iMAGE: Vikalpa/ Ishara Danasekara (#takebacknight ආලෝකයේ රාත්‍රිය Protest ,Colombo 2018) 

ලොව සෑම දෙසකම සිට මෙය නරඹන දැරියන්ට යමක් කීමට කැමතියි. ඔබේ අගය සහ ශක්තිය ගැන කිසි විටෙක සැකයක් තබා ගන්න එපා. ලෝකයේ ඇති ඕනෑම අවස්ථාවකට තනතුරකට කාන්තාවන් සුදුසුයි.  ඔබ දකින සිහින සැබෑ කරගැනීමට ඔබට අයිතියක් තියෙනවා. එය ඔබේ තෝරාගැනීමයි.

-හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ දේශනයක් ඇසුරෙනි-

මේ සටහනට හේතුවුනේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් හුවමාරු වන පෝස්ටු කිහිපයක් සහ ඒවාට ලැබුණු ප්‍රතිචාරයන් විසින් ඇති කල සංවේගයයි. මේ එක් පෝස්ටුවක් පහුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වූ ස්ත්‍රී දූෂණ වලට හේතු ලෙස පෙන්වා දුන්නේ කාන්තාවගේ ඇදුම් විලාසිතාවන් සහ ඔවුන්ගේ සමාජශීලී හැසිරීම්ය.  (එසේ නැතිව ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම සහ නීති පද්ධතියේ දුර්වලතා, වෙනත් සමාජ, ආර්ථික හේතූන් නොවේ) එවැනි ඇදුම් ඇදගෙන පාරේ යනවිට දූෂණය වීම අහන්නත් දෙයක්දැයි එහි වැඩි දුරටත් සදහන් විය. මේ අදහස සදහා විශාල පිරිසක් එකගතාව පළකර තිබුණු අතර තරුණ ප්‍රජාව ඉන් බහුතරය විය. මේ පෝස්ටුව පැහැදිලිවම වරද පටවා තිබුණේ වින්දිතයන් වෙතටය. ස්ත්‍රී දූෂකයා වරදින් සහමුලින්ම නිදොස් කර තිබිණි.  හවස් යාමයෙන් පසුව කාන්තාවන් එළිමහනේ සැරිසැරීම ගැන වෙනත් පෝස්ටුවක විරෝධය පළ කර තිබිණි. ගෑණු දරුවෙක් පාරට බැසීමට නිසි වෙලාවක් කලාවක් තිබෙන බව මෙය ඇසුරු කළ බොහෝ අයගේ අදහස විය. සිය රැකියා නිමවා රෑ දෙගොඩ හරිය වන තෙක් බසයේ තෙරපෙමින් මග ගෙවාගෙන නිවසට එන කාන්තාවන්ට ඔවුන්ගේ පිළිතුර වූයේ එහෙම යන්න එපා කීම මිස ඔවුන්ට ආරක්ෂිත සමාජයක් තැනීම නොවේ. රාත්‍රියේදී නයිට් කඩයකින් ආහාරයක් ගෙන චිත්‍රපටයක් නැරඹීම, නගරයේ රාත්‍රී අසිරිය විදීම වැනි අවස්ථාවලට නම් ඔවුන්ගේ අදහස් තුළ කොහෙත්ම ඉඩක් තිබුණේ නැත. එවැනි දෑ පිරිමියාට පමණක් කැපය. (කොලු කම්) තරුණයන්ට උපදේශාත්මක ස්වරූපයේ ආමන්ත්‍රණයක් කර තිබූ තවත්  පෝස්ටුවක පින්තූර දෙකක් සසදමින් අනාගත සහකාරිය මේ වගේ විය යුතු යැයි සටහනක් විය . එක් පින්තූරයක සිටි තරුණියගේ අත හොදින් සත්කාර කළ නිය ආලේපන ගැල්වූවකි. අලංකාර ටැටූවක්ද ඒ මත විය. අනෙක් පින්තූරයේ තරුණියගේ අත නිය ආලේපන නොගැල්වූ අතකි. විවාහ කරගන්නවා නම් මින් දෙවැනුව කී රූපයේ සිටින තරුණිය වැනි කෙනෙක් විවාහ කර ගන්නා ලෙසත් එවැනි තරුණියක් ඔබව කෙදිනකවත් බඩගින්නේ නොතබනු බවත් එහි සදහන් කර තිබුණි. මේ පෝස්ටුව විශ්ව විද්‍යාල සිසුන් පවා සිය ගිනුමේ පළ කර තිබිණි. ( ගැහැනියක් විවාහ කර ගැනීම යනු වැටුප් නොලබන කෝකියෙකු ගැනීමක්ද ?) තවත් වරෙක විවාහයෙන් පසු ගැහැනියගේ දිනපතා රූටිනය ගැන සංසරණය වූ සටහනක තිබුණේ ගැහැනිය පිරිමියාට පෙර අවදි විය යුතු බවත් එසේ නොවන ගැහැනුන් දුගතියක උපත ලබන බවත්ය. මේ ඇති.

සමාජ ජාල වල මෙලෙස සංසරණය වෙන නොයෙක් ආකාරයේ අදහස් ගැන වද විය යුත්තේ ඇයි ?  එලෙස වද විය යුත්තේ ෆේස්බුක් පිටු කිහිපයක පළ වන පෝස්ට්, ගිනුම් වල පළ කරන අදහස් නියෝජනය කරන්නේ අපේ සමාජයේම කොටස් බැවිනි.  ඒවා උඩ දමන බොහෝ දෙනා ඩෙනිම් අදින, තෙල් වෙනුවට ජෙල් ගා බෙකම්ලා ලෙසින්ම කොණ්ඩය සකසන, ජනප්‍රිය සංස්කෘතියේ බොහෝ දේ භුක්ති විදින නූතන තරුණයන්ය. කද ලිබරල් වූවාට ඔළුව වැඩවසම් පරම්පරාවය. ඔවුන් සයිබර් අවකාශයෙන් දියුණු නව අදහස් ලබා ගන්නවා වෙනුවට ගෝත්‍රික අදහස්  වලින්ම ඔළු පුරවා ගැනීම ගැන කම්පා විය යුතුය. සමාජයේ සැලකිව යුතු පිරිසකගේ අදහස් මෙපරිද්දෙන් වීම ගැන අප වද විය යුතුය.

මේවා නිකන්ම සටහන්, පෝස්ටු පමණක් නොවේ. පොදුවේ මේවාට සමාන අන්දමින් කාන්තාවට යම් මාර්ගෝපදේශනයන් පවතී. තනි තනිව නිවෙස් වල පරිසරය කෙරෙහි අවධානය යොමු කළහොත් ගෙදර අම්මාවරුන්ට දූවරුන්ට සහෝදරියන්ට ලේලිවරුන්ට මෙවැනි නීති රීති පනවා ඇති අයුරු නිරීක්ෂණය වනු ඇත. අධ්‍යාපන ආයතන වල, රැකියා ස්ථාන වල පවා මේවා අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මකය. හවස මේ වෙලාවෙන් පස්සෙ යන්න එපා, හයියෙන් හිනා වෙන්න එපා, ඕවගේ කතා කරන්න එපා, ඔය දේවල් කරන්න එපා, මෙහෙම ඇදුම් අදින්න එපා, ඔය විදිහටද ඉද ගන්න කියල තියෙන්නෙ, ගැහැණු ළමයෙක් වුනාම මේ දේවල් කරන්න ඕන, මේ දේවල් හොද නෑ යනාදී වශයෙන් නිර්ලිඛිත නීති සංග්‍රහයක්ම ක්‍රියාත්මකය. සමහර නීති පිරිමින් විසින් දැඩිව අවධාරණය කරන අතර  කාන්තාවන්ම ඇතැම් නීති පැනවීමට බලපෑම් කිරීමට සම්බන්ධ වෙති. පිරිමියාටත් එහා ගොස් කාන්තාවගේ පීඩකයා කාන්තාවම වන අවස්ථා බහුලය. හතළිහ දශකයේ ඉතාලිය පසුබිම් කරගත් සුප්‍රකට “මෙලීනා” චිත්‍රපටය මෙවැනි තත්වයන් හොදින්ම නිරූපණය කරන ලදි. (මලීනා නම් සුරූපිණියට කටකතා හදන්නෙ, නඩු පවරන්නේ, විරෝධය දක්වන්නේ කාන්තාවන් විසින්මය.) සැමියා සමග සිය දියණිය ගැටුමක් ඇතිකරගත් විට මෙයාට ඉවසන්න තිබුණා කියන අම්මලා සිටිති. එයා මෙහෙම හිටිය එක, මෙහෙම කතා කළ එක වැරදී කියන යෙහෙළියන් සිටිති. එයා මෙහෙම කෙනෙක් යැයි විනිශ්චය කරන කාන්තාවන් සිටිති. මෙම සීමා කිරීම්, බාධකයන්, පසුගාමී සංකල්ප සයිබර් අවකාශයේ මෙන්ම ගමේ නගරයේ සෑම තන්හීම ක්‍රියාත්මක වන සංකීර්ණ ගැටළුවකි. ඉඩ ඇහිරීමකි. මේ සමස්තය සලකා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් තවමත් සමාජය තුළ ගැහැනිය මේ දේවල් කළ යුතුය මේ දේවල් නොකළ යුතුය යන මතය ස්ථාපිත බවය. ඒ හරහා කාන්තාවගේ හැසිරීම, ක්‍රියාකාරකම්  වෙනත් අය විසින් හසුරුවනු ලබති. අතීතයේ මෙන් රළු පරළු ලෙස මෙන්ම අයිසින් තවරා අලංකාර ලෙසත් එය සිදු වෙමින් ඇත. එනයින් පිරිමියෙකුට සාපේක්ෂව බොහෝ අවස්ථා අහිමි කර ඇත. විනෝදයට, පරිපූර්ණ ජීවිතයකට මග අහුරා ඇත. මෙය සමාජයේ ඉදිරි ගමනට කාන්තාවගේ උපරිම දායකත්වය ලබා දීමට බාධා පමුණුවනවා මෙන්ම ඇයව ගොදුරක්, අනාරක්ෂිත ඉලක්කයක් ලෙස දකින්නටද සලස්වයි.

කාන්තාවන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් දැවැන්ත මහජන ව්‍යාපාරයකට නායකත්වය දුන් දහනවවන සියවසේ විසූ සුසෑන් ඇන්ටොනී නම් සමාජ ක්‍රියාකාරිනිය සිය දේශනයකදී (වසර 130කට පෙර) ප්‍රකාශ කළ “ගැහැනියගේ අනුමැතියෙන් තොරව ඇයව පාලනය කිරීමට කිසිදු පිරිමියෙක්ට සුදුසුකමක් නැත”  වැනි අදහසක් පවා මේ සමාජය සලකනු ලබන්නේ රැඩිකල් සංකල්පයක් ලෙසිනි. නමුත් නූතන ලෝකයට මෙයත් කල් ඉකුත්වූ අදහසක්වී හමාරය. කවර තත්වයක් යටතේවත් ගැහැනිය පාලනය කිරීමේ අයිතියක් පිරිමියාට නොමැති බවත් ඇගේ මාවත ඇගේ තීරණයක් බවත් වත්මන් දියුණු සමාජයන්ගේ පිළිගැනීමයි. මිනිසෙකුට අනෙකාගේ ජීවිතය කෙසේ වියයුතු දැයි තීරණය කිරීමේලා කිසිදු අයිතියක් එවැනි  ශිෂ්ඨ සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නැත. ලිංගය, වාර්ගිකත්වය, වර්ණය, උප්පත්තිය ආදිය අනුව විශේෂ වරප්‍රසාද හිමිවීමකින් තොරව මිනිසාට ස්වාධීනත්වයක්, අවකාශයක් සහ අයිතිවාසිකම් හිමිය. ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තීරණය කළ යුත්තේ ඔහු හෝ ඇය විසිනි. ඇයට අවැසි නම් ඇය ගෘහණියක් වනු ඇත නැතිනම් ව්‍යාපාරික කාන්තාවක් වනු ඇත. අධ්‍යාපනයෙන් ලෝකයම ජයගනු ඇත. එක්කෝ මැහුම් ගෙතුම් වැඩ කරනු ඇත. නැතිනම් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරන්නියක් වනු ඇත. ලේඛිකාවක්, නිරූපිකාවක් හෝ ක්‍රීඩිකාවක් වනු ඇත. සිනමාවක්, සංගීතයක් රස විදින, සංචාරයේ යෙදෙන ජීවිතයක් ගත කරනු ඇත. එය ඇගේ තීරණයක් මිස පිරිමියෙක්ගේ, වටපිටාවේ අයගේ, සමාජය පිළිගන්නා ලබ්ධියේ තීරණයක්  නොවන බව වටහා ගත යුතුය.

තවමත් ගැහැනිය සියුමැලිය, වරදෙහි ඇලෙන සුළුය. හවස හයෙන් පසු පාරේ යෑමට, තීන්දු තීරණ ගැනීමට නොහැකිය යනුවෙන් සිතන අයට  ලෝක තතු විමසා බලන ලෙස යෝජනා කරමි. අති සාර්ථක රාජ්‍ය නායකයන් ලෙස සැලකෙන නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩන්, පින්ලන්ත අගමැති සනා මරීන්, ලොව සිව්වැනි බලවත්ම පුද්ගලයා සහ බලවත්ම ගැහැණිය වන ඇන්ජෙලා මර්කෙල් වැනි අය, තලේබාන්වරුන්ගේ වියරුව ඉදිරියේ අවිහිංසාවාදී සටනක් ගෙන යන මලාලා යුසුෆ්සායි, ප්‍රවීණ මාධ්‍යවේදිනියක් සමාජ ක්‍රියාකාරිනියක් වන අරුණා රෝයි වැනි අය  ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා ද්විත්වයෙන්ම ලෝක කුසලාන අවසාන මහා තරග වලට සම්බන්ධවූ එකම ක්‍රීඩකයා ( කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම) මෙන්ම ලොව වැඩිම විස්සයි විස්ස කඩුළු දරන්නියද වන ක්‍රීඩිකා එලීසා පේරි, හොංකොං ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සටනේ පුරෝගාමී නායිකාව ලෙස දරදඩු චීන කොමියුනිස්ට් පාලනයට එරහිව නැගී සිටි විසිතුන් හැවිරිදි ඇග්නස් චෝ වැනි අය, රංගනය සදහා වැඩිම ඇකඩමි සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන කෘතහස්ත රංගන ශිල්පිණී කැතරින් හෙප්බර්න්, ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසකගේ රසිකත්වය දිනා ගත් හැරී පෝටර් විශ්වය නිර්මාණය කල  ලේඛිකාව ජේ.කේ.රෝලිං වැනි අය ආදී වශයෙන් ශක්තිමත් නිර්මාණශීලී ප්‍රතිභාපූර්ණ කාන්තාවන් ඕනෑ තරම් හමුවනු ඇත. ලොව පුරා කාන්තාවන් පිරිමියාට ජයගත හැකි නොහැකි බොහෝ දේ තරණය කර ඇත. ඔබේ මව දෙස බලන්න. මේ වීරවරියන්ව ඔබ ඇය තුළින් දකිනු ඇත. ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටවල පමණක් නොව ආසියානු අප්‍රිකානු හා ලතින් රටවල කාන්තාවද වේගයෙන් ඉදිරියට එමින් පවතී. ඒ ඇතැම් විට සමාන ඉඩ ප්‍රස්තා නොමැති වටපිටාවන් තුළය. මේ අද ඊයේ හෝ පසුගිය දශකයේ පෙරළීන් නොවේ. කාන්තාව පිරිමියා තරමටම තීරණ ගැනීමේ හැකියාවක් ඇති බව ශිෂ්ඨ ලෝකය පිළිගන්නේ දශක හතකටත් පෙරාතුවය. එය කාන්තාවගේ දෝතට ගෙන දුන් වරප්‍රසාදයක් නොව ඔවුන් විසින් මහත් පරිශ්‍රමයෙන් යුතුව දිනා ගත්තකි. දෙවැනි ලෝක යුද්ධයේදී කාන්තාවන් ඔවුනොවුන්ගේ රටවල කර්මාන්ත වලට උර දුන්හ. කම්හල්,  ගොවිබිම්, රෝහල්, පාසල් මෙන්ම වරාය ගුවන්තොටුපළ වල කාර්‍යයන්ද සදහාද ඔවුන් එක්විය. මෙහිදී ඇමරිකානු සහ සෝවියට් කාන්තාවන්ගේ මැදිහත්වීම වඩාත් කැපී පෙනිනි. ක්‍රමයෙන් වර්තමානයේ බොහෝ ක්ෂේත්‍ර වල ඔවුන් සැලකිව යුතු මට්ටමේ නියෝජනයකට හිමිකම් කියති. මෙරටට විදේශ විනිමය ගෙන එන මැදපෙරදිග ශ්‍රමිකයන්, ඇගළුම් කම්හල් වල ශ්‍රමිකයන්, තේ වතු ආශ්‍රිත ශ්‍රමිකයන්ගේ බහුතරයද කාන්තාවන්ය. එවන් ලෝකයක කාන්තාවක් මෙසේ විය යුතු යැයි තීරණය කිරීමට ඇය හැර වෙනත් අයෙකුට අයිතියක් තිබිය යුතුද ?

දැන් ස්වාධීන ගැහැනිය සදහා පිරිමියා හුරුවීම අනිවාර්යය තත්වයකි.  ඔබේ සහකාරිය ඔබට උයා දෙන අයෙකු විය යුතු යැයි බලාපොරොත්තු වීම නූතන සමාජයට, ශිෂ්ඨත්වයට නොගැලපෙන විකෘතියකි.   එසේම කාන්තාවන්ද සිය ස්වාධීනත්වය රැක ගැනීම සදහා ප්‍රධාන කාර්‍යභාරය ඇත්තේ තමන් අතම බව තේරුම් ගත යුතුය. තමන්ගේ අයිතිවාසිකම් දැනගැනීම සහ භුක්ති විදීම, අනෙකා වෙනුවෙන් පෙනී සිටීම එහිදී මූලික කාර්යයන්‍ වේ. ඉහළ නිදහසක් සහ අවස්ථාවන්  සදහා හිමිකම් කියන සමාජවල කාන්තාවන් අතර ප්‍රචලිත කියමනක් වන “I’m not free while any woman is unfree” යන්න මෙරට කාන්තාවටද හොද සටන් පාඨයකි. (ප්‍රවීණ ලේඛිකා ඕඩ්‍රි ලෝර්ඩිගේ කියමනකි.) මෙය මගේ නොව අපේ නිදහස පිළිබද අයිතීන් පිළිබද ප්‍රශ්නයක් යැයි තේරුම් ගැනීම තුළින්ම පසුගාමී සීමාවන් එක්ව තරණය කළ හැකිය. එවන් සීමා  පරාජය කළ, කාන්තාවන් උපරිම අයිතීන් සහ අවස්ථා භුක්ති විදින තත්වයකදී සමාජයක ඉදිරි ගමනට කාන්තාවගේ උපරිම දායකත්වය හිමිවනු ඇත.

ශාලිත බණ්ඩාර සමරකෝන් | Shalitha Bandara Samarakoon