සිංහල, Colombo, Democracy, Human Rights, Media

‛මිනිසෙක්, හීලෑ නොවන මාධ්‍යවේදීන් සපා කයි’

ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත පල ෙකෙරනුෙය් එම කතාවයි.

‛බල්ලෙක් මිනිසෙකු සපාකයි’ යනු ප්‍රකට මාධ්‍ය ප්‍රවාදය අනුව පුවතක් නොවේ. මිනිසෙක් බල්ලෙකු සපා කයි යනු පුවතකි. එහෙත්, ‛මිනිසෙක් හීලෑ නොවන මාධ්‍යවේදීන් සපා කයි’ යනු පුවතක් නොවිය හැකිද?’

‛දුම්රිය පෙට්ටි වල හරකුන් පැටවීම ගැන නීතියක් ඇත. එකිනෙකා අතර අඟල් 6 ක පරතරයක් ඇතිව සතුන් පැටවිය යුතුය. එහෙත් පෞද්ගලික බස් වලට එම නීතිය බල නොපාන බව පුවතක් වී නැත.

‛වරෙක (1970) දී අපේ රටේ සීනි මිල වැඩිවිය. එවිට සෝඩා මිල ද වැඩි විය. ඒ මක් නිසාදැයි පුවත් පත් ප්‍රශ්ණ කෙළේ නැත.’

‛අපේ රටේ මුලින්ම ඩීසල් මිල වැඩි වූ අවස්ථාවක දුම්රිය ස්ථාන වල ප්ලැට්ෆෝම් ටිකට් වල මිල වැඩි විය. ඒ මක් නිසාද කියා පුවත් පත් ප්‍රශ්ණ කළ යුතු නැද්ද?’
‛සක්විති හොරකම ගැන දැන් දිනපතා තොරතුරු පළවේ. එහෙත් කෝප් වාර්තාවේ හොරුන් ගැන නොසොයන්නේ ඇයි දැයි විමසන්නේ නැත’

‛ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් වැඩිදෙනා 17 වන සංශෝධනයට පටහැනිව පත්වීම් ලැබුවෝ වෙති. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ අසාධාරණ පත් කිරීම් ආදිය ගැන මූලික අයිතිවාසිකම් නඩු විසඳයි. ඔවුන්ට සාධාරණ තීන්දුවක් දිය හැකිදැයි නොවිමසිය යුතුද?’

‛මිය ගිය මන්ත්‍රී සූරියආරච්චි මහතා රජයේ කැබි රථයක් අයථා පරිහරණය කළ බවට නඩුවක් පැවරිණ. එහෙත් එල්ලාවල හාමුදුරුවන් රජයේ රථය විකිණීම ගැන නඩුවක් නැත්තේ ඇයි?’

‛ආගමන විගමන නීති උල්ලංඝනය ගැන තිලංග සුමතිපාල මහතාට නඩු පැවරිණ. එහෙත් එම වරදම කළ කරුණා අම්මාන්ගේ වරද පසෙක තබා ඔහු පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය. මෙය තෝරාදෙන්නැයි නොකියන්නේ මන්ද?’

‛චොකලට්වල මෙලමයින් සෙවීම හොඳය. එහෙත් සාමාන්‍ය මිනිසාගේ බත්පතේ කොතරම් වස විස තිබේදැයි නොසොයන්නේ ඇයි?’

‛වතුර බෝතලය සඳහන් මිලට වැඩියෙන් විකුණුවොත් දඩයක් නියම වේ. එහෙත් ඩීසල්-පෙට්‍රල් වැඩි මිලට විකිණීම ගැන පාරිභෝගික අධිකාරිය නඩු නොදමන්නේ මන්දැයි නො ඇසිය යුතුය.’

‛වතුකරයේ ස්ත්‍රීන් ඇතුළු සාමාන්‍ය රැකියා කරන ස්ත්‍රීන්ගේ ප්‍රසූති නිවාඩු දින 84 ගණන් බලන්නේ නිවාඩු දින සමග එක දිගට ය. එහෙත් රජයේ කාර්යාල, වෙනත් ආයතන වල ස්ත්‍රීන්ගේ ප්‍රසූති නිවාඩු ගණන් බලන්නේ නිවාඩු දින අත් හරිමිනි. (දින 100 ක් පමණ වේ) ප්‍රසූතියේ වෙනසක් තිබේදැයි ඇසිය යුතු නැද්ද?’

‛බටර් සමග පාන් කන අයගේ පඩිය වැඩිවෙයි. පාන් පමණක් කන අයගේ වැඩි වන්නේ පාන් මිලය. යුද්ධය නිසා මෙය සිදුවන ආකාරය පැහැදිලි කරන ලෙස නොකියන්නේ මන්ද?’

‛දරුවන් පාසලට ඇතුළු කර ගැනීමේදී ආදී ශිෂ්‍ය පදනම අහෝසිකොට මන්ත්‍රී පදනම ක්‍රියාත්මක වෙයි. ඒ ප්‍රශ්නය විසඳීමට සෑම පවුලකටම මන්ත්‍රීවරයකු පත්කිරීම හොඳ බව පෙන්වා නොදෙන්නේ ඇයි?’

‛සුළු ආදායම් ලාභීන්ගේ පවා ආදයම් බදු ගැනේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ආර්ථීක වර්ධන වේගය අධික නිසා 90% ක ආදායම් බද්දක් ගත්ත ද ඔවුන්ට පාඩුවක් නැති බව හොඳ පුවතක් නොවේද?’

‛විශ්‍රාම යන වයස වන තුරුත් සමහරුන්ට රැකියාවක් නැත. එහෙත් ආණ්ඩුවේ තනතුරු දරණ අය විශ්‍රාම ගියවිට රැකියාවලට යති. අපේ රටේ රැකියා හිඟයක් නැති බවට මෙය සම්මාන ලැබිය හැකි පුවතක් නොවේද?’

‛කොළඹ පාරවල් වසා දමා මිනිසුන් රස්තියාදු කිරීමට කියන්නේ ජාතික ආරක්ෂාව කියා ය. මොවුන් අප යන විදියට ගමන් කොට මිය ගියොත් එය ජාතියේ සැබෑ ආරක්ෂාව බව පෙන්වා දෙන මාධ්‍ය වේදියාට -ජීවතුන් අතර සිටියොත්- සම්මානයක් දිය යුතු නැද්ද?

-එස්.ජී. පුංචිහේවා