Colombo, Featured Articles, Features, Jaffna

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු….

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු…. – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

2010 වසර අවසන් වුයේ ඇමැතිවරුන් ඇතුළු පාලක දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඔව්න් ගැන අසන්නට ලැබුණු කාලකන්නි ප්‍රීතිය, ශෝඛය සහ භීතිය ඇති කරන කතාන්තර මාලාවකිනි.

ඇමැතිවරු තිදෙනෙක් ම දෙසැම්බර් මාසයේ දී දේශපාලන පිටුබලය ඇති දාමරික පිරිස් විසින් නිරායුධ පුරවැසියනට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ප්‍රසිද්ධියේ ම අනුමත කළහ. ඒ සරසවි ශිෂ්‍යයිනට එරෙහිව තමන් ප්‍රචණ්ඩ ප්‍රහාරයක් දියත් කළ බව ආඩම්බරයෙන් කියා සිටි අමාත්‍ය එස්.බී. දිසානායක, ශ්‍රී ලංකාවේ එකම අන්තර් ජාතික ගුවන් තෙටුපළෙහිදී විරුද්ධවාදීන්ට අතින් පයින් පහරදීම දේශප්‍රේමී යුතුකමක් සේ වර්ණනා කළ අමාත්‍ය සරත් ගුනරත්න සහ දේශද්‍රෝහීන්ට දුටු තැන ගල් ගැසීමට යෝජනා කළ අමාත්‍ය වීරකුමාර දිසානායක ය.

දෙසැම්බර් 22 දින අමාත්‍ය මර්වින් සිල්වා ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ තමන් බතික් කමිසයක් හැද සිටි නිසා අමාත්‍ය මණ්ඩල රුස්වීමේ දී ජනාධිපතිවරයාගේ දොස්මුරයට ලක් වූ බව ප්‍රසිද්ධ කළ පුද්ගලයා කව්දැයි සොයා ගතහොත් ඔහුගේ කට දැලි පිහියකින් කපන බව ය. කට කැපීමට නියමිත වූ පුද්ගලයා ද ඇමැතිවරයකුම විය යුත්තේ අමාත්‍ය මණ්ඩලයේ වූ එම සිදුවීම ඇමැතිවරයකු මිස අන් අයෙකු දැන නොසිටි නිසා ය. (ඇමැතිවරයකුගේ වුවත් ) කට දැලිපිහියකින් කපන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ඇමැතිවරු සිටින ලෝකයේ එකම රට ලෝකෙන් උතුම් ශ්‍රී ලංකාව ය.

දෙසැම්බර් 19 දින එල්ටීටීඊයේ දෙවැනි නායකයාව සිටි කරුණා අම්මාන් උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම හමූයේ සාක්ෂි දුන්නේ ය. ඔහු කියා සිටියේ සිය නායකයත්වය යටතේ නැගෙනහිර පළාතේ කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවු බව යි. 1990 වර්ශයේ මඩකළපුවෙහි දී පොලිස් නිලධාරීන් 600ක් පමණ ඝාතනය කිරීමට වගකිය යුත්තේ තමා නොව ප්‍රභාකරන් බව ඔහු ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස කීවේ ය. එනමුත් එම ඝාතනයෙන් දිවි බේරාගත් එවකට පොතුවිල් මහකලුගොල්ල පොලිස් මුරපොලෙහි ස්ථාන බාර නිලධාරියා වු අජිත් ධර්මදාස දෙසැම්බර් 20 දා වෙබ් අඩවියකට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම අවස්ථාවෙහි කරුණා අම්මාන් පොලිස් මෝටරෝලා සන්නිවේදන උපකරණයකින් තමා අමතා තමාට සුදු කොඩියක් ගසා යටත්වන ලෙස කී බව සහ එකී ඝාතනයන්ට ඔහු ඍජුවම වගකිව යුතු බවත් ය.

තවත් ඇමැතිවරයකු වන ජීවන් කුමාරතුංගගේ මැර කණ්ඩායමක් පුද්ගලික ප්‍රශ්ණයක් මත රාජගිරියේ රෙදි වෙළද සැළකට පහර දුන් බව වෙබ් අඩවියක් වාර්තා කළේ දෙසැම්බර් 22 දිනය. ඊට අනුව රෙදිවෙළද සැළ හිමි සුදර්මා නෙත්තිකුමාර මහත්මිය රාජගිරිය පොලීසියට පැමිණිළි කරන ලද නමුත් කිසිවකු අත් අඩංගුවට ගැනුනේ නැත.

