iMAGE: Vikalpa

කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ  හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) , මේ වන විට කොල්ලුපිටිය, ගාලු පාරේ පිහිටි කුඩා කාර්යාලයක් දක්වා රැගෙන ගොස් ඇත.

වරක් එය ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ කොටසක්ව තිබූ අතර, මේ වනවිට එවැනි අමාත්‍යංශයක්ද නොමැත.  මෙම මාසයේ දී පැවති ඡන්ද විමසීමෙන් පසුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), අමාත්‍ය අලි සබ්රි යටතේ ඇති අධිකරණ අමාත්‍යාංශය වෙත භාර දී ඇත. වෙනත් ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ වන, ජාතික සමඟිය හා සංහිදියා කාර්යාංශය (ONUR), හානිපූර්ණ කාර්යාලය සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥවරයා යටතට දැන් පත් කර ඇත.

පිත්තල සහ බතික් සඳහා ද, අල සහ කාණු කැපීම සඳහා ද රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇති අවස්ථාවක, එම ලැයිස්තුවෙහි ප්‍රතිසන්ධානය හා ඒකීකරණය සඳහා කිසිදු අවකාශයක් ලබා දී නොමැත.

මෙම අශුභ පෙරනිමිති සමග, සංක්‍රාන්තී යුක්තිය  පිළිබඳ යාන්ත්‍රණයක් මත පදනම් වූ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහ විශේෂයෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සඳහා කිසිඳු හෝ බලාපොරොත්තුවක් තිබේද?  එයට ඉදිරියේදී  ශක්තිමත් මෙහෙයුම් ඒකකයක් ලෙස නොනැසී පැවතිය හැකිද?  එසේ නොමැති නම් ඒය අන්තර්ජාතික ප්‍රජාව සතුටු කිරීමට පමණක් ඇති, ඒ හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ආධාර ගලා ඒමට ඉඩ සලස්වන, විවිධ අකටයුතුකම් වලට මෙන්ම සුදුහුණු ගෑමෙහි නිරත වන, වචනයට පමණක් සීමා වූ,  බල බිඳුනු සේවාවක් ලෙස පවතියිද? අප හමුවේ ඇති ප්‍රශ්නය මෙයයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), රුපියල් බිලියන 1.3 ක අයවැය ප්‍රතිපාදනයක් සහිතව 2018 පෙබරවාරි මාසයේ දී පිහිටුවන ලද අතර, රට තුළ හටගත් සියලු දේශපාලනික ගැටුම් නිසා සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳව සොයා බැලීම එහි කාර්යභාරය විය. ඊට පුළුල් විමර්ශනාත්මක බලයක් ඇති අතර අධිකරණ ආධිපත්‍යයක් නොමැති වුවද, පුද්ගලයන් සහ අධිකාරීන් කැඳවීමේ හැකියාවක් එය සතුව ඇත. එය සකසන ලද්දේ මානවවාදී,  සත්‍යය ගවේෂණ යාන්ත්‍රණයක් ලෙස මිස, චෝදනා මෙහෙයවීම සඳහා නොවේ.

මෙම කාර්යාලය, වසර දෙකහමාරක කාල සීමාවක් ක්‍රියාත්මක වී ඇත. එම කාලසීමාව තුළ සිය ආදරණීයයන් සොයන ඥාතීන්ගේ පැමිණිලි, දිවයිනේ සෑම දෙසින්ම අසා ඇති එම කාර්යාලයේ අපේක්ෂාව වී  ඇත්තේ, සිය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට රජයට ඇත්තටම අවශ්‍ය දැයි එම පුද්ගලයන් තුළ ඇති සැකය දුරු කර  හැරීමයි.

මෙම අතුරුදහන් වීම් පිළිබඳ පිළිතුරු සැපයීමට රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස, තම ආදරණීයන් ආරක්ෂිතව ආපසු තමන් වෙත පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුව තවමත් ඔවුන්ට තිබේ. පවුලේ සාමාජිකයින්ට අතුරුදහන් වුවන් පිළිබඳ ශෝක වීමට හෝ ඔවුන් වෙනුවෙන් අවසන් කටයුතු පැවැත්වීමට හෝ නොහැකිව තවමත් පසු වන අතර ඇතමුන් අතුරුදහන් වූ තම ආදරණීයාට ගෞරවයක් වශයෙන් දානයක් පැවැත්විය යුතු ද යන්න සිතමින් දශක තුනකට අධික කාලයක් පුරා බලා සිටිති.

සිය දෙවසරක ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය (OMP) මෙය නිවේදනය නිකුත් කලේය. මෙහිදී තවදුරටත් පැවසුවේ,  බොහෝ අවස්ථාවල පවුලේ ප්‍රධාන උපයන්නා අතුරුදහන්වී ඇති අතර,  කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, බිරින්දෑවරුන්, දරුවන් සහ දෙමාපියන්, අතුරුදහන්වූවන් වූ තම ළබැඳියන් සොයා නිරර්ථක උත්සහයක නිරත වන බවයි.  .

පසුගිය වසර දෙක තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සැක සහිත සමූහ මිනී වලවල් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ නිරීක්ෂණය කිරීම සහ ඒවාට සහාය දීම ද ඇතුළු තම පරීක්ෂණ උසස් මට්ටමකට ගෙන ගොස් ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වීම් සම්බන්ධ නඩු පැවරීමට පක්ෂවත් මිනිස් දේහ හඳුනා ගැනීමේ  සහ රඳවා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය ප්‍රතිසංස්කරණ සඳහාත් පෙනී සිටියේ ය.

වින්දිත පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා නැතිකිරීමට එක පවුලකට මසකට රුපියල් 6000 ක අතුරු සහනක් ලබා දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කළ අතර එය 2019 දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක විය. කෝවිඩ්-19 වසංගතය පැවති කාල සීමාව තුළ සහන වැඩපිළිවෙළ යටතේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ද, ප්‍රතිලාභීන් ලෙස ඇතුලත් කරන මෙන් රජයෙන්  ඉල්ලා සිටියේ ද එම කාර්යාලයයි.

ශ්‍රී ලංකාවේ දී අතුරුදහන් වීම් සිදුව ඇති බව රජය විසින් පිළිගන්නා බව පෙන්වීම සඳහා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනයද  සමරනු ලැබ ඇත.

ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූවන් ලෙස සලකන ලද සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ලැයිස්තුවක් මෙම කාර්යාලය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ලැයිස්තුවේ අන්තර්ගත කිරීම සඳහා අතුරුදහන් වූ සිය ඥාතීන්ගේ තොරතුරු ලබාදෙන මෙන් පවුල්වලට දැනුම්දෙන ලදී.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිකුත්  කල ප්‍රකාශයකට අනුව, ” අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට සිය කාර්යභාරය නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමට, අපට රජයේ සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී සහයෝගය අවශ්‍ය බව අපි මෙහි දී සඳහන් කරමු. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් තවදුරටත්, අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ වැඩ කටයුතු කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් කැප වී සිටිති.”

ජූනි 28වන දින රූපවාහිනියේදී  අදහස් දැක්වූ, අගමැති මහින්ද රාජපක්ෂ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය “කිසිදු විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද්දක් බව” පැවසීය. ඔහු එය විස්තර කරන්නේ “කැඳවීම් නිකුත් කිරීමට, සාක්ෂි විභාග කිරීමට සහ එකතු කිරීමට හැකියාවැති විමර්ශක ඒකකයක්” ලෙසට ය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට බාධාකිරීම සඳහා වූ මෙවලමක් ලෙස, 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකාවටද අදාල වන, සියලු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලින් මුදා සුරක්ෂිත කිරීම උදෙසා වූ ජාත්‍යන්තර සම්මුතිය අගමැති රාජපක්ෂ විසින් විස්තර කරන ලද්දේ “අතුරුදහන් වූවන් සිටින  ප්‍රදේශවලට  පහසුකම් සැලසීම සඳහා ඇත්තක් නොව, සන්නද්ධ හමුදාවල සාමාජිකයන්ට චෝදනා එල්ල කරන්නට සැකසූ එකක්” ලෙසය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක වන හැනා සිංගර් සමඟ ජනවාරි මාසයේ දී පැවති හමුවකින් පසු ජනාධිපති රාජපක්ෂ සැහැල්ලුවෙන් ප්‍රකාශකලේ අතුරුදහන් වූවන් දහස් ගණනක් සැබෑ ලෙසම මියගොස් ඇති බවයි. නමුත්, ඔවුන් අතුරුදහන් වූයේ කෙසේද? ඔවුන් මියගියේ කෙසේද? ඊට අදාළ සාක්ෂි සහ වාර්තා කොහිද? රටේ සියලු ප්‍රදේශවලින් අතුරුදහන් වූ පුරවැසියන් දහස් ගණනක් එසේ “සැබෑවටම මියගිය බව” පවසා වෙන කිසිවක් නොකර සිටීමට ශ්‍රී ලංකාවට හැකිද?

ශ්‍රී ලංකාව යනු ලොව වැඩිම අතුරුදහන් වීම් සංඛ්‍යාවක් සහිත රටවල්වලින් එකකි. 1980 දශකයේ  අවසාන භාගයෙන් පසුව මිනිසුන් 60, 000 සහ 100, 000 අතර ප්‍රමාණයක් අතුරුදහන් වී ඇත. රටේ යුද්ධය  අවසානයේ භාර වූ පුද්ගලයන් විශාල වශයෙන් අතුරුදහන් වීම යනු මෙම ක්‍රියාව ආයතනගතකරණයට ලක්ව ඇති බව දක්වන පැහැදිලි සංඥාවක් වන අතර රජය අතුරුදහන් වූවන්ගේ ඉරණම සහ ඔවුන් පිළිබඳ හෝඩුවාවන් වසන් කරයි. මෙය, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය විසින් සිදුකරන ලද ප්‍රකාශයකි.

අන්තර්ජාතික ක්ෂමා සංවිධානය දක්වන ගනනට වඩා රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වෙනස්ය. 1983 සහ 2009 අතර කාලයේ දී උතුරු නැගෙනහිර පලාත්වල අතුරුදහන් වීම් විමර්ශනය කල පරණගම කොමිසම වෙත පැමිණිලි 21, 000ක් වාර්තා විය.  බස්නාහිර, දකුණු සහ සබරගමු පලාත්වල 1988 සහ 1997 කාලය අතර සිදුවූ අතුරුදහන් වීම් විමර්ශනය කල කලාපීය කොමිසම පැමිණිලි 8,739ක් වාර්තා වී තිබුනි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට අනුව, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් යනු, මෙක්සිකෝවේ සිට සිරියාවටත්, බංග්ලාදේශයේ සිට ලාඕසයටත්,  බොස්නියාව සහ හර්ස්ගොවිනා සිට ස්පාඤ්ඤය දක්වාත් ලොව පුරා ව්‍යාප්තව ඇති සංසිද්ධියකි.

මේවා බහුලව සිදුව ඇත්තේ අභ්‍යන්තර ගැටුම් නිසා වන අතර, මේවා සිදු වන්නේ විශේෂයෙන්ම සන්නද්ධ විරුද්ධවාදී කණ්ඩායමක් විසින් හෝ රජයන් විසින් දේශපාලන විරුද්ධවාදීන් යටපත් කීරිමට උත්සහ දැරීම නිසාය.

ලොව අනෙක් පසින්, ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි ප්ලාසා ඩි මායෝ (Plaza de Mayo ) චතුරශ්‍රයේ, මව්වරුන් සහ මිත්තණියන් සතිපතා සෑම බ්‍රහස්පතින්දා සවස්වරුවකම නිහඬ නිදිවැරීම් / විජිල්ස්  සිදුකරන්නේ 1976 සිට 1983 කාලය දක්වා ආර්ජන්ටිනාවේ සිටි හමුදා පාලකයන් අතුරුදහන් කල සිය දරුවන් ඉල්ලාය. මෙතරම් කලක් එය කිරීමෙන් පෙනෙන්නේ, ප්‍රියයන් නැතිවීමේ වියෝගය කොතරම් බලවත් ඒකක්ද යන්නයි. .

