සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips

‛‛රට වනසන – කතුන් නසන, මේකද මේ – ආශ්චර්ය’’ කාන්තා දිනයේදී උද්ඝෝෂණයක්

අද(8) ජාත්‍යන්තර කාන්තා දිනයයි. ‛දේශය නැගුමට ඇයගේ දැණුම හා ශක්තිය’ මෙවර කාන්තා දිනයේ තේමාවයි. මෙවර කාන්තා දිනයේ දී රජය, දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන විවිධ කෙත්මාවන් මුල්කර ගනිමින් විවිධ වැඩසටහන්, උද්ඝෝෂණ රටපුරා පැවැත් වූ අතර නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් අද ලාංකීය කාන්තාවෝ මුහුණ දෙන සුවිශේෂි ප්‍රශ්න ගණනාවක් සමාජ අවධානයට සහ පාලකයන්ගේ අවධානයට ලක් කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එහි දී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනී දිමුතු ආටිගල ප්‍රකාශ කර සිටියේ, දරාගන්න බැරි විදිහට බඩු මිල, උතුරු නැගෙණහිර කාන්තාවන් අද දවසේ මුහුණ දෙන ඛේදනීය තත්වයන්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පිළිබදව රජය වහාම සිය අවධානය යොමුකර එයට විසඳුම් ලබා දිය යුතු බවයි. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් “මේ වන විට කාන්තාවට දරාගන්න බැරි විදිහට බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දරා ගන්න බැරි ජීවන වියදමක් එක්ක පොර බදින කාන්තාවෝ පිරිසක් අපේ රටේ ජීවත් වෙනවා. කාන්තාවෝ එදා වේල හොයාගන්න බැරිව, දරුවන්ට කෑම වේලක් දීගන්න බැරුව ඉන්නෙ. මේ කම්කරු කාන්තාවන්ව රවට්ටමින්, විකුණමින් මේ පාලකයො ඒ අයව ආශ්චර්යයකට ගෙන යනවා කියලා කියනවා. අපි අහනවා මේකද ආශ්චර්යය කියලා.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කාන්තාවෝ අවතැන් කඳවුරු වල තමන්ගෙ ස්වාමිපුරුෂයෝ, දරුවෝ අතුරුදහන් වෙලා, ඒ අයව හොයාගන්න බැරුව ජීවත්වෙනවා, ඉන්න හිටින්න තැනක් නැතුව ජීවත් වෙනවා, විවිධ ලිංගික අතවරයන්ට අපරාධයන්ට ගොදුරුවෙනවා.

ඒ වගේම මැදපෙරදිග රටවල සේවයට යන කාන්තාවො ශරීරවල ඇණ සහිතව, ආබාධ සහිතව නැත්නම් මරණයට ලක්වෙලා ලංකාවට එන තත්වයක් උදාවෙලා තියෙනවා.

ඒ වගේම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දවසින් දවස ඉහළ යමින් තියෙනවා. මේ සියළුම තත්ත්වයන් බලපුවම කාන්තාවන්ගෙ තත්ත්වය ඉතා ඛේදජනකයි. මේක කාන්තා දිනයට විතරක් කතාකරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. සමාජ අවධානය, පාලකයන්ගෙ අවධානය මේ කාන්තා ප්‍රශ්න කෙරේ යොමු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ”

මෙම උද්ඝෝෂණයේ දී කාන්තාවන් පවතින රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් තම විරෝධතාවය ප්‍රකාශ කරනු ලැබුවේ පහත ආකාරයටය.

මේක තමයි – ආශ්චර්ය
ආසියාවේ – ආශ්චර්ය
රටන වනසන – කතුන් නසන
මේකද මේ – ආශ්චර්ය

බඩු මිල යයි – අහස උසට
කිරි පිටි නෑ – පොඩි එවුන්ට
කන්න නැතත් – බොන්න නැතත්
සැණකෙළි නම් – හතර වටින්

පොල් කොහේද – හඳේ හඳේ
ගෑස් පෙනෙයි – ගෑස් මිලේ
පාන් ගෙඩිය – අල්ලනු බෑ
සල්ලි නැතේ – මඩිස්සලේ

කෝ කෝ කෝ – සහන මල්ල
දෙනවා කිව්ව – සහන මල්ල
පෝෂණ මලු – පෙන්න පෙන්න
ගහයි අපේ – බඩට මෙන්න

ගෘහ සේවෙන් – ලාබ ලැබේ
යකඩ කම්බි – ඇන ඇතුලේ
වද විඳ විඳ – නොමැරි මැරී
පාලකයින් – අඩ නින්දේ

නොකා නොබී – දෙතුන් වෙලේ
කඳවුරු වල – වුණා ගාල්
යුද්දෙ නැතත් – රැකවල් නෑ
උතුරෙ කතුන් – නිදහස් නෑ

More Photos