Colombo, Featured Articles, Features

නෝනාවරුණි, මහත්වරුණි – ලැජ්ජයි..!

දැන් ලංකාව තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. මේ මොහොත වන විට ලංකාවේ දැවෙන ප්‍රශ්ණය විවිධ වූ වෙබ් අඩවි තුළ අසභ්‍ය දර්ශණය පෙනී සිටින්නන් සොයා ඔවුන් නීතිය හමුවට පැමිණවීමයි. රටේ සංවර්ධනයට, ප්‍රජාතන්ත්‍රවාදයට ස්ථාපිත කිරීමට, මාධ්‍ය නිදහස ඇතිකිරීමට තිබෙන ප්‍රධානම බාධකය මේ වෙබ් අඩවිවීමට යැයි යමෙකුට මේ ඔස්සේ සිතිය හැක. ඒ නිසාම සියලු දෑ පසෙකලා ජනාධිපතිවරයාගෙන් ලද උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සූදානම් වන්නේ ඒ ජාතික ප්‍රශ්ණය විසදීමටයි. ඒ අනුව එම දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර විමර්ශණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත. මාධ්‍යවේදියෙක් අතුරුදහන් වූ විට නම් නිදා සිටින පොලීසිය දැන් රෑ දවල් නැතිව මෙම කාර්යය වෙනුවෙන් වෙහෙසේ. දැන්මම පොලිස් කණ්ඩායමක් එම පුද්ගලයන් සොයා හලාවත ප්‍රදේශයට ගොස් ඇත. ඔන්න ආසියාවේ සුන්දරලන්තයේ ජාතික ප්‍රශ්ණ.

දැන් සියලු දෙනාම සූදානම් වන්නේ හොඳ ෆන් එකක් ගන්නය. මීඩියා ආයතනවලට හොඳ පොටක් පෑදෙන නිවුස් එකකි. ජාතික රෑපවාහිනිය සමහර විට නැවත සමන් කුමාරව පොලීසිය සමඟ මෙම මෙහෙයුම ගැන වාර්තා කිරීමට යවනු ඇත. මෙම මෙහෙයුමටද සදාචාර මෙහෙයුම හෝ මොකක් හරි නමක් ද දාන්න බැරිනැත.

“වීරෝදාර සත්ගුණවත් ශ්‍රී ලංකා පොලීසිය තවත් දෙදෙනෙක් අද දවසේ දී අල්ලා ගනු ලැබූවා…මෙතැන් සිට තවත් ඉදිරියට යෑමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ලංකා මාතාවගේ සදාචාරය තහවුරු කරන දින තව වැඩි ඈතක නොවේ. මෙහෙයුම් කලාපයේ සිටන මම, සමන් කුමාර රා..’’

මේ ලෙස මොර දෙන්නටද බැරිනැත. මහජනයාගේ ඇඟ ඇති සලුපිළි ගැලවී නිරුවත් වූවද දැන්නේ නැතිව වශීවී රූප පෙට්ටි ඉදිරිපිට සදාචාර මෙහෙයුම බලාගැනීමට පොදිකනු ඇත.
හෘදයක් සහ මොළයක් තියෙන මිනිස්සුන්ගේ ඉහමොළ රත්වන්නේ මේ දැන් ය. මොකද්ද මේ කරන්න යන විනාශය. ප්‍රශ්ණය නීතිය හමුවට පැමිණවීම නොවේ. ප්‍රශ්ණය ඔවුන්ගේ ජායාරූප මාධ්‍ය වෙතින් ප්‍රසිද්ධියට පත් කිරීමයි. මේ සමාජයෙ මෙළෝ ලිංගික අධ්‍යාපනයක් නොමැති, ඒ ගැන කතාකිරීම පවා නුසුදුසුයැයි සිතන සමාජයක් වීම නිසා ඒ හරහා නිර්මාණයවන සාමාජීය අර්බුදයයි. මේ දර්ශණවලට පෙනීසිටියැයි කියන අයගේ පවුල්වලට, දරුවන්ට, දෙමව්පියන්ට මේ කුහක සමාජය කෙසේ ප්‍රතිචාර දක්වයි ද? ඒ හරහා සිදුවන සමාජ හිංසන, සියදිවි හානිකර ගැනීම්, අධ්‍යාපනය කඩාවැටීම්වලට වගකියන්නේ කාන්තා කාර්ංශය ද? ජනාධිපතිවරයාට මේ සඳහා උපදෙස් දුන් මනෝවෛද්‍ය උපදේශකයන් යැයි කියා ගන්නා අය ද? නැතිනම් හොඳවැඩේ ඕකුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ කියා මෙයින්ද ප්‍රමෝදයක් ලබන්නවුන් ද? නැතිනම් ජනාධිපතිවරයා ද?

මේ ඊනියා සදාචාරවාදීන් ලෑස්තිවන්නේ අන්අයගේ ජීවිත මතින් තමන්ගේ ඇරියස් කවර කිරීමටයි. එය ඉතාම පැහැදිලිය. ඒ දර්ශණවලට පෙනීසිට කවරකුවත් කර්මාන්තයක් ලෙස ඒහා සම්බවන්ධ වූවන්යැයි සිතීමට අපහසුය. මොකද එවැනි කර්මාන්තයක් ඇරඹීමට ලංකාව තුළ පැහුණු සමාජයක් නැත. සමහර විට එම දර්ශණ ඔවුන්ගේ ජීවිතයේ අතිශය පුද්ගලික මොහොතක් විය හැකි අතර, එම වීඩියෝ අසභ්‍යයැයි කියා තෝරාගන්නා නිර්ණායක කුමක් ද? එවැනි අතිශය පුද්ගලික මොහොත ගෙවන්නේ ඔවුන්ගේ ලෝකයේ ය. එවැනි මොහොතක් දැනුවත් හෝ නොදැනුවත්ව වීඩියෝගත කරන්නේම ලිංගික අධ්‍යාපනයක් නොමැති, ඒ සම්බන්ධව කථාකිරීම පවා මහා වරදක් යැයි සමාජයක මේ පවතින අසහනයේ එක් පැතිකඩක් අපට නිරාවරණය කරමිනි. එය කවරකු හෝ නරුම අදහසකින් අන්තර්ජාලයට මුදාහැරි පමණින් එය ලිංගික කර්මාන්තයක් යැයි සිතා ගැනීම වලිගය පාගා ගැනීමකි. ?

එමඟින් මේ පාලකයන් සහ නිළධාරීන් සිටිනා කුටුම්භ මානසික මට්ටම තේරුම් ගැනීම අපහසු නැත. එතුමන්ලා වලිග පාගාගත්තට අපට කිසිඳු ප්‍රශ්ණයක් නැත. අපට ඇත්තේ මිනිස් ජීවිත ගණනාවක් පිළිබඳ ගැටලුවකි. නමුත් අපේ සමාජය මෙවැනි ප්‍රමෝධයක් ලැබීමට හොඳටම සූරයෝය. නීතියෙන් වැරදිකරුවන් කිරීමටත් පෙර වැරදිකරුවන් කර දඬුවම තීරණය කිරීමට ඔවුන්ට පුළුවන.

හදවතක් සහ මොළයක් සහිත මිනිසුන්ට නම්, කාන්තා කාර්යංශයේ අමන තකතීරූ ක්‍රියාව කිසිඳු ලෙසකින්වත් අනුමත කිරීමට නොහැකිය. ඒ මේ සමාජයේ දරුවන් විනාශ වන්නේ මේ දර්ශණ නැරඹීමෙන් නොවේ. දරුන්ට ඒ සම්න්ධව නිසි අවබෝධයක් ලබා නොදීම තුළිනි. එසේ නොමැතිව මේ තකතීරු ආකාරයට මේ තත්ත්වයන් සමනය කළ නොහැකිය. එහෙත් ඇතැම් නරුම අසහනකාරයින්ටනම් මේක මාර ත්‍රිලක් විය හැක. ඔවුන් අද පත්තරය ගන්නේම එහි තමන් දන්නා කවුරුන් හෝ ඇත්නම් ඒ ඉන්න තැනැත්තිය තමන්ගේ දැලට ටැකල් කරගැනීමේ අදහසකින් මිස වෙනයම් දෙයක් වෙනුවෙන්නම් නොවේ. ඉන් පසුව සදාචාරය ගැන ප්‍රශ්ණ කරති. මේ ඊනියා සදාචාරවාදීන්ගේ ජීවිත ගෙන බැලුවහොත් ඔවුන්ව සියල්ලට පෙර නීතියට හමුවට ගෙන ආ යුතුය.

නමුත් හොඳ අවදානයෙන් විමසා බැලුවහොත් මෙය පොලිටිකල් ගේම් එකකි. මේ මොහොතේ මර්ධන කෙරෙහි යොමුවී ඇති අවදානය වෙනතකට හැරවීමට හොඳටම මෙම කාරණය හොඳටම ප්‍රමාණවත් සහ ජනතාපරමාධිපත්‍යය නොසෑහෙන්න සැප දියහැකි මාතෘකාවකි. ශිෂ්‍ය අරගල, මාධ්‍ය මර්ධන, දේශපාලන පළිගැනීම්, සංහිදියා කොමිසම ජනයාට මතක නැත. ඒවා බහුතරයකට ත්‍රිල් මාතෘකාද නොවේ. මෙය ආණ්ඩුද දනී. ඒ නිසාම දිනපතා මාධ්‍ය භාවිතා කරමින් පොපප්වන ප්‍රවෘත්තියක් නිර්මාණය කරගනී. ඒ ඔස්සේ රටම පෙළට ඇඳීයි. එම නිසාම මේ පවතින සන්දර්භය තුළ මෙය අනිවාර්යයෙන්ම පොලිටිකල් ගේම් එකක් වියහැක. ගිය සතියේ මෙගා ස්ටාර් ෆන්ගත් අයට මේ සතියේ මෙය හොඳ මාතෘකාවකි. ඔවුන්ට පවතින තත්ත්වයන් පිළිබඳ සබුද්ධික වන්නට වේලාවක් හෝ උවමනාවක් නැත. මේ ලැබෙන ප්‍රමෝධය ඊට වඩා වටින බැවිනි.

මේ කාරණයට ගොඳුරු බවට පත්වූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන්ය. කාන්තා දිනයට, මැතිවරණයකදී සම-අයිතිය ඉල්ලා මාධ්‍ය හරඹපාන කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියන් මේ කරුණ හමුවේ තම මුවට තදකර දඹර ඇඟිල්ලක් තබාගෙන ඇත. ඒ ගැන පුදුම වෙන්නටද දෙයක් නැත. මේ මොහොතේ මෙයට මැදිහත්වීම තමන්ගේ කැරියර් එකට හොඳමදි යැයි ඔවුන් සිතනවා වෙන්නට බැරිනැත. ලංකාවේ සෙක්ෂුවල් ගැන කතාකර සමාජය ඉදිරියේ තමන් කලුචරිත වේ’යැයි ඔවුන්ට බියක් පවතිනවා විය හැක. නමුත් අනෙක් වේලාවට ඔවුන් පට්ට රැඩිකල්ය. මෙම බොහෝ මානව හිමිකම් සංවිධානවලටද එහි ක්‍රියාකාරීන්ටද පොදුය. ඔවුන්ට යමක් කිරීමට අවශ්‍යයනම් මේ වෙනුවෙන් මැදිහත් වීමට තිබුණි. ඒ ලබා දුන් උසාවි නියෝගය අභියෝගයට ලක්කරමින් එය වලක්වන නියෝගයක් හෝ ලබාගැනීමට තිබුණි. ඒ සඳහා උත්සාහයක් ගත් බවක්වත් වාර්තා නොවේ. උත්සාහ ගත්තවුනටද සහයෝගයක් නොලැබිණි. එහි කාරණාව පැහැදිලිය. මේ මාතෘකාවට ඔවුන්ටම අනුව වෙළෙඳපොඳ කුඩාය. නැති තරම්ය. කොහේවත් යන නයි රෙද්ද අස්සේ දාගන්නේ මොකටද කියා ඔවුන්ද තමන්ගේ වගකීම අතහැර දැම්මා විය හැකියි.

අද ප්‍රසිද්ධියට පත්කළේ ඔවුන්ගේ රුවය. හෙට ඔබගේ ඡායා රූපයක් පලකළ හැක. අමතක නොකරන්න. නීතිය තමන්ට උවමනා ලෙස හරවා ගැනීමට මෙන්ම, තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට නීතිය පාවිච්චි කිරීම අවශ්‍යය ප්‍රමාණයටත් වඩා ශ්‍රී ලංකාව නම් මිලිටරි රාජ්‍යයේ පාලකයින්ට සහ මිලිටරි අංශවලට බලය ඇත.

ක්‍රිශාන් රාජපක්‍ෂ