සිංහල, Corruption, Pollonnaruwa

ගොවි සහනාධාරය පිටපාරේ යයි

2007 – 2008 මහ කන්නයේ වගා පාළු වූ ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් සහනාධාර වැලිකන්ද, මුතුවැල්ල, ඩී1, බෙදුම් ඇල ගොවි සංවිධානය විසින් වංචාකර ඇති බවට එහි ගොවීහු පවසති. පසුගිය වසරේ හා මේ වසරේ මහ කන්නයේදී ගංවතුර හේතුවෙන් වගා බිම් රැසක් විනාශ විය. මෙසේ සිය වගා බිම් හානි වූ ගොවින්ට ලබාදුන් සහනාධාර වගා පාළු වූ ගොවීන් වෙනුවට අදාල ගොවි සංගමයේ සභාපති ගේ හා ලේකම් ගේ හිතවතුන්ට බොදා දී ඇති බවට ගොවී හු චෝදනා කරති. සහනාධාර ලෙස අක්කරයකට බිත්තර වී බුසල් 2ක්, සින්ක් සල්ෆේට් කිලේ 1 හා ගොවියෙකුට එක් උදැල්ලක් බැගින්ද ලබා දී තිබේ.
විකල්ප මේ පිළිබඳව වැළිකන්ද ගොවිජන සේවා කාර්යාලයෙන් විමසූවිට එහි සේවිකාවක් කියා සිටියේ තම ආයතනයටද මේ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් මීලඟ ගොවි කමිටු රැස්වීමේ දී මේ පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නා බවයි. මහවැලි ඩී කළාපයේ වගා පාළු වූ ගොවින්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් සහනාධාර අදාල ප්‍රදේශයේ ගොවි සංවිධාන මඟින් බෙදාහැරීමට කටයුතු කළ බවත් මෙම වගා හානි වූ ගොවින් පිළිබඳ ලේඛණ සැකසුවේද ගොවි සංවිධාන විසින් බවත් ඇය පෙන්වා දුන්නාය. ඩී1 බෙදුම් ඇල ගොවි සංගමයේ ගොවීහු 300 පමණ සිටින අතර පැමිණිල්ල මගින් ගොවීන් දෙදෙනෙකුට අදාල ද්‍රව්‍ය වෙනත් අය විසින් අත්සන් කර රැගෙන ඇති බවටත්, වගාපාළු වූ ගොවීන් වෙනුවට වෙනත් අය වෙත සහනාධාර ලබා දි ඇති බවටත් දන්වා ඇති බව ප්‍රකාශකර සිටියාය.වැලිකන්ද ගොවිජන සේවා කාර්යාලය විවෘත කරන ලද්දේ මීට මාසයකට පමණ පෙර බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
විකල්ප මේ පිළිබඳව වැලිකන්ද පොලිසියෙන් විමසූ විට ඔවුන් පැවසූවේ තමන්ටද මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවය.