශපාලන පක්ෂයවත් නැති තරමට නින්දා සහගතය. ස්වකීය සහෝදර භික්ෂුවකට පහරදීමට තරම් මෙම දේශපාලනය නිරයට ලංවී තිබේ.

සිය පක්ෂයේ සභාපතිවරයා මිනීමරුවකු බව නොකියා කියන්නේ තමා මැතිවරණයට අත දිගහැර වියදම් කළ බව කියන රතන හිමිය. මැතිවරණය සඳහා තමා පැළ ලක්ෂයක් බෙදා දුුන් බව පවසන එහිමියන් තමා එමගින් මැතිවරණ නීති කඩකළ බව ද නොකියාම කියන්නේය. රතන හිමි එක් ඇත්තක්ද කියයි. එනම් ඥණසාර සහ රතන යන නම් වලට දෙන ඡන්දයක් මෙරට නැති බවයි.

වැරදීමකින් හෝ දෙමළ දේශපාලන පක්ෂ දෙකකින් එකක් තව ඡන්ද සිය ගණනාවත් ගත්තා නම් බොදු බල සේනාවට මේ ජාතික ලැයිස්තු මංත්‍රීකම ලැබෙන්නේද නැත. තමාට අවශ්‍ය සිංහල (බෞද්ධ) ඡන්ද පමණක් බව කී, ඇමැති ගම්මනන්පිළගේ දෙවැනියා ලෙස මළකඩ කෑ කඩු පෙළපාලියේ ආ අහවලා ගම්පහ ආසනයේ බිංදුවේ අගයට බැස්ස බව, ඥණසාර හිමිත් රතන හිමිත් සිහි තබාගත හොත් දේශපාලන අපායෙන් බේරීමට ඉඩ තිබේ.

වෙල්ල වැහුම්!

රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිකම් මල් හතය. මැටි ඇමති, ගුදම් ඇමති, බතික් ඇමති, ඉස්සෝ ඇමති, කාණු ඇමැති, අලිවැට ඇමැති, කුරුදු ඇමති, කෝච්චි පෙට්ටි ඇමැති.

මිරිස් වෙනුවට මැටි ඇමතිකම දීපු එක නම් කළගුණ නොසළකා හැරීමක් වගෙයි පෙන්නේ.

කොහොම හරි මේ නම් වලට ආදර්ශය ගත්තේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් කියළයි කියන්නේ. ඒ දෙන්නාට තියෙනවා “මිනිස්ට්‍රි ඔෆ් කැබ්” ( කකුළු අමාත්‍යංශය) කියලා මල් හතේ රෙස්ටුරන්ට් එකක්.

ජනප්‍රවාදගත ගැමියා වෙල්ල වැහුම් හදාපු හැටි දන්නවද? රාජ්‍ය අමාත්‍යාංශ නම්කිරිල්ලත් ඒ වගේ කතාවක්!

සෙස්ස පස්සට!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya