iMAGE: via economynex

පරිසරය අපට පමණක් නොවේ ! 

අප මූලිකව තේරුම් ගතයුතු දෙයනම් ඇමසන් වනාන්ත‍රය බ්‍රසීලයට පමණක්, ඇලස්කාවේ  මහා ටොන්ගාස් වනාන්තරය කැලිෆෝනියාවේ මහා වනාන්තරය ප්‍රමුඛ දෙසීයකට ආසන්න ඇමරිකාවේ වන සම්පත ඇමරිකාවට පමණක්, ඔස්ට්‍රේලියාවේ මහාබාධක කොරල් පරය ප්‍රමුඛ දහස් සංඛ්‍යාත පරිසර පද්ධති සමූහය ඔවුන්ට පමණක් ඉන්දියාවෙ වන සමූහය, ජර්මනියේ Black Forest, රුසියාවේ මහා තායිගා වනය ආදී එකී මෙකී නොකී පරිසර සම්පත් ඒ ඒ රටවලට පමණක් අයත් දේ නොව බිලියන හත හමාරක් වූ මානව සංහතියටම අයත් ජාත්‍යන්තර සම්පත්‍ බවය. මානවයාට පමණක් නොව ඔවුන් ඇතිවීමට පවා පෙර බිහිවූ සත්ව ප්‍රජාවගේ සිට සෑම ජීවියෙකුටම හිමිය. ලොව බොහෝ තන්හී වෙසෙන ඊනියා ජාතිකවාදීන්ට ඒ පිළිබද හැගීමක් නැත. (අනික් රටවල් අනික් වාර්ගිකයන් ගැන නොසිතන අයෙක් අනෙක් සත්ව විශේෂ ගැන සිතාවිද ?)

මේවාට මැදිහත් වෙන්න එපා, ජාත්‍යන්තරය ඇයි මැදිහත් වෙන්නෙ මේක අපේ ප්‍රශ්නයක් වැනි කථා අදාළ වන්නේම නැත. ඇමසන් වල හෝ ඇමරිකාවේ ටොන්ගාස් හෝ පෙර කී කවර වනාන්තරයකට ව්‍යසනයක් වුවහොත් එයටත් අප කලබල විය යුතුය. මැදිහත් විය යුතුය. මන්දයත් ඒ අපේ සම්පත් නිසාවෙනි. සිංහරාජයද එසේමය. එහි විනාශය පාරිසරික සමතුළිතතාවට සෘජුවම බලපවත්වනු ඇත. ගෝලීය උණුසුමට හේතුවක් වනු ඇත. ග්ලැසියර දියවීමටද බලපානු ඇත.

ඇතැම් දූපත් රටවල් සහමුළින්ම යටවීමට, ඇතැම් රාජ්‍යයන්ට බිම් අහිමිවීමට, ඕසෝන්ස්ථරයට හානි වීමට, ස්වභාවික විපත් ඇතිවීමට, සත්ව විශේෂ වදවී යාමට හේතුවක් වනු ඇත. එය පාරක් ඕනෑ නිසා කපනවා, අපිට පාරක් එපැයි, තුනෙන් දෙක දුන්නනෙ ඕන දෙයක් කරපුවාවෙ යැයි යටපත් කළ හැක්කක් නොවේ. හරිනම් පාර කපනවා වෙනුවට ඒ ජනතාව වෙනම තැනක පදිංචි කරවීමටත් ඒ සදහා ඕනෑම බරපැනක් දැරීමට කටයුතු කළ යුතුය. ඒ බරපැන අප සියළුදෙනාගේත් අනාගත පරපුරේත් සුරක්ෂිත බව වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් වනු ඇත. මේ මහා වන විනාශය වළක්වාගැනීමට ඇතුළුව පරිසරය වෙනුවෙන් පෙනී සිටින උත්සහයන් ගණනාවකටම ඇතැම් නරුම මිනිසුන් පොදුවේ ගසන මඩක් ඇත. එනම් පරිසර හිතකාමී සංකල්පයන් නැගී එන කාර්මික රටවල් අඩපණ කිරීමට දරන කුමන්ත්‍රණයන් ලෙස හංවඩු ගැසීමයි.

ඉන්දියාවේ, චීනයේ පරිසරවේදීන්ට සහ ඔවුන්ගේ සංවිධාන වලටද මේ ආකාරයේම මඩ එල්ල විය. නව කාර්මික රටවලට පරණ කාර්මික රටවල් කළා මෙන්ම කාබන් වායුව මුදා හරිමින් පාරිසරික සම්පත් මහාපරිමාණයෙන් උකහා ගනිමින් කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව මෙවැනි මඩ ගසන්නන්ගේ අදහසයි. අද පැරණි කාර්මික රටවල් බොහෝමයක් ඒ ක්‍රම අතහැර හරිත ආර්ථික සංකල්පවලට අනුගත වී ඇත. අතීතයේ එයාල මෙහෙම නිසා අපිත් එහෙම කරමු යන තර්කය අතීතයේ වහල් සේවයෙන් ගොඩක් වැඩ කාර්‍යක්ෂමව, ලාභයට සිදුවූ නිසා දැනුත් වහල් සේවය ගේමු අන්දමේ නරුම තර්කයකි. මිනිසා අතීතයේ කළ බොහෝ දේ වැරදි යැයි අවබෝධ කර ගනිමින් අතහැර දැමූ බව සිහිපත් කළ යුතුය. අතීතයේ කුලය, වර්ණය අනුව මිනිසාගේ අනාගතය තීන්දු විය. අද එය හැකියාව මත තීරණය වෙයි. අතීතයේ ගැහැණියට තිබුණේ සීමා සහිත අවකාශයකි. අද ගැහැණිය බොහෝදුරට සම අයිතීන් සදහා හිමිකම් කියයි. අතීතයේ මෙන් මිනිසුන් මරව මරවා වැඩ ගත නොහැක. කම්කරු නීති, සංගම්, සංවිධාන අද ඔවුන්ට රැකවරණ සලසයි. යම් යම් පසුගාමී දේ ඇත්නම් ඒවා හදුනාගෙන ඉවත දැමීම මානව සංහතිය ලද ජයග්‍රහණ වලට හේතුවිය. පරිසර ප්‍රශ්නයද එසේමය.

අප මේ එළඹ ඇත්තේ පරිසරය වෙනුවෙන් කැපවීම් කළ යුතු, ඇතැම් දේ අතහැරිය යුතු යුගයකටයි. ක්ෂේත්‍රයේ විද්වතුන් අපට පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුමට දේශගුණ විපර්‍යාසයන්ට අප දැන්ම පිළියම් යෙදිය යුතු බවයි. ඉදිරි දශක එකහමාර තුළ අප මුළුමනින්ම හරිත ආර්ථිකයන් සදහා, පරිසර හිතකාමී තාක්ෂණයන් සදහා, සූර්‍ය සහ සුළං වැනි විකල්ප බලශක්ති සදහා අනුවර්තනය විය යුතුව ඇත. එක ගහක් නිසා දැවැන්ත ව්‍යාපෘතියක් අත්හැර දැමීමට වුව සූදානම් විය යුතුව ඇත. ගතානුගතික මිනිසුන්ට ඇහුම්කන් දෙනවා වෙනුවට ග්‍රේටා තුන්බර්ග් වැනි දැරියන් සදහා ඇහුම්කන් දීමට සූදානම් විය යුතුය. වනාන්තර සංරක්ෂණය, වන වගාව, සතුන් සංරක්ෂණය සමස්ථයක් ලෙස පරිසරය සුරැකීමේ ක්‍රියාමාර්ග නූතන රාජ්‍යයන්ගේ පුරෝගාමී කාර්‍යභාරය විය යුතුය.

සිංහරාජය කැපෙද්දී එය මෙහෙමයි, මේනිසයි, එහෙම නැ, අපි කරන්නෙ සංවර්ධනයක්, අපිට තුනෙන් දෙක තියෙනවා, විල්පත්තුවත් කැපුවෙ වැනි සිල්ලර කතා කීම ගැන ලැජ්ජා විය යුතුය. පරිසර ප්‍රශ්නයකදී පක්ෂ ලෙස පාට කණ්ණාඩි වලින් බලමින් කටයුතු කරන්නන් මනුෂ්‍යත්වයටද නිගාවකි. මූල්‍ය වටිනාකම් දන්නා එහෙත් සැබෑ අගයන් නොදන්නා මිනිසුන්ට ඔස්කා වයිල්ඩ් කීවේ නරුමයන් කියාය. අප නරුමයන් නොවී මූළ්‍ය වටිනාකම්, ලාභ ප්‍රයෝජන වෙනුවට අගය හදුනාගන්නා සැබෑ මිනිසුන් වීමට උත්සහ දැරිය යුතුය. එය සිංහරාජ පැනයට ප්‍රගතිශීලී විසදුමක් රැගෙන එනු ඇත.

ශාලිත බණ්ඩාර | Shalitha Bandara