Ampara, Featured Articles, Features

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමන – 02වන කොටස – ‘අහිංසාවාදී සටනින් අලියා පරාද වෙයි’

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම – 02වන කොටස

ඔකඳ සිට කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි

හිරු මුදුන් වීමට ආසන්න ය. දිගින් දිගටම හමුවන්නේ සෙවනක් නැති බිම්ය. වියලී ගිය වැව් පිටි සහ කලපු බිම් ය. අව්ව නිසා වියලී ගිය පස්වලින් නැගෙන අමු දූවිලි සුවඳය. ගමනේ විඩාව එන්න එන්නම වැඩිය.

නැවතත් අප පැමිණියේ වතුරු සිදී ගිය කලපුවක් මැදින් අලුතින් පස් දමා සාදා ඇති පාරකටය. කිසිම සෙවනක් නැති ඒ පාර තරණය කිරීම ඉතාමත් දුෂ්කර බව වැටහුනේ එහි ටික දුරක් ගිය විටදීය. දුෂ්කරත්වය තරමක් හෝ අඩුවෙතැයි සිතා ගමනේ වේගය ඉක්මන් කළෙමු. තුරු ලතා මැදින් යන ගමනක් යැයි, ගමන ආරම්භයට පෙර සිතා සිටි මට ඒ ටික දුර යන විට කිසිදිනක නොදැනුනු වෙහෙසක් දැනෙන්නට විය. මුලු ඇඟම දහඩියෙන් තෙත් වී ඇත. ඈත විශාල ගසක් පෙනෙන්නට වූයෙන් තව තවත් ගමනේ වේගය වැඩි කලෙමු. මද වේලාවකින් ඒ ගස සෙවන දුන්නේ පාදයේ ඇති වූ මහත් වේදනාවත් සමඟ ගස මුල හිද ගැනීමෙනි. මිනිසා කොතරම් ගස් වැල් වැනසුවත් අන්තිමේදී පිහිටට එන්නේ ගස්වැල් බව මට සිතෙන්නට විය. එහෙත් ඔවුන්ට අප කොතරම් ද්‍රෝහිකම් කලත් ඔවුන් අපට කිසිදු ද්‍රෝහිකමක් සිදු කරන්නේ නැති බවත් මට සිහි වූයේ ‛‛තුරුලතා වලට ආදරේ කරන්න. ඔවුන් ඔබට කිසිදා ද්‍රෝහි වන්නේ නැත’’ යනුවෙන් පාසල් කාලයේදී නක්ලස් කදුවැටිය ගැන ප්‍රසිද්ධ කල පත්‍රිකවක් සිහි වීමෙනි.

නැගෙන වේදනාවත්, මහන්සියත් සමඟ නැවත ගමන් ආරම්භ කලේ කටුපදුරු සහිත කැලෑවක් මැදින් සහ ඉඳහිට හමුවන රූස්ස ගස් අතරින් වැටී ඇති පාරෙන් ය. පැය 2කකට ආසන්න කාලයක් ගමන් කළ පසු සිසිල් සුලං හමා එන අපූරු කලපුවක් වම් පසින් එක වර දිස් වන්නට විය. ‛‛ටික වෙලාවක් මෙතන නතර වෙමු’’ මා මිතුරා කියු සැනින් කලපුව අයිනේ තිබූ ගසක් මුල අප වඩිලා ගතිමු. ‛‛වතුර නැද්ද’’ මා ගෙනා වතුර ඉවර වූයෙන් විමසූවෙමු. ‛‛තියනවා.. ටිකක් පරිස්සමෙන් බොමු’’ නැතිනම් බොන්න වෙන්නේ ලුනු වතුර’’ මිතුරා කීවේ ගමනේ බයංකර බව තව තවත් වැඩි කරමිනි. කලපුවේ තැනින් තැන මාන කොක්කු තමන්ගේ රාජකාරිය කරනු පෙනෙයි. ඉදහිට පිළිහුඩුවෙක් වේගයෙන් පියාබා විත් තම ගොදුර ඩැහැගෙන නැවතත් පියාබා යයි. ‛‛දැන් ‛අපි නතර වෙන කුඹුක්කං ඔය ළගට ලඟයි වගේ..’’ මෙතෙක් වේලාවක් නොදුටු කපුටෙක් අපට ඉහළින් පියාබා යනවා දුටු මම පැවසීමි.

