සිංහල, IDPs and refugees, Jaffna

අවතැන්වූවන් පස්දෙනෙකුට සතියකට රු.515

පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි ආහාර සලාකයක් පමණක් බව වාර්ථාවේ. පස්දෙනෙකුට වඩා අඩු සාමාජිකයන් සිටින පවුලකට එය රුපියල් 245 කි. ගංවතුර තත්ත්වය ඇති වී මෙවන විට සති හතරක කාලයක් ගතවුවද සලාකය ලබාදී ඇත්තේ එක් සතියක් සඳහා පමණි. පස්දෙනෙකුගෙන් යුතු පවුලකට ලබාදෙන සලාකයේ අඩංගුවනුයේ හාල් කිලෝ 1.2 ක්, පරිප්පු කිලෝ 1 ක්, සීනි කිලෝ 1 ක් හා පාන්පිටි කිලෝ 3 පමණි.
මෙම ගංවතුර තත්ත්වය නිසා යාපනය අර්ධද්වීපයේ පමණක් 250,000 පමණ ජනයා අවතැන් වූ අතර 10 දෙනෙකු මිය ගියාය. නිවාස 16,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 48,000 පමණ අර්ධ වශයෙන් හානියට පත් වූ අතර වගාබිම් සියල්ල විනාශ වී ගියේය. මේ වන විට අවතැන් වූ ජනයාගෙන් සියයට 90 පමණ නැවත පදිංචිවී සිටියද ඔවුන්ට එදිනෙදා ආහාර සපයා ගැනීම බරපතල ප්‍රශ්නයක් බව තම නම හෙලිකිරීමට අකමැති වූ යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයෙකු පැවසූවා. අර්ධද්වීපයේ අත්‍යාවශ්‍ය බඩු මිළ ඉතා ඉහළ අගයක් ගෙන තිබීම මෙම තත්ත්වය තවත් තීව්‍රර කිරීමට හේතු වී ඇති බවත්, මේ වන විට සහල් කිලෝවක මිළ රුපියල් 140 ද, බෝංචි,වම්බටු හා අල කිලෝවක මිළ රුපියල් 400ක් පමණ ද අමු මිරිස් කිලෝවක මිළ රුපියල් 800 ක්ද වන බවත් මේ හේතුව නිසා බොහෝ යාපනයේ ජනයා මිළ දී ගන්නේ එළවළු ග්‍රූම් 50 හෝ 100 ප්‍රමාණයෙන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර ඊයේ (16) යාපනය කිලාලී ප්‍රදේශයේ දී ශ්‍රි ලංකා යුධ හමුදාව හා එල්ටීටීඊ ය අතර ඇති වූ දරුණු සටන් හේතුවෙන් ඌසන් හා මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි පවුල් 300 පමණ අවතැන් වී ඇතැයි ද වාර්තාවේ. සටන් දරුණුවීමත් සමගම මෙම ප්‍රදේශ වෙත එල්ටීටීඊය විසින් එල්ල කල කාලතුවක්කු උණ්ඩ 6 පමණ පතිත වී ඇත. ප්‍රහාරයන් සමග බියටපත් ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය අතහැර යාපනය ප්‍රදේශයට පලාගොස් ඇත. මෙම ප්‍රහාරය හේතුවෙන් එම ගම්වල සාමාන්‍ය වැසියන්ට හානි සිදු වී නොමැති බවද වාර්තා වේ.