2009 වර්ෂයේ මැයි මාසයේ දී අවසන් වූ යුද්ධයෙන් පසු සිය පවුලේ අතුරුදහන්  වූ සාමාජිකයන්ගේ ඉරණමවත් නොදැන, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල කාන්තාවන් 69ක් මියගොස් ඇත. 1971 වැනි දුර අතීතයක සිට සිය ඥාතීන්ගේ නැවත පැමිණීම අපේක්ෂාවෙන් සිට මියගිය ශ්‍රී ලංකාවේ දකුණු සහ වෙනත් පලාත්වල පුද්ගලයන් සංඛ්‍යාව ගණනය කර පවා නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වීමට රජය ගත් තීරණය, අතුරුදහන් වූවන් සිටින  පවුල්වලට  මහත් බලපෑමක් ඒල්ල කර  ඇත. සිය ඥාතීන්ට කුමක්වූයේ දැයි යන්නට පිළිතුරු කෙදිනක හෝ ලැබේදැයි දැන් ඔවුන්ට ඇත්තේ ප්‍රශ්නයකි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන් නියෝජනය කරන ක්‍රියාකාරීන්, රජයේ ආවේක්ෂණ සහ තැතිගැන්වීම් සැලකිය යුතු ප්‍රමාණ‍යක් ඉහළ දමා ඇති බව වාර්තාකර ඇතැයි Human Rights Watch සංවිධානය පවසයි. එසේම, සත්‍යය ඉල්ලා ප්‍රශ්න කිරීම නිසා බොහෝ අය සිය නිර්නාමිකත්වය, ආරක්ෂාව සහ කාලය සහ ශ්‍රමය  අවදානමක හෙළා ඇති බව එම සංවිධානය පවසයි.

සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට, “2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්  වූ අවස්ථාවේ සිට, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහය දෙන ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන ආවේක්ෂණ සහ තර්ජන ඉහළ දමා ඇත”.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට සහයවන්නන් මෑත කාලයේදී විශාල ලෙස තර්ජන එල්ල වී ඇත. “පසුගිය මාස කිහිපය තුළ, රජයේ නියෝජිතයන් විසින් අතුරුදහන් වූවන් සිටින පවුල්වල අයට සහයවන, නීතීඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඇතුළු පුද්ගලයන් සහ සංවිධාන දැඩි ආවේක්ෂණ සහ තැතිගැන්වීම්වලට ලක්කරනු ලැබ තිබේ. ඔවුන් සහය පළකරන අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගෙන්, මිතුරන්ගෙන් සහ මිතුරු ක්‍රියාකාරීන්ගෙන් පවා, මෙම කටයුතු වල යෙදීම වැළැක්වීමට පීඩනයක් එල්ල වෙනවා. මමත් ඒ ආකාරයේ පීඩනයන්ට මුහුණපාමින් ඉන්නවා,” මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු විසින් ප්‍රකාශකරන ලදී.

“සමස්තයක් ලෙස, මෙම  වඩාත් සිත් කලකිරවන, අපේක්ෂා රහිතව, පිළිසරණක් නොමැති පරිසරය තුල, අතුරුදහන් කරවූවන්ට සහ අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීම සහ  ඒසේ කල අය නීතිය හමුවට පැමිණවීම දුෂ්කර කාර්යයක්ව  ඇත.  

“නමුත් බොහෝ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අසාමාන්‍ය  ලෙස නිර්භයව සහ අධිෂ්ඨානශීලී ලෙස කටයුතු කරන අතර, මම විශ්වාස කරන ආකාරයට ඔවුන් තමන්ගෙ අරගලය අඛණ්ඩව සිදු කරාවි. අරගලය සාමුහික ලෙස අඛණ්ඩව සිදු කිරීම සඳහා නව නිර්මාණාත්මක ක්‍රම සොයාගැනීම මෙම පවුල්වලට අභියෝගාත්මක විය හැක. ක්‍රියාකාරීන් මුහුණපාන අභියෝගය වන්නේ රජයෙන්, මිතුරන්ගෙන් සහ සහයකයන්ගෙන් ලැබෙන පීඩනය අතරේ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අඛණ්ඩ සහය සහ සහයෝගීතාවය ලබා දීමයි.” හෙතෙම ප්‍රකාශකළේය.

මිනෝලි ද සොයිසා | Minoli De Soysa