සිංහල

නව නීතියට එරෙහිව, මාධ්‍ය සංවිධාන නඩු මගට

                    
            පෞද්ගලික රූපවාහිණී නාලිකා සම්බන්ධව අංක 1570/35 දරණ, 2008 ඔක්තෝබර් 10වන සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයෙන් පනවා ඇති නීතිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිදහසට සහ ස්වාධිනත්වයට දැඩි අනතුරුදායක තත්වයක් උදාවන බැවින්, ජනමාධ්‍ය සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන, එම නියමයන් සදහා සිය දැඩි විරෝධය පළකරයි.
            ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, ශ්‍රි ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඇතුලු සංවිධාන 5ක් සහ ශ්‍රි ලංකා  කර්තෘ සංසදය, පුවත්පත් හිමිකරු සමාජය සහ ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව ඊයේ (30) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කලේ ය.
            
එහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපරයේ මාධ්‍ය ප්‍රකාශක සුනන්ද දේශප්‍රිය මහතා ප්‍රකාශකලේ

අද ශ්‍රි ලංකාවේ සංවිධානාත්මක ජනමාධ්‍ය සංවිධාන සහ ආයතන මේ අතිවිශේෂ ගැසට් පත්‍රයට සිය විරරෝධය පළකරමින් සිටින බවයි. විශේෂයෙන් විකාශන තරංග මහජනායට අයිති දෙයක්. එය මහජන දේපලක්. එය පාලනය වීමේදී නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකම විකාශණ අධිකාරියක් තිබෙනවා. නමුත් එය තිබිය යුත්තේ දේශපලන පක්ෂවලට පාලනය කිරීමට හැකි ලෙස නොවෙයි. එය තිබිය යුත්තේ සමස්ථ පාර්ලිමේන්තුවට වගකියන ස්වාධින විකාශණ අධිකාරී පනතක් ලෙසයි. එය පුලුල් අර්ථයෙන් ගත්විට නිදහස්, ස්වාධීන විකාශණ අධිකාරි පනතක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නමුත් මෙම වර්තමාන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඉතා පැහැදිලිව ඇමතිවරයාගේ අධිකාරයට ශ්‍රි ලංකාවේ සියලුම පෙෘද්ගලික රූපවාහිණි ආයතන යටත් කර ගනු ලබන ඉතාමත් භයානක නිවේදනයක්. මේ පනත ක්‍රියාත්මක වුවහොත් බුරුමයේ, සිම්බාබ්වේ වැනි රටවල් වල ඇති වී ඇති තත්ත්වයන් ඇති විය හැකියි. මෙය ජනමාධ්‍ය නිදහසට සහ ජනයාට තොරතුරු දැනගැනීමේ ඇති නිදහසට සෘජුවම එල්ලවිය හැකි බරපල පහරක්. ඔහු වැඩි දුරුටත් ප්‍රකාශ කලේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙවැනි දෙයක් කිරීමේදී යම් ක්‍රියාවලියක් තිබෙනවා. ධවල පත්‍රිකාවක්, මහජනයාගේ සාකච්ඡාවක්, මහජන නියෝජිතයින්ගේ සංවාදයක් හරහා මෙය සිදු කිරීමේන් පමණයි ජනමාධ්‍ය නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියත් තහවුරු වන්නේ. ඒ නිසා මේ පනත ජනමාධ්‍ය නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කිරිමක් මෙයින් සිදුවෙනවා.

              මේ සාකච්ඡාව සදහා සහභාගී වූ පුවත් පත් ආයතනයේ අධ්‍යක්ෂක රංග කලන්සූරිය මහතා පැවසූයේ, මේ පනත සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා යම් පැහැදිලි කිරීමක් මාධ්‍ය මගින් සිදු කරනු ලැබුවා. ඒ පැහැදිලි කිරීමෙන් පසුව එතුමා කියනු ලැබුවා මේ පනතේ “තව දුරටත්  කරුණු පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් අධිකරණයේ පිහිට පතන්න කියලා.” මෙයින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට ත් මේ සම්බන්ධයෙන් යම්යම් ව්‍යාකූල තත්වයන් මේ තුළ තිබෙන බවයි.
             මහජනයාට අයිති දේපලක් ලෙස තරංග පාලනය කිරීමේ යම් ව්‍යුහයක් අවශයි. නමුත් මෙයින් සකසා තිබෙන්නේ එවැනි ව්‍යුහයක් නොවේ. සෘජුවම ජනමාධ්‍ය ඇමති ධූරය දරණ පුද්ගලයාට පමණක් පෙෘද්ගලික නාලිකා සියල්ල පාලනය කිරීමට යටත් කලහැකි තත්වයක් තමා මේ පනතේ තිබෙන බරපතලම තත්වය. නමුත් මෙහි කිසිදු අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය පිළිබද කිසිදු සදහනක් නැත. එසේම මෙම පනතෙ 13 අ යටතේ සදහන් වන,  “රූපවාහිණි විකාශණ මධ්‍යස්ථානයේ අයිතිය සහ බලපත්‍ර හිමියා සමාගමක් වන්නේ නම් එහි කොටස්වල වෙනස් කිරීමක් ද ඇතුලුව, වෙනත් සියලුම ආශ්‍රිත චංචල, නිශ්චල සහ බුද්ධිමය වත්කම්වල අයිතිය අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව වෙනස් කිරිම” නොකල යුතුය. එසේ කළ හොත් බලපත්‍රය අවලංගුවේ. මේවැනි දේවල් කෙතරම් පුලුල් ද, මේවාට අරථනිරූපන දිය හැකි ද? මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඉතාමත් බරපතල ලෙස උල්ලංඝනය කරනු ලබන පනතක් යැයි ශ්‍රි ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති, සනත් බාලසූරිය මහතා සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ ය.
               ශ්‍රී ලංකා කර්තෘ සංසද ප්‍රකාශක සුන්දර නිහතමානි ද මෙල් සිය අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කලේ, පොතේ හැටියට බලපුවාම අපේ හතරමායිමෙන් එහා කාරණයක්. කර්තෘ සංසදය හැටියට අපි කටයුතු කරන්නේ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව. නමුත් අනාගතයේදී මොකද්ද වෙන්නේ කියන එක අපට කියන්න බැහැ. ඒ නිසා අපි තීරණය කරා මේ පොදු වේදිකාවට එකතුවෙන්නට. එනිසා අපේ සහෝදරාත්මක සහයෝගය මේ සදහා අපි ලබා දෙනවා යනුවෙනි.
              නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය මහතා සිය අදහස් දක්වමින්, ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යට පවසනු ලැබූවේ, එල්ටීටීඊයට විකාශණ බලප්‍රත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ජනක බණ්ඩාර තෙන්නකොන් අමාත්‍යවරයා පැවරු නඩුවකදී ගත් තින්දුවක් බලපෑ බවත්, එහිදි අධිකරණය තීන්දු කලා මේ පිළිබද ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව තමා මේ ගැසට් නිවේදනය නිකුත් කලේ කියලා. නමුත් ඒ නඩු තින්දුවෙන් කියනු ලැබූවේ බලපත්‍ර දෙනු ලබන ක්‍රමවේදයේ පාරදෘෂ්‍යභාවයක් ඇති කරන්න කියලා. නමුත් මේ පනතේ එවැනි පාරදෘෂ්‍යභාවය සම්බන්ධ කිසිදු දෙයක්  සදහන් වී නැහැ. එසේම මේ පනත අනුව සියලුම චංචල සහ නිශ්චල දේපල ඇමතිවරයාගේ අවසරයක් නැතිව විකුණන්න බැහැ. මේසයක් පුටුවක් විකිණිමටත් ඇමතිවරයාගෙන් අවසර ගත යුතුයි. අවසර නොගෙන එවැනි දෙයක් විකුණනු ලැබුවහොත් ඒ මත බලපත්‍රය තහනම් කළ හැකියි. අනෙක් ප්‍රශ්ණය නම් ඇමතිවරයා විසින් ආණ්ඩුවේ වද්‍යුත් නාලිකා 4ක් පාලනය කරනවා. ඒවා පාලනය කරන ඇමතිවරයාට පුලුවන් වෙනවා අනෙක් ආයතනවල වැඩසටහන්, තාක්ෂනය වැනි සියලු දේ දැනගැනීමට හැකි වෙනවා මේ පනත අනුවඃ මෙහිදි මතුවන කරුණ නම් ප්‍රතිවිරුද්ධ ලැදියාවන් තියෙන කෙනෙක් කොහොමද අනෙක් ආයතනවල කටයුතු වලට මැදිහත් වෙන්නේ. ඊයේ සිට සිරස ආයතනය ඉදිරිපත්කරන සෑම වැඩසටහනකම පිටපත් ජනමාධ්‍ය අමාත්‍යංශයට යැවිය යුතු යැයි නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නිසා මෙය පැහැදිලි ලෙසම ගුවන් විදුලි ආයතන, රූපවාහිණි ආයතන පාලනය කිරීමට ගෙන ආ මර්ධනකාරී පනතක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මෙම නියමයන් වහාම ඉවත් කරගන්නා ලෙසත්, එසේ නොවුනහොත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිය අවධානය යොමුකර ඇති බවය.