දෙසැම්බර් 25 දින තවත් වෙබ් අඩවියක් වාර්තා කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දකුණෙන් පැමිණ මන්නාරමේ වෙළදාමේ යෙදී සිටින වෙළදුන්ගෙන් බදු අය නොකරන ලෙස මන්නාරමේ නාගරික කවුන්සිලයට අනතුරු හඟවා ඇති බවය. එමෙන්ම දේශපාලඥයකුගේ සහාය ලබන පුද්ගලික කල්ලියක් දිනකට ලක්ෂ දෙකක පමණ කප්පම් මුදලක් මෙම වෙළදුන්ගෙන් ලබා ගන්නා බවත් ය.

මේ අතර දෙසැම්බර් 16 දින දිනමිණ පුවත්පත උපුටා දක්වමින් වෙනත් වෙබ් අඩවියක් දක්වා තිබුණේ රජයේ උසස් තනතුරක් ලබා ගැනීමට නම් පා.ම. නාමල් රාජපක්ෂට උදව් කළ යුතු හැටිය. එකී ලිපියට අනුව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා කියා තිබුනේ තමා අහම්බෙන් වාගේ නාමල් රාජපක්ෂට ව්‍යාපෘතියක් ඇදදුන් බවත් ඉන් අනතුරුව කිසිම ඉල්ලීමක් නැතිව තමා මෙම සභාපති තනතුරට එකවරම පත් කළ බවත් ය.

වත්මන් අමාත්‍ය මංඩලයේ සිටින වැඩිම අධ්‍යාපනික සුදූසුකම් ඇති විදේශ අමාත්‍ය මහාචාර්‍ය ජී.එල්. පීරිස් එකකට පසු එකක් බැගින් අබග්ගයන්ට මුහුණ දුන්නේ ය. බ්‍රිතාන්‍යයේ දී මුහුණ දුන් රාජ්‍ය තාන්ත්‍රික අලකලංචියේ දී ජනාධිපති රාජපක්ෂගේ කතා කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් වොල්ටෙයර්ගේ ‛මගේ දිවිහිමියෙන් ඔබේ කතා කිරීමේ අයිතිය රකිමි’ යන සුප්‍රසිද්ධ ප්‍රකාශය පුනරුච්චාරණය කළ අමාත්‍ය පීරිස් ශ්‍රී ලංකාව තුළ එම අයිතිය පයට පාගා දැමෙන විට මුඛ පූට්ටු කරගෙන සිටියේ ඇඟටවත් නොදැනෙන පරිදි ය.

අනතුරුව ඔහු ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් මුරුංගා ගසකට නැග්ගේ ය. ඒ නේපාලයේ පවතින යුද දේශපාලන අර්බූදය විසදීම පිණිස නේපාල ජනාධිපතිවරයා ජනාධිපති රාජපක්ෂගේ මැදිහත් වීම ඉල්ලා සිටි බව ප්‍රසිද්ධියේ කියා සිටීමෙනි. නේපාල රජය වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් අමාත්‍ය පීරිස් කී අන්දමේ ඉල්ලීමක් නොකළ බවත් මෙවැනි පදනමක් නොමැති ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකාණ්ඩුව වැළකිය යුතු බවත් ය. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍ය පීරිස් යළිත් වරක් කීවේ ‛නේපාල ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් තමාගෙන් කළ බව යි’. ඉන් අනතුරුව නේපාල ජනමාධ්‍ය එරට ආණ්ඩුවේ මුලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේ නේපාලයේ සංචාරයක යෙදුණු නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා විදේශ අමාත්‍ය පීරිස් ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව යි. දැන් නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා කියන්නේ තමා එවැනි සමාව ඉල්ලීමක් නොකළ බව යි.

මේ කතා කෙසේ වෙතත් නේපාලයේ යුද දේශපාලන අර්බූදය විසදීම පිණිස මැදිහත්වන්නැයි ජනාධිපති රාජපක්ෂට කිසිදු ආරාධනාවක් ලැබුණේ නැත.

ඉන් පසු විදේශ අමාත්‍ය පීරිස් ජනාධිපති විසින් පත් කරන ලද ‛උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසමේ’හි එල්ටීටීඊ හිතවාදීන් සිටින බවටත් ඊට සාක්ෂි නොදෙන ලෙසටත් තමාට කී බව දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියකු සහ ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවකු වන ගුණදාස අමරසේකර විසින් ජනමාධ්‍යට කියා සිටියේ ය. අමාත්‍ය පීරිස් එය ප්‍රතික්ෂේප කළේ ය. බලපෑම් හමූයේ අමරසේකර තමා එසේ නොකී බව කියා සිටියත් බීබීසී සන්දේශය එම ප්‍රකාශය ඇතුළත් හඬපටිය යළි ප්‍රචාරය කරන ලද්දේ අමරසේකරගේ මුඛයක ද පූට්ටු කරමිනි.

අලි මදිවාට හරක් කීවා සේ අමාත්‍ය පීරිස්ගේ විදේශ අමාත්‍යාංශයේ එල්ටීටීඊ හිතවාදීන් සිටින බවටත් ඔව්න් වහාම අත් අඩංගුවට ගත යුතු බවටත් ආණ්ඩුවේ කොටස්කාර වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ් දෙසැම්බර් 23 දා කියා සිටියේ ය. ඊට හේතුව වූයේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීම පිණිය එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට පළවූ වාර්තාව යි. එම වාර්තාව කියා සිටියේ එජා ලේකම් බැන් කී මූන් ජනාධිපති රාජපක්ෂ සමඟ පැවැත් වූ දීර්ඝ සාකච්ජාවකින් පසු මෙම එකඟතාවයට එළඹි බව යි.

අමාත්‍ය විමල් වීරවංශ මෙම කමිටුව පත්කරන ලද අවස්ථාවෙහි ඊට එරෙහිව කොළඹ එජා සංවිධාන කාර්‍යාලය වටලා තොවිලයක් නටා ‛මාරාන්තික’ උපවාසයක් රඟදැක්වූයේ ය. එනමුත් මේ අවස්ථාවේ කටක් හැර හූවක්වත් කීවේ නැත. මෙම සංචාරය සිදු වන්නේ රාජපක්ෂගේ එකඟතාවය මත බව බැං කී මූන් විසින් ඉතා පැහැදිළිව ප්‍රකාශ කර තිබිදීත් අමාත්‍ය වීරවංශගේ පක්ෂය කළේ විදේශ අමාත්‍යාංශට බැණ වැදීම පමණ ය. ඇත්ත වශයෙන්ම නම් ඔහු මේ ප්‍රහාරය එල්ල කළේ අමාත්‍ය පීරිස්ට ය. මන්දයත් එල්ටීටීඊ ය සමඟ සාකච්ජා මේසයේ වාඩි වී බාලසිංහම් සමඟ අතට අත දී ෆෙඩරල් ක්‍රමයකට එකඟ වූ විදේශ අමාත්‍යාංශයේ සිටින එකම පුද්ගලයා අමාත්‍ය පීරිස් නිසා ය.

ඇමැතිවරුන් ද ඇතුළුව මංත්‍රීවරුන් 60 දෙනෙකු ලක්ෂ 190 බැගින් ගෙන්වූ සහරා 200 නම් අධිසුඛෝපභොගී වාහන එකක් ලක්ෂ 270 ගණනේ විකුණා ඇතැයි වාර්තා කළේ සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකි. ඇත්ත වශයෙන් ම නම් මංත්‍රීවරුන් කරන ලද්දේ වාහන ගෙන්වා විකිණීම නොව වාහනය ගෙන්වීමේ තිරුබදු රහිත අවසරය ලක්ෂ 100කට පමණ විකිනීම ය. මේ පිළිබඳ විමසනු ලදුව පාර්ලිමේන්තු කටයුතු බාර ඇමැතිනිය කියා සිටියේ තමාට කිසිදු පැමිණිල්ලක් කර නැති බැවින් ඒ පිළිබඳ සොයා බැලීම අනවශ්‍ය බව ය. ඒ තරමටම නීති ගරුක ය.

අවසාන වශයෙන් රත්නසිරි වික්‍රමනායක, සරත් අමුණුගම, ඒ.එව්.එම්. පවුසි, තිස්ස විතාරණ වැනි දේශපාලඥයින් හිස් සහ පුස් ජේෂ්ඨ ඇමැතිධුරයන්ට පත් කර අලුත ආ එජාප දේශපාලඥයින්ට ඇමැතිධූර ලබා දීමත් 2010 අවසානයේ දකින්නට ලැබුණු අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වීම වැනි බව ලියා තැබිය යුතු ය.

Pic by – www.skyscrapercity.com