Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Poems

රාමුකළ මතකයේ දරුවෝ

නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ
පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ
නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ
රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ
⋆ ⋆ ⋆
අවසාන වතාවට පිය දෙනෙත වසන්නට
වරම් නැති මළ ගෙයක
පියෙකු සැතපෙන දෙනක
රාමු වී රැඳෙන්නට උරුම වූ
පුතනුවෙකි

වසර පහකට ඉහත
හදවතේ රාමු වූ පුතු සිනා වත රැගෙන
නිහඬවම හතර රියනට ඇදුණු
අකම්පිත ගුණ දැරූ
පියතුමෙකි

රාමුවට නොගැලපෙන දස දහස් දනන් හිස්
ගෙලෙන් සිඳ වීසි කර
දහම් පඬුරක් ලෙසින් රාමු කළ
හතර කොන ලේ පෙරෙන
‛පින් බිමකි’

සදාකාලික නින්ද වෙත ඇදෙන
මව්වරුන් පියවරුන් පපුතුරක
රාමු වී සැතපීම පමණක් ම උරුම වූ
පිටුවහලකට යැවූ
දරු කැලකි
⋆ ⋆ ⋆
හලනා ලෙයෙහි ජාතිය ජම්ම නොතැකුව
හැලූ ලෙයට යුක්තිය සොයා වෙහෙසුණ
දරු පරපුරක උරුමය මෙලෙස ලියැවෙන
කාරණාව බුදු පරපුරද රජවුණ?

සනත් බාලසූරිය
ජුනි 2011