සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් දිනය සමරා උද්ඝෝෂණ

hr-day-1.jpg

මෙරට ‍ප්‍ර‍රමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ නීතියේ ආධිපත්‍ය පිහිටුවන ලෙසයි. මෙහි දී අදහස් දැක්වූ බොහෝ උද්ඝෝෂකයන් පැවසූවේ පැහැරගෙනයාම්, අතුරුදහන්වීම් මෙන්ම ඝාතනද නවතන ලෙස තමන් රජයට,එල්ටීටීඊ සංවිධානයට මෙන්ම අනෙකුත් සන්නද්ධ සංවිධානවලට ද බල කර ඉල්ලා සිටින බවයි.

‛‛දෙසැම්බර් 10 වෙනිද මානව හිමිකම් දිනය සමරා කෙරෙන මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්න අපි පොදු සංවිධානයක් යටතේ කටයුතු කළා මොකද අද වන විට ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරිමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ. නිතිඥවරයාගේ සිට පහල ගම්මට්ටමේ ක්‍රියාකාරිකයා දක්වා විශාල තර්ජනයන්ට මුහුණ දෙනවා. ඊට අමතරව පැහැරගැනීම් අතුරුදහන් වීම් එමටයි. ඒකියන්නේ ලංකාවේ නිර්බුක්තිය සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාදාමය හා පොලිසීයේ ක්‍රියා කාරීත්වය සම්බන්ධයෙන් අපේ බලවත් කණගාටුව තමයි ප්‍රකාශකරන්න තියෙන්නෙ. මානව හිමිකම් ප්‍රඥප්තියේ හැටවන සැමරුම තිබෙන මේ මෙහොතේ ලංකාවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය නැති වන තත්ත්වයකට තමයි පත්වෙලා තියෙන්නේ. ඇත්තටම හැමදාමත් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කලේ රාජ්‍ය නොවන සංවිධානත් ගම්මට්ටමේ ක්‍රියාකාරිකයනුත් පමණයි. ඒය ශක්තිමත්ව ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න පාරට බැස්සේ නැත්නම් ඉතිං ලංකාවේ මානව හිමිකම් වලට දෙයියන්ගේම පිහිටයි කියල තමයි කියන්න වෙන්නේ.’’ මෙරට ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නිතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අප සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.
‛‛අද අපි හැටවන අවුරුද්දෙ මානව හිමිකම් දිනය සමරණව නිදහසින් පස්සෙ. අද වෙද්දි තිබුනටත් වඩා සමාජ තත්ත්වය විනාශ වෙලා දූෂණය වෙලා. මේ වෙද්දි රටේ පොදු දේපල සොරකම් කිරීමේ නඩු 98 තියෙනවයි කියල සඳහන් වෙල තියෙනව. මානව හිමිකම් ප්‍රඥප්තිය බිඳ වැටිල සම්පූර්ණයෙන්ම. ඒ තුල අපිට ජීවත් වෙන්නේ අධි ආරක්ෂිත කලාප හැටියට. ඒ වගේම අවතැන්වු ජනතාවක් හැටියට. අද මේ දිනයට අපි එකතුවෙන්නෙ කොතැනක හෝ අපිට දිනයක් හෝ අවස්ථාවක් තියෙනවනම් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා අපේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හැම අතින්ම රකින්නට අපි ඒ දිනයට එකතු වෙනව. අද මේ අවස්ථාව මං හිතන්නෙ බහු ජන සංවිධාන ගොඩක් එකතු වෙලා තියෙනව උතරෙන් ඇවිල්ල තියෙනව දකුණෙන් ඇවිල්ල තියෙනව හැම පැත්තෙන්ම ඇවිල්ල ජනතාව කියන්නෙ තමන්ගේ කම්කරු ප්‍රශ්නය ධීවර ප්‍රශ්නය ඇතුථ හැම ප්‍රශ්ණයක්ම සම්බන්ධ කරගෙන ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න කියල.’’ මෙලෙෂ අපත් සමග අදහස් දැක්වූයේ උද්ඝෝෂණයට සහභාගී වූ පැවිදි සෙහෙයෙුරියකි.