සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – යුද්ධ විවාදය

සුනන්ද දේශප්‍රිය

ආණ්ඩුවේ හමුදා නැගෙනහිර අල්ලා ගත් පරිදි උතුර ද අල්ලා ගනු ඇති බවත් එමගින් එල්ටීටීඊ ය සහමුලින්ම පරාජය කරනු ඇති බවත් ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් සහ ව්‍යාපාරයක් උදාවනු ඇති බවටත් අදහසක් තිබේ. මෙම අදහස පිළිබඳ විවාදයක් ද දැන් රාවය පුවත්පතෙ හි කෙරීගෙන යයි. මේ වනාහී ඉතා කාලීන විවාදයකි.

මේ අතර වාරයේ මේ තාක් කල් මුල්ලකට තල්ලු කර තිබූ සර්ව පාක්ෂික සමුලුව හදිසියේ කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයට ඇසෙන්නට කතාවක් ද කලේ ය. ඒ කතාවේ හරය වූයේ මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අවශ්‍ය බව පිළිගන්නා ඔහුගේ ආණ්ඩුව එවැනි විසඳුමක් ලබා දිමට සූදානම් බව යි. නමුත් දේශපාලන විසදුම යන්නෙන් තමන් අදහස් කරන්නේ කුමක් දැයි නොකීමට ඔහු ප්‍රවේසම් විය.

එසේ නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇත්ත න්‍යාය පත්‍රය ජනවාර්ගික ප්‍රශ්නයට යුද්ධමය විසඳුමක් බව අපි හැම දනිමු. ආණ්ඩුවේ පැවැත්ම අද රඳා පවතින්නේ යුද්ධය මගින් ලබා ගන්නා ජයග්‍රහණ මත පමණ ය. එහි යුද්ධ දේශපාලන නායකත්වයෙන්, එහි මතවාදී ව්‍යාපාරයන්ගෙන් මෙන්ම ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති යුද්ධ අයවැයෙන් ද පෙන්නුම් කැරෙන්නේ යුද්ධමය විසදූම කෙරෙහි තබා ඇති විශ්වාස යි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොව පරිපාලන ප්‍රශ්නයක් බව විශ්වාස කරන අයෙකි.

මේ අතර යුද්ධයෙන් එල්ටීටීඊ ය විනාශ කළ හැකි බවත් ඉන් පසු දෙමළ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් ඇති වන බවටත් වික්ටර් අයිවන් ඉදිරිපත් කරන අදහස් විවේචනයට හසු කරමින් රාවයට ලියූ කුමාර් රූපසිංහ පසුගිය සතියේ ඔහු කල්පනා කරන විසඳුම් පියවර ඉදිරිපත් කලේ ය. එනම් බලය බෙදා හැරීමේ ව්‍යවස්ථාමය පියවර සහ දෙමළ බසට සමාන තැනක් දීමේ පරිපාලන කටයුතු යනාදිය යි.

මෙම විවාදයට ඍජු අදාළ බවක් නැතිව පසුගිය සතියේ රාවයට සිය අදහස් ලියූ ජයදේව උයන්ගොඩ කියා සිටියේ වර්ථමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය අලුතින් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ඇති බවත් ආරක්ෂ අංශයේ ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන්, හෙළ උරුමය සහ විමල් වීරවංශ පක්ෂය එහි හවුල්කරුවන් බව ය. ශ්‍රී ලංකාව අයත් වන්නේ සිංහලයින්ට බවත් අනෙක් ජාතීන්ට අවශ්‍ය නම් එහි ජීවත්විය හැක්කේ අනවශ්‍ය ඉල්ලීම් කිරීමෙන් තොරව බවත් යුද හමුදාපති සරත් පොන්සේකා කළ ප්‍රකාශය එම බල හවුලේ මතවාදය බව උයන්ගොඩ කියා සිටියේ ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බල තුලනය දැන් සහමුලින්ම වාගේ බලය බෙදීමට විරුද්ධ සහ යුද්ධය සහ මර්ධනය මගින් දෙමළ ජනයා දෙවැනි පුරුවැසියන් ලෙස පාලනය කළ යුතු ය යන අදහස් දරණ බලවේග අතට මාරු වී තිබේ. මහින්ද රාජපක්ෂ ලඟට සිටි දෙවැනියන් වූ මංගල සමරවීර එලියට දැමීම මගින් ද ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය වීම මගින් ද ඇති වූ හිඩැස පුරවන ලද්දේ එකී බලවේගයන් විසිනි.

අප මෙරට දෙමළ දේශපාලනයෙන් අසා සිටියහොත් ඔවුන් කියනු ඇත්තේ අද පමණක් නොව නිදහස ලැබූ 1948 සිටම ශ්‍රී ලංකාවේ රාජ්‍ය දර්ශනය වූයේ දෙමළ ජනයාට විෂම ලෙස සැළකීම බව යි. එල්ටීටීඊ ය යුද්ධයෙන් විනාශ කොට සහ නායකයාගේ මළ සිරුර සිංහළ ජනයාට ප්‍රදර්ශනය කිරීම යනාදි වශයෙන් කෙරෙන කතා දෙමළ ජනයාට අලුත් නොවේ. 1948 සිටම ඔවුන් මුහුණ දුන් යථාර්තය වූයේ යකඩින් සහ ලෙයින් මෙන්ම දේශපාලන මුලාකිරීම් මගින් ඔව්න්ගේ සාමකාමී ඉල්ලීම් මර්දනය කිරීම නිසා ය. එල්ටීටීඊ ය විනාශ කිරීම යන්නේ සිංහල ජනයාට හැගෙන දේ සහ දෙමළ ජනයාට හැඟෙන දේ අතර වෙනසක් ඇත්තේ අන්න ඒ ඉතිහාසය නිසා ය. ඉන් සිංහල ජනයා සතුටට පත් වෙයි. දෙමළ ජනයා බියට පත් වෙයි.

ප්‍රභාකරන්ගෙන් පසු දෙමළ ජනයාට විමුක්තිය උදා වනු ඇතැයි සිතන පිරිස් දැන් අමතක කර ඇත්තේ අන්න ඒ අතීතය යි. එනම් ප්‍රභාකරන්ට පෙර ශ්‍රී ලංකාවේ ජන වාර්ගික දේශපාලන යි. දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ප්‍රභාකරන් නිසාය යන යම් දුරකට සත්‍යයක් වන වර්ථමාන කතිකාව හුදු යුද්ධ ඝෝෂාවක් වන්නේ ප්‍රභාකරන්ට පෙර යන කාල පරිච්ජේදය මෙම විග්‍රහයන්ට අයත් නැති නිසා ය.

1948 සිට ප්‍රභාකරන් කරළියට පැමිණි 1981 දක්වා මෙරට පාලනය කළ සියලු පාලකයින් මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පිළිගත්හ. නමුත් ඒ කිසිවකුට එම අවබෝධය ප්‍රයෝ්ගික දේශපාලන වැඩ සටහනක් බවට පත් කිරීමට අවශ්‍ය ධෛර්ය තිබුණේ නැත. නැත්නම් දේශපාලන බල තුලනය විසින් ඉඩ දුන්නේ නැත. ප්‍රභාකරන් නමින් අද සංකේතවක් වන දෙමළ සන්නද්ධ දේ්ශපාලනය ආරම්භ වීමෙන් පසුව හෝ අද දක්වාම මෙරට කිසිදු පාලක දේශපාලඥකුට බලය බෙදා හැරීමේ දේශපාලන විසදුමක් නීතිගත කිරීමට ද නොහැකි විය. පළාත් සභා ක්‍රමය ආවේ ඉන්දියානු හමුදාව සමඟ ය. නැත්නම් එයත් නැත. පළාත් සභා ක්‍රමය පිහිට වූ 1988 සිය මේ දක්වා ගෙවී ගිය විසි වසරක අත්දැකීම වන්නේ එකී 13 වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක නොකිරීමට සහ බල රහිත කිරීමට මෙරට පාලකයින් දරණ ලද අපමණ උත්සාහයන් ය.

ශ්‍රී ලංකාණ්ඩුවේ යුද්ධමය ජයග්‍රහණයන් විසින් දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්නේ ය යන ප්‍රවාදය සත්‍යයෙන් බොහෝ දුරස් කරන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ 60 වසරක භාවිතය සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුදවාදී දේශපාලනය විසිනි. විසිනි. එම ඉතිහාසය සැලකිල්ලට නොගන්නා ඕනෑම විග්‍රහයක් අන්තිමේ දී සේවය කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ පූර්ව ප්‍රභාකරන් දේශපාලනය ම පශ්චාත් ප්‍රභාකරන් දේශපාලනය බවට පත් කිරීමට ය. ඉන් ලබන වනාහී ජය දෙමළ ජනයා යටපත් කිරීමකි. එය ජයක් නොව රටෙහි පරාජයක් බවට යළි පෙරළෙනු ඇත්තේ ඒ නිසා ය. සුලුතර ජනයා යටපත් කරන සමාජයක් කිසිදා නිදහස් නොවන නිසා ය.