යහපාලනය යටතේ සිදු වූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සිදුවෙමින් ඇති ක්‍රියාදාමය, 19 වන සංශෝධනය අහෝසි කිරීම තරමටම තීරණාත්මකය.

නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා යටතේ නඩු පවරා ඇති පිරිස් දැන් මෙම කොමිසම හමුවට ගොස් තමන්ට නඩු පවරා ඇත්තේ දේශපාලන පළිගැනීම් වශයෙන් යැයි කියා සිටින්නට පටන් ගෙන තිබේ. මෙම සිදුවීම් සිදුවන්නේ මෙම නඩු පවරන ලද නීතිපති දෙපාර්ථමේන්තුවේ හිටපු නීතිපතිවරයා අගවිනිසුරුව සිටියදීය.

පසුගිය දින ගණනාව තුළ මිග් ගනුදෙනුවට අදාළ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති රාජපක්ෂ ඥාති උදයංග වීරතුංග, වැලිකඩ සිරකුරු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති එමිල් රංජන් ළමාහේවා, ප්‍රගීත් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, වංචා දූෂණ චෝදනා ලබා ඇති රෝහිත බෝගොල්ලාගම යනාදීහු එළෙස පැමිණිළි කරන ලදී.

අධිචෝදනා ලබා ඇති පුද්ගලයින්ට සිය නිවැරදිභාවය අධිකරණය ඉදිරියේ පෙන්වා සිටීමට අයිතියක් තිබේ. එහෙත් ආණ්ඩු මාරුවන අන්දමට පත් කැරෙන ජනාධිපති කොමිසම් හමුවේ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් එල්ල කර ඇති චෝදනා දේශපාලන පදනමක් මත සිදු වූ බවට ප්‍රකාශ කළ හැකි නම් එමගින් අධිකරණය සහ නීතිපති දෙපාර්ථමේන්තුව සම්බන්ධයෙන් මහජන අවිශ්වාසයක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත.

මෙවැනි පැමිණිළි සම්බන්ධයෙන් කොමිසම දෙනු ලබන තීරණ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ අම්ල පරීක්ෂනයක් වනු ඇති බව නම් නිසැකය. අප කිසිත් නොකියා එතෙක් බලා සිටිය යුත්තේ රටේ හැටි නිසාය.

මේ අතර මෙම පරීක්ෂන බොහොමයක් මෙහෙය වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දිගින් දිගටම ඇප නොලබා නඩු නැතිව සිරගතව සිටී.

13 – දිනුම කාටද?

13 වනාහී මිත්‍යා දෘෂ්ඨිකයින් වඩාම බියවන අංකයයි. 1971 මහ නඩුවෙි රෝහණ විජේවීර පළමුවැනි සැකකරු නොකර 13වන සැකකරු කරන ලද්දේ ද එවැනි විශ්වාසයන් උඩය. එමෙන්ම ඔහු ඝාතනය කරන ලද්දේද 13වනදාකය.

මෙරට පළාත් සභා පිහිටුවන ලද ව්‍යවස්ථා සංශෝධනය ද 13ය.

13 නරක වුවත් හොඳ වුවත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද පළාත් සභා ක්‍රමයෙන් නම් ජනතාවට ඇතිවූ සුගතියක් නැති තරම්ය. ඉන් සිදුවූ ලොකුම වාසිය නම් දූෂනයෙන් භීෂනයෙන් ධනවත් වන දේශපාලන පංතියට තවත් තලයක් නිර්මානය වීමයි. දේශපාලනඥයින්ගේ දූ දරුවන්ට සහ හෙංචයියලාට පැජරෝ සංස්කෘතියට අවතීර්ණ වීමට අවස්ථාවක් ලැබීමයි. තව ද දැවැන්ත නිලධාරී පෙළෙන්තියකට ද මෙමගින් අවස්ථාව සැලසීමයි.

13වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය පිහිටුවන ලද්දේ මෙරට උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ ජනයාට යම් ආකාරයක් ස්වයං පාලන ව්‍යුහයක් ලබාදීමටය. මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලෙස 13වන සංශෝධනය 1987 දී ඇති කළඩද ඉන් ඉන් වසර 33කට පසුඩද එමගින් මෙරට දෙමළ ජනයාට කවර හෝ ස්වයං පාලනයක් ලැබී නැත. ඊට හේතු දෙකකි.

ප්‍රථමයෙන් ලංකාණ්ඩුව පළාත් සභා ක්‍රමය දුර්වල කිරීමට ආරම්භයේ සිටම කටයුතු කළ නිසාය. නිසි බලයක් නැති නාමික ස්වයං පාලන ක්‍රමයක් ඇස් බැන්දුමක් පමණි. පළාත් සභාවන්ට නිසි බලතල ලබා දෙනවා වෙනුවට සෑම ආණ්ඩුවක්ම කටයුතු කළේ ඒවායෙහි බලය උදුරා ගැනීමටය. තවද උතුරු නැගෙනහිර හැර මෙරට ප්‍රබල කලාපීය දේශපාලනයක් ද නැත.

දෙවන හේතුව නම් උතුරු නැගෙනහිර පළාත් සභාවන්හි දේශපාලන බලය අල්ලා ගත් කිසිදු සුලුතර දේශපාලන පක්ෂයකට පලාත් සභා ක්‍රමය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට උන්නදුවක් නොතිබීමය. දෙමළ ජාතික සන්ධානය විසින් පාලනය කළ උතුරු පළාත් සභාව විසින් කරන ලද ලොකුම කාරිය වූයේ යෝජනා සිය ගණනින් සම්මත කිරීම පමණි.

සැබෑ බලය බෙදීමක් සිදුවන්නේ නම් මධ්‍යම රජය කුඩා විය යුතුය. නමුත් පසුගිය කාලය පුරාම සිදුව ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ බලය සහ ප්‍රමාණය එන්න එන්නම විශාල වීමය. කලාපීය දේශපාලනයක් සහ අනන්‍යතාවයක් නැති සිංහල පළාත්වලට පළාත් සභා ක්‍රමය අවශ්‍ය ද නැත් ද යන්න ගැඹුරු දේශපාලන සංවාදයකට භාජනය විය යුතු මැයකි.

දැන් තුනෙන් දෙකක දේශපාලන බලයක් සහිත රාජපක්ෂලාගේ ආණ්ඩුව විසින්, 13වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ගෝඨාභයගේ වියත් මඟ, ගෙවිදු කුමාරතුංගගේ යුතුකම කවය සහ මිලින්ද මොරගොඩ ගේ පාත් පායින්ඩර් ආයතනය මතවාදී ප්‍රචාරයක් ගෙන යමින් සිටිති. බොහෝ කොටම මෙම උද්ඝෝෂනයට ගම්මන්පිල සහ වීරවංශ ද එක්වීමට ඉඩ තිබේ. ඇත්ත වශයෙන්ම නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද බලය බෙදීමේ සංකල්පයට විරුද්ධය. ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක ලෙස සිට විදේශ කටයුතු ලේකම් බවට උසස් වීමක් ලද අද්මිරාල් ජයන්ත කොළඹගේ ද මිලින්ද මොරගොඩගේ පාත්පායින්ඩර් ආයතනයේ ප්‍රමුඛයෙක්ව සිටි අයෙකි. සිංහල ජාතිකවාදී මතවාදය තිබෙන්නේ ද ඔවුන්ගේ පැත්තේය.

රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වන ඩග්ලස් දේවානන්ද මෙන්ම පිල්ලෙයාන් ද කරුණා අම්මාන් ද පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධය. ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවන්ට අයත් සම්පුර්ණ බලතල ලබා දිය යුතු බවයි. ආණ්ඩුවේ නැති දෙමළ සංධානය දැනටමත් ඉන්දියාව ලවා පළාත් සභා ක්‍රමය දිගටම පැවතිය යුතු බවට ප්‍රකාශයක් ලබාගෙන තිබේ. එය මෙම උද්ඝෝෂනය යුරෝපය සහ එක්සත් ජාතීන් කරාද ගෙන යනවා ඇත. උතුරු නැගෙනහිර බහුතර දෙමළ දේශපාලන පක්ෂවලට 13වන සංශෝධනය සහ පළාත් සභා යනු සිය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ප්‍රයෝජනයට ගැනෛ මෙවළමක් නොව හුදු දේශපාලන සටන් පාඨයකි.

ඉදින් මෙම සටනින් දිනනු ඇත්තේ කවරෙක්ද?

සමහර විට මෙම ප්‍රශ්ණය ද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති බල අරගලයේ කොටසක් බවට පත්විය හැකිය. ඉක්මණින්ම ඉදිරිපත්වනු ඇති 20වන සංශෝධනය දැනට පෙනෙන අන්දමට 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට ලබා දී ඇති බලය අහෝසි කිරීමට පියවර නොගන්නවා ඇත. පළාත් සභා මැතිවරණය මගින් ශක්තිමත් වනු ඇත්තේ ද මහින්ද රාජපක්ෂගේ දේශපාලන බල පදනමයි. බැසිල් රාජපක්ෂද 13 වන සංශෝධනය අහෝසි කිරීමට එකඟත්වයක් දක්වා නැත.

මෙම තත්ත්වය යටතේ වහාම 13 වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කැරෙනු ඇතැයි සිතීමට ඉඩක් නැත. පළාත් සභා වැඩකට නැති සහ බලයක් නැති සුදු අලියකු ලෙස ද දේශපාලන පංතියේ වරදාන උරගා බැලෙන සෙල්ලම් පිටියක් ලෙස ද දිගටම පවතිනවා ඇත. බලයක් නැති පළාත් සභාවන්ගෙන් උතුරු නැගෙනහිර දෙමළ හෝ මුස්ලිම් ජනයාට ප්‍රයෝජනයක් අත්වනු ඇතැයි සිතීම උගහටය.

අනෙක් අතට පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ඍජුවම කියා සිටින, ගෝඨාභයවාදී හිටපු රියර් අද්මිරාල් සරත් වීරසේකරට පළාත් සභා නියෝජ්‍ය ඇමැතිකම ලබාදීමේ සංකේතාත්මක ඇඟවීම වන්නේ, තිබුනත් නැතත් පළාත් සභා ප්‍රායෝගිකව නැතිවී යනු ඇති බවයි.

“සිවිල්” සමාජයෙන් UNP යට

කරු ජයසූරිය තමන්ට යූඇන්පී නායකත්වය ඉල්ලුවේය. රනිල් දෙන පාටක් නැත. ඔහු කියා ඇත්තේ කරු ජයසූරිය තමන්ගේ යූඇන්පීයේ සාමාජිකයකුවත් නොවන බවය.

මේ නිසා අසරණ වූයේ සිවිල් සමාජයේ නාමයෙන් යළිත් යූඇන්පියට කඩේ යෑමට අමුඩ ගසමින් සිටි රූපවාහිනී තිර-සිවිල් පිරිස්වලටය. කරු ජයසූරිය ඊළඟ මාදුළුවාවේ සෝභිත හිමිවනු ඇතැයි ද එමගින් යළිත් තමන්ට යළි බල ව්‍යාපෘතියක් නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔව්හු දවල් හීන මැවූහ.

මේ කියන යහපාලන රූපවාහිනී-සිවිල් පිරිස් ද යහපාලන ආණ්ඩුවේ අසාර්ථකත්වයට වගකිව යුතු බව දැන් බොහෝ සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් තේරුම්ගෙන තිබේ. මන්ද යත් රනිල් වික්‍රමසිංහගේ දූෂිත උද්දච්ච දේශපාලනය ආරක්ෂා කලේ ඔවුන් නිසාය.

අවසානාවකට මෙන් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් පවා මහ බැංකු බැදුම්කර මංකොල්ලය සාධාරණ කරමින් තර්ක කළහ. එවැනි එක් සහෝදරයකු මගෙන් මෙසේ අසුවේය. “සමසමාජ පක්ෂයට බැංකු කොල්ලකන්න හොඳනම් යූඇන්පිය එහෙම කරාම මොකද?” ඔහු ඉන් අදහස් කළේ සමසමාජ පක්ෂය මුල්කාලයේ කළැයි කියන හාර ලක්ෂයේ මංකොල්ලයයි. රනිල් වික්‍රමසිංහ මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ කරනු ඇතැයි එවැනි පිරිස් අවංකවම විශ්වාස කළ අතර, රනිල්ගේ කෝච්චියට නැගුණු පිරිස් කළේ රැවටිල්ලකි.

තමන් දේශපාලනිකව සිවිල් නොව රනිල්වාදී නම් ඒ බව කියා සිටීමට කෙනෙකු ජාතික ලැයිස්තු මංත්‍රී ධූරයක් ලැබෙන තුරුම සිටිය යුතු ද? “සිවිල්” සමාජයේ සිට හදිසියේම යූඇන්පියට බැදී දවස් දෙකක් පාර්ලිමේන්තුවට ගොස් ලක්ෂ 300ක වාහන බලපත්‍රයක් ලබා ගැනීම වරදක් ලෙස අප දැකිය යුතු ද? නැත්ද? එවැනි අනිසි ක්‍රියාවන්ට අප විරුද්ධ නොවිය යුතුද? ටිකක් කල්පනා කර බලන්න. එවැනි දූෂනයන්ට විරුද්ධව වචනයක් හෝ නොකී, නොලියූ රූපවාහිනී-සිවිල් පිරිස් නොසිටියේද කියා?

මේ එක් උදාහරණයක් පමණි. යහපාලන කොච්චියට නැගී එවැනි අනිසි වාසි ගැනීමේ තවත් උදාහරණ තිබේ. අප මෙවැනි කාරණා මතකයට නඟා ගත යුත්තේ කිසිවකු සමඟ ඇති ආරෝවක් නිසා නොව, යළිත් වතාවක් එවැනි ව්‍යාජ ගැලවුම්කාරයින්ට හසු නොවිය යුතු නිසාය.

රනිල්ට හෝ සජිත්ට හෝ සුමන්දිරන්ට හෝ සිවිල් සමාජයේ නාමයෙන් දරදිය අදින පිරිස් ඇත්ත වශයෙන්ම නම් කළ යුත්තේ එම පක්ෂවලට බැදී ප්‍රසිද්ධියේ පක්ෂ දේශපාලනය කිරීමයි. බොරු බෝඩ් ලෑලි අටවා ගැනීමෙන් වැඩක් නැත. ඉදිරි කාලයෙහි මෙවැනි පිරිස් වඩ වඩා කළ එළිබැසීමට ඉඩ තිබේ. වරද ඇත්තේ තමන් ස්වාධීන යැයි කියමින් එළෙස ජනයා කඩේ යෑවීමය.

ඉදිරි කාලයෙහි රාජපක්ෂලාගෙන්, මෙන්ම මෙවැනි දේශපාලන වෙස්මුහුණු කාරයින් සහ කාරියන්ගෙන්ද ප්‍රවේසම් විය යුතුව තිබේ. මන්ද යත් යළිත් වතාවක් යහපාලන මංකොල්ලයක් අවශ්‍ය නැති නිසාය.

රාජපක්ෂලාගේ මිලිටරිවාදී අධිකාරිවාදී දේශපාලනයට විරුද්ධ විය හැක්කේ ඉහත කී කවරකුට හෝ පන්දම් ඇල්ලීමෙන් නොව පක්ෂයන්ට ගැති නැති වාම සිවිල් දේශපාලනයක් මගිනි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya