end of the War, Featured Articles, Features, Jaffna

උතුර සිංහල කරණය වීම හෙවත් සිංහල ගමක් ලෙස නම්කර ඇති ‘කොක්කච්චාන්කුලම දෙමළ ගම’


(හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය ඇසුරින් තිනකුරල් පුවත්පත 2011 ජූනි 20 වැනි දින 5 වැනි පිටුවේ පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය)

කොක්කච්චාන්කුලම් දෙමළ ගම්මානය කලාබෝවසේව නමින් සිංහල ගම්මානයක් ලෙසට මාරු කර තිබෙනවා (මෙම ගම වෙඩිවයිත්තකල් ග්‍රාමසේවක කොට්ඨාසයට හා නැදුන්කර්නි ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාෂයට අයත් වේ).

වව්නියා සේමමඩු ඔස්සේ ඌත්තුක්කලම් වෙත ගොස් අරියකුන්ඩාන් ගම්මානය අසලින් කොක්කචාන්කුලම් යන දෙමළ ගම්මානයට ප්‍රවේශ විය හැකිය. මෙහි සිට පදවිය, වෙඩිවයිත්තකල් ඔස්සේ නැදුන්කර්නියට යා හැකි වෙයි.

කොක්කචාන්කුලම් ගම්මානයට කුඹුරු අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් අයත්ව පවතිනවා. මෙම සෑම කුඹුරක්ම දෙමළ ජනතාවට අයත් වූවක්. 1985 දී මෙම ප්‍රදේශයට සිංහල ජනතාව බලහත්කාරයෙන් පදිංචිවීමට ගත් උත්සහාය ඒ කාලයේදීම නවතා දැමුණා.

යුද්ධය අවසන් වීමෙන් පසු 2010 දෙසැම්බර් මාසයේ දී මෙම ගම්මානයට අයත් කොක්කච්චාන්කුලම් වැවේ හානියට පත් වැව් කන්ඩියේ අඩි 200ක පමණ කොටසක් හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. මෙම ගම්මානයේ වැව සහ කුඹුරු කෘෂි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වව්නියා උප කොමසාරිස්ගේ පරිපාලනයට නතුව පැවතුනා. නමුත් මෙම ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා වව්නියාව දිසාපති සහ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් යන අය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ උතුරේ ක්‍රියාත්මක වන ඇන්රෙප් සංවිධානයේ කළමණාකරුට බාර දී ඇති අතර මෙම කළමණාකරු මිලියන 4.5ක් පමණ වැයවන ව්‍යාපෘතියක් සකස්කර ඊරපොත්තානෙයි කෘෂි සංවිධානයට එහි ඉදිකිරීම් බාර දී තිබෙනවා.

නමුත්, වැවේ කන්ඩිය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබුවේ හමුදාව විසිනුයි.

ඊරපොත්තානෙයි කෘෂි සංවිධානය වව්නියා දකුණ (සිංහල) ප්‍රාදේශිය ලේකම් යටතේ ක්‍රියාත්මක වෙයි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හමුදාව විසින් සිදුකරන බව දැනගත් ඇන්රෙප් සංවිධානයේ කළමණාකරු මෙම ව්‍යාපෘතියේ පළමු අධියරයට ලබා දුන් රුපියල් ලක්‍ෂ 8න් පසු නැවත මුදල් අනුමත කර නැහැ. මුදල් ලබාදීමෙන් වැලකීම පිළිබඳව වව්නියා දිස්ත්‍රික් සංවර්ධන සමුළු රැස්වීමේදී කර්මාන්ත ඇමති ප්‍රශ්න කර තිබෙනවා. පසුව වව්නියාව දිසාපති විසින් පළාත් ජලසම්පාදන මණ්ඩලයටත් ඇන්රෙප් සංවිධානයටත් මෙම ව්‍යාපෘතියේ දැනට පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නියෝග කරනු ලැබුවා. ඒ අනුව කර්නල් ජයසේකර විසින් ජලසම්පාදන මණ්ඩලයේ නිළධාරියෙක් සහ ඇන්රැප් සංවිධානයේ කළමණාකරුවෙක් 2010 නොවැම්බර් මාසයේදි මෙම ස්ථානයට රැගෙන යනු ලැබුවා.

ඊරපොත්තානෙයි කෘෂි සංවිධානය විසින් මෙම ව්‍යාපෘතිය නොකර හමුදාව විසින් වැව් කන්ඩිය ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිමකර ඇති බව දැනගන්නට ලැබේ. පසුව රුපියල් ලක්‍ෂ 8ක් වැනි මුදලක් කෘෂි සංවිධානයේ වාහනවල ඉන්ධන වියදම් සඳහා ලබා දී තිබෙනවා.

2010 මාර්තු වලදී කොක්කච්චාන්කුලම් සංවර්ධනය පිළිබඳව මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අදාලව ඇස්තමේන්තුගත කරනු ලැබු අතර, ඒ අනුව මිලියන 4. 5ක් මෙම ගම්මානයට ඇන්රැප් සංවිධානය විසින් වෙන්කරනු ලැබ අත.

මෙම ගම්මානයට සම්පූර්ණයෙන්ම සිංහල ජනතාව පදිංචි කරවීමේ සැලසුමක් විදියට කොක්කච්චාන්කුලම් ග්‍රාමය කලාබෝවසෑව ලෙස සිංහල ගම්මානයක් යනුවෙන් නම වෙනස්කර තිබෙනවා. මෙහි තිබෙන අක්කර 200ක් පමණ වන කුඹුරු ඉඩම් වල සහ අනෙකුත් ඉඩම් වල සිංහල පවුල් 165ක් පමණ හමුදාව විසින් පදිංචිකරලා.

කලාප උප කොමසාරිස් (වව්නියාව) විසින් මෙම ගම්මානය වෙත යාමට මගාකච්චකොඩි සිට කොක්කච්චාන්කුලම් දක්වා කිලෝමිටර් 22කින් යුත් මාර්ගයක් සකස්කර ගැනීමට අවශ්‍ය සැලසුමක් ‛බණ්ඩාර’ නැමති කොන්ත්‍රාත්කරුවෙකුට ‛‛මගාකොච්චක්කොඩි කලාබෝවසෑව’’ මාර්ගයේ නමින් බාර දී තිබෙන අතර 2011 අප්‍රේල් මාසයේදි ආරම්භ කරන ලද මෙම කටයුත්තට රුපියල් මිලියන 20ක් ලබා දී තිබෙනවා.

රජය විසින් සැලසුම් කරන ලද සිංහල පදිංචි කිරිම්, වව්නියා දිසිත්‍රික් පරිපාලනය නොදැන සිදුකරන කටයුත්තක්. මෙහි පදිංචි කළ සිංහල ජනතාවට ලබා දීපු ඉඩම්වලට වව්නියා දකුණ (සිංහල කොට්ඨාස) ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තාවකාලික ඉඩම් අනුමැති පත්‍රයත් ලබා දී තිබෙන බව සඳහන් වෙනවා.

පළාතේ මධ්‍ය ප්‍රමාණ වැව් පිළිබඳව වව්නියා කච්චේරිය විසින් වාර්ෂිකව නිකුත්කරන වාර්තාවේ

කොක්කච්චාන්කුලම් වැව පිළිබඳවද තොරතුරු ඇතුළත් වෙමින් පවතියි. 2009 දී නිකුත්කරන ලද වාර්තාවේ වව්නියා දිස්ත්‍රික්කයට අදාල මධ්‍ය ප්‍රමාන වැව් යටතේ මෙම වැව පිළිබඳව තොරතුරු පිටු අංක පනස් හයේ (56) අන්තර්ගත වෙලා තියෙනවා. මෙම තොරතුරුවලට අදාලව වව්නියා උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 18 යටතේ මෙම වැව ලියාපදිංචි කර තිබෙනවා. නමුත් මෙම වැව පිළිබඳව සොයාබැලීම 1983 දීම අත්හරිනු ලැබුවයි දැක්වෙන අසත්‍ය තොරතුර මත පදනම්ව පළාත් ජල සම්පාදන මණ්ඩලය විසින් වව්නියාව කච්චේරියට ලබාදෙන වාර්තාවට මෙම වැව පිළිබඳව තොරතුරු ඇතුළත් කර නැති අතර, ජල සම්පාදන මණ්ඩලය 2011 දී සකස්කරන ලද වාර්තාවේ ද මෙම වැව පිළිබඳව කිසිදු තොරතුරක් අන්තරගත කර නැහැ.. මෙවැනි අසත්‍ය තොරතුරු ඇතුළත්ව සකස්කරන ලද 2011 වර්ෂයේ වාර්තාවද කච්චේරිය විසින් නිකුත් කරනු ලැබුවා.

උතුරු පළාත් ජල සම්පාදන මණ්ඩලය මෙම වැව ඔවුන්ට අදාල සිතියමින් ඉවත් කර තිබියදීත්, 2011 සැප්තැම්බර් මාසයේ වව්නියා දිසාපති සහ වව්නියා දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් යන අය අත්සන් කර ඇන්රෙප් සංවිධානයෙන් මුදල් ලබාගෙන, එම මුදල් ඊරපොත්තානෙයි කෘෂි සංවිධානයට ලබා දී තිබියදීත්, පසුව හමුදාව ලවා ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කුමන වැව ද?

කොක්කච්චාන්කුලම් ගම්මානය ප්‍රතිසංස්කරණය කර කලාබෝවසෑව යන සිංහල නමත් යොදා සිංහල පවුල් 165ක් එහි පදිංචිකර තිබෙනවා. ඔවුන් එහි ගොවිතැන් කටයුතුවල ද නිරත වී සිටිනවා.

නැවත පදිංචිකර තිබෙන උතුරු පළාතේ බොහෝ ඉඩම්වල අයිතිකරුවන් වන දෙමළ ජනතාවට තවමත් තාවකාලික ඉඩම් අනුමැති පත්‍රය හෝ එම ජනතාවට අයිති තැන් වල පදිංචිවීමට හෝ මේ දක්වා රජය සහ එහි පරිපාලනය විසින් අනුමැතිය ලබා දි නොතිබීම කවුරුත් දන්නා සත්‍යයක්. පාරම්පරිකව දෙමළ ජනතාව ජීවත්වන සෙට්ටිකුලම්, කිලිනොච්චි, පුදුකුඩිඉරුප්පු, මුලතිව්, මුල්ලිවෛක්කාල් බස්නාහිර-නැගෙනහිර, අම්බලවන්පොක්කනෙයි, කේප්පාපුලවු, ත්ිරුමුරුගන්ඩි, මන්නාරම, මුල්ලික්කුලම් සහ මඩු යන ප්‍රදේශවල අක්කර දහස්ගනනක් හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගෙන හමුදා කඳවුරු ඉදි කිරිමටත් ඔවුන්ගේ පවුල් නිරන්තරයෙන් එහි ජීවත් කරවීමටත් රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් ඉඩම් ලබා ගැනීමටත් උත්සහ දරමින් සිටී. උදාහරණ ලෙස සෙට්ටිකුලම් කඳවුරේ කළාප හතරටම අයත් අක්කර 1500ක පමණ ඉඩම් ලබාදෙන ලෙස නිලධාරීන්ට නිරන්තරයෙන් බලපෑම් කිරීම පෙන්වාදිය හැකියි.

මෙම ශෝකජනක වැඩසටහනේ නවතම මුහුණුවර ලෙස මායින් ගම්මානයක් වන කොක්කච්චාන්කුලම් හි නම වෙනස් කිරිම දැකගන්නට පුලුවන්.

ශ්‍රී ලංකා රජයේ පරිපාලන නීති උල්ලංඝනය කරන අයුරින් මෙම පරිපාලන කටයුතු මෙහෙටයවන්නේ කවුරුන් විසින් ද? දෙමළ ජනතාව ජිවත්වන ප්‍රදේශවල මෙවැනි සැලසුම් කරන ලද ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කරන්නේ කවුද?

ප්‍රතිසමාධානය ඇතිකරන බවත් මෙරටේ ජීවත්වන සෑම අයෙක්ම සම අයිතීන් ලැබූ ප්‍රජාවක් ලෙස ගැඹුරු හඬින් පවසාගෙන දෙමළ ජනතාවගේ ගම්මානයන්හි මායිම් වෙනස්කරමින් ඉඩම් කොල්ලකමින් සිදුකරන ලද මෙම සැලසුම් සහගත ක්‍රියාදාමයෙන් තුළින් ප්‍රතිසමාධානය ඇතිකරගත හැකිද? ශ්‍රී ලංකා ඉතිහාසයේ අත්හරින ලද වැවක් ලෙස රජයේ පරිපාලනය විසින්ම ප්‍රකාශකර ඇති කොක්කච්චාන්කුලම් පසුව එම රජයේ පරිපාලනය විසින්ම කලාබෝවසෑව යන නමින් වෙනස්කර තිබීම මෙතෙක් සිදු නොවු දෙයක්.

අවශ්‍ය වූ විට අපගේ ගම්මානය සිංහල පරිපාලනය යටතේ සම්බන්ධ කිරීමට ඉදිරිපත්වන රජය, අපේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කර ඔවුන්ට සැනසීමේ ජීවත් විමට අවශ්‍ය කිසිදු පියවරක් ගෙන නැහැ.

කනගරායන්කුලම් ප්‍රදේශයේ සිව්දෙනෙකුට හිමි වු ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන එහි බෞද්ධ විහාරයක් තැනීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම, වව්නියාව දෙමළ මහා විද්‍යාලයේ බුදු පිළිමයක් තැබීමටද ස්ථානයක් ඉල්ලලා. මේවායින් කොහොමද ප්‍රතිසමාධානය ඇති කරන්නේ?

ආගමක් ඇදහීමටත් එම ආගම අනුගමනය කිරීමටත් ජනතාවට අයිතියක් තිබෙනවා. එය එම ජනතාවගේ කැමැත්තයි. නමුත් මෙහි බලහත්කාරයෙන් දෙමළ ජනතාව බෞද්ධාගමට හරවා ගැනීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔබතුමන්ලාගේ දේශපාලනය බෞද්ධ ආගම මත කරන ලද්දක්. නමුත්, ප්‍රතිපත්තිමය සහ අයිතිවාසිකම් පදනම් කරගෙනයි අපි දේශපාලනය කරන්නේ.

වන්නියේ ජනතාව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට එහි තිබෙන වැලි භාවිතා කිරීම පවා තහනම්කර තිබෙනවා. නමුත් ධනවත් පිරිස් තහනමකින් තොරව වැලි කොල්ලකෑම්වල නිරත වී සිටිනවා. ඒ සමඟ වන්නියේ තිබෙන වටිනා ගස් ද තමන්ගේ නිවාස ගොඩනැගීම සඳහා යොදා ගැනිමට බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ වෙනුවට දකුණේ සිට ගෙන එන පාවිච්චියට නොසුදුසු පොල් ලී භාවිත කිරීමට සිදුව තිබෙනවා. කෙටි කාලයක් ගත වුනාම එම පොල් ලී නැමී යන බව ජනතාව පවසනවා. නමුත් වන්නියේ තිබෙන පාලෙයි, මුදිරෙයි වැනි වටිනා ගස් ධනවතුන් විසින් දකුණට රැගෙන යනු ලබනවා.

අපි මෙච්චර වෙලා ප්‍රකාශ කෙරුවේ උදාහරණ කිහිපයක් පමණයි. ප්‍රතිසමාධානය පිළිබඳව වේදිකාවල පමණයි කතා කරන්නේ. දෙමළ ජනතාවට යුද්ධයෙන් පසුව තමයි මෙච්චර කළක් නොතිබූ විදියට වෙනස්කොට සැලකීම් සිදු වන්නේ. අපේ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරනවා. අපේ පාරම්පරික ප්‍රදේශවල නම් ගම් දිස්ත්‍රික් පරිපාලනයට හොරෙන් සිංහල භාෂාවට හරවනවා. අපේ ප්‍රදේශවල තිබෙන වටිනා සම්පත් අපේ ජනතාවට භුක්ති විඳීමට නොදී ඒවා දකුණට අරගෙන යනවා. අපේ ජනතාව සමග සම්බන්ධ නැති ආගමක් බලෙන් පටවන්න හදනවා. මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රතිසාමාධානය ඇති නොවන බව අවධාරණය කරන්න කැමතියි.

දකුණට පැමිණෙන දෙමළ ජනතාව සිංහල ජනතාවගේ අත් අල්ලාගෙන සමගියෙන් සිටින බව බොහෝ විට කියවෙනවා. ඒක ඇත්ත. නමුත්, අත් අල්ලාගෙන ඇවිදීමට ආස කරන අපිව ඈත් කර තබා අත් අල්ලාගෙන යන්න කියනවා නම් ඒක හරිද? කියලා මං අහන්න කැමතියි. අපව වෙන්කොට සලකා අපි ශ්‍රී ලාංකිකයෝ යැයි බෙරිහන්දීම හරිද? ප්‍රතිසමාධානය ඇති කිරීමට ප්‍රතිසමාධාන ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය දෙයකි. ඊට අදාල කටයුතු සිදු කර පසුව ප්‍රතිසමාධානය පිළිබඳව කතාකල හැකි ය. මෙතෙක් පැවැත්වූ සාකච්ඡා වලින් අපි ඉල්ලුම් කළ රැඳවුම්භාරයේ සිටින අයගේ තොරතුරු තාම අප වෙත ලැබී නෑ. එහෙම තිබියදී ප්‍රතිසමාධානය ඇති කළ හැකි ද?

යාපනය විශ්ව විද්‍යාලයට අයත් වුව්නියාවේ බිම් කොටස කොල්ලකෑමට සූදානම් වන සාලම්බයික්කුලම් ප්‍රජාශාලා සභාපති….

යාපනය විශ්ව විද්‍යාලයට සර් පොන්නම්බලම් රාමනාදන් වැනි අය තමන්ගේ පෞද්ගලික ඉඩම්ද ලබා දී තිබෙනවා. මේ වගේම රටේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි ධනවතුන් මරණයෙන් පසු තමන්ගේ නම් අනාගතයේ ද පැවැත්ම උදෙසාත් තමන්ගේ ජනතාව උපාධිධාරීන් කරලීමටත් තමන්ගේ ඉඩකඩම් විශ්ව විද්‍යාලවලට ලබාදී තිබෙනවා. නමුත් අද විශ්ව විද්‍යාලයට වෙන් කර ඇති ඉඩම් පවා කොල්ලකෑමට උත්සහ දැරීම වේදනාවට කරුණක්.

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පිඨයට අවුරුදු දහයකට පෙර පම්බයිමඩු ප්‍රදේශයේ ඉඩමක් වෙන්කර තිබෙනවා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මෙම බිමේ ඉදිකිරීම් ආරම්භ කිරීමට දැන් තමයි උත්සහ කරන්නේ. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කුලී ගොඩනැගිලි වල දැනට සිදු වෙනවා. මෙම කටයුතු එකම ස්ථානයේ සිදු කිරීමට ක්‍රියාකරන ලෙස පාර්ලිමේන්තුවේදී මීට පෙරත් මම ප්‍රකාශකර තිබෙනවා. මෙම ඉඩමේ කිසිම ඉදිකිරිමක් නොකළ නිසා සමහරුන්ගේ අවධානය මෙම ඉඩම වෙත යොමු වී තිබෙනවා. විශ්ව විද්‍යාල නිලධාරීන් මෙහි ගොස් නිරීක්‍ෂණ කටයුතු සිදු කර තිබෙනවා. එවිට එම ඉඩමේ ගස් කපා දමා තිබු අයුරු දැක නිලධාරින් පුදුමයට පත් වී තිබෙනවා.

මෙම ඉඩම විශ්ව විද්‍යාලයට අයත්ය කියන නාම පුවරුව සෑම අයටම දකිය හැකි අයුරින් සවිකරලයි තියෙන්නේ. එහෙත්, මෙම නිලධාරින් පිරිස පසුව එහි යන විට සාලම්බෙයිකුලම් ප්‍රජාශාලා සභාපති වන මුනාෆ් එම ඉඩම තමන්ගේ යැයි ප්‍රකාශකරල තියෙනවා. මෙම ඉඩම කිසිසේත් තමා අත්හරින්නේ නැති බව විශ්ව විද්‍යාල නිලධාරීන්ට ඔහු ප්‍රකාශ කරලා. වහාම එම නිළධාරීන් දිසාපති සහ පොලිසියටත් මා හටත් පැමිණිලි කරනු ලැබුවා.

රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් ආරක්‍ෂක අංශය තමන්ගේ යටතට ගන්නවා වගේ දැන් විශ්ව විද්‍යාල ඉඩනුත් එක් පුද්ගලයෙක් කොල්ලකන්න උත්සහකරනවා. මෙම පුද්ගලයාගේ පසුබිම සහ අරමුණ සොයා බැලිය යුතුයි. තනි පුද්ගලයෙක් විශ්ව විද්‍යාල ඉඩමක් තමන් සතු කරගැනීමට දරණ ප්‍රයත්නයට විරුද්ධව අපි ක්‍රියාත්මක විය යුතුයි.

වන්නියටත් තවත් එක් විශ්ව විද්‍යාලයක් අවශ්‍ය බව මා මේ පාර්ලිමේන්තුවට කිහිප වතාවක්ම යෝජනාකර තිබෙනවා. නමුත්, මේ දක්වා සාධනීය ප්‍රතිපල ලැබී නැහැ. මෙවැනි විශ්ව විද්‍යාල ගොඩනැගීමට ඇති ඉඩනුත් අහිමි වන ලකුණු දැන් දැන් පහළ වී තිබෙනවා. ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා මෙම ප්‍රශ්නයට මැදිහත් වී ඉඩම් වංචාකරුවන්ව නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දී අනාගතයේදී මෙවැනි දෑ සිදු නොවීමට වගබලා ගත යුතුයි.

වව්නියාව පීඨ ගොඩනැගිල්ල ගොඩනගා විශ්ව විද්‍යාල කටයුතු එම ගොඩනැගිල්ලේම සිදු කරන ලෙසත් වන්නියේ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. විශ්ව විද්‍යාල පීඨ තිබෙන පම්බෙයිමඩු ප්‍රදේශයේ සිට වව්නියා කාර්මික විද්‍යාලය දක්වා තිබෙන ඉඩම විශ්ව විද්‍යාල නගරය ලෙස නම්කළ යුතු බවත් මා යෝජනා කරනවා.