මහන්සියත්, පිපාසයත් යම් තරමකින් සංසිදුවා ගත් අප නැවත වරක් කලපුව අයිනෙන් වැටී ඇති පාරෙන් ගමන් ඇරඹුවෙමු. ටික වේලාවකින් නැවත වරක් හමුවූයේ මහ විසල් ගස් ඇති වනයකි. නැවතත් මා සිත තිගැස්සුනේ උදෑසන හමුවූ අලි බෙටි මෙන් දුම් දමන අලි බෙටි දැකීමෙනි. ඒ එක් අලියෙකුගේ නොව අලි රංචුවක් ගිය බවට මනා සාධක එතැන විය. දැන් ඉතාමත් පරිස්සමෙන් අප ඉදිරියට ගමන් කලෙමු.

එකවරම පැමිණි දුර්ඝන්දයෙන් සලිත වූ මා සතුටට පත් වූයේ දැන් නම් අප නතරවන තැන අසලම ඇති බවට මනා සාක්ෂියක් එයින් සපයන නිසාවෙනි.

‛‛හරෝ හරා’’ එක වරම අප දුටු මහලු මිනිසෙකු කෑ ගැසීය. මා මිතුරාත් ‛‛හරෝ හරා’’ යැයි කෑ ගැසුවේය.(‛‛හරෝ හරා’’ යනු මෙම සංචාරයේ කාන්සියටත්, දේව භක්තිය සහ ආරක්ෂාවටත් බැතිමතුන් සිදු කරන අර්ථවත් වචන මලාවකි.)

එකවරම දුටුවේ තැනින් තැන පැදුරු, ඉටිරෙදි දමා වඩිලාගෙන සිටින බැතිමතුන් පිරිසකි. ඒ අපගේ දෙවන නවාතැන්පල වන, කුඹුක්කං ඔය යි. නැතහොත් ‛‛කුඹුක්කං තොටුපලයි’’. කුඩා දොවොලක් සහිත එහි අසලින් කුඹුක්කන් ඔය සීරුවෙන් ගලා බසියි. ඔයේ තැන තැන වතුරේ බැස විඩාව සංසිදුවා ගන්නා ළමුන්, කාන්තාවන්, පිරිමින් ඇතුලු විශාල පිරිසකි. තවත් තැනක ලහි ලහියේ රාත්‍රී ආහාරය සකසන කාන්තාවන් පිරිසකි. ඒ කුඩා භූමියේ ගසක් මුල ඉටි රෙදි එලා අප වාඩිලා ගතිමු.

ඉතා ඉක්මනින් කුඹුක්කං ඔයේ පහස ලබා ගැනීමට ඔයට බැසගත් අපි ඉන් ගොඩ වූයේ නැවත පණ ආ පිරිසක් ලෙසය. ඒ තරමටම ගමනේ විඩාව කුඹුක්කං ඔයේ ගසා ගෙන ගොස් තිබිණි. ඔයේ වතුර ඒ තරම්ම නැති බැවින් ගොඩවූ වැලි හාරා එයින් වතුර බෝතල්වලට ගන්නා සැටි දුටු කුඩා ළමයෙකුගෙන් ‛‛ඇයි ඔතන හාරලා වතුර ගන්නේ’’ යැයි විමසීමු. ‛‛බොන්න’’ යැයි දෙමළෙන් මට කිවේය. මෙම තොටුපොලේ නතර වෙන සියලු දෙනා සියලු කටයුතුවලට වතුර ලබා ගන්නේ මේ ඔයෙන්ය. බීම සඳහා ලබා ගන්නේ ද මේ වතුරම ය. ඇතැමෙක් වැලි වලින් පෙරී එනවා යැයි සිතා වැල්ලේ කුඩා වලක් සාදා බීමට වතුර ලබා ගනී. ‛‛මේ වතුර දෙයියන්ගේ වතුර, මම හැම අවුරුද්දෙම එනවා. කිසිම ලෙඩක් නෑ’’ මේ පිළිබද විමසූ මට ත්‍රිකුණාමලයෙන් පැමිණි අයෙක් පැවසීය.

රෑ බෝවිමත් සමඟ තැන තැන අවුලුවාලූ ගිනි ගොඩවල් සෑහෙන ප්‍රමාණයක් ය. ඒ අතර එහි ඇති කුඩා දෙවොලේ පූජාවක් සඳහා කිහිප දෙනෙකු ‛‛පොංගල්’’ සාදයි. ටික වේලාවකින් පූජාව පටන් ගත් බැවින් බොහෝ දෙනෙක් දේවාලය තුළට පිවිසියේ ය. ‛‛මොකද්ද මෙතන වෙන්නේ’’ අම්පාරෙන් පැමිණි සිංහල දන්නා කාන්තාවකගෙන් මා විමසීමි. ‛‛මේ දේවාලය තමා මෙතනින් එහාට අපිට ආරස්සාව දෙන්නේ. කාට හරි ඔන නම්. මෙතනින් එහාට යන ගමන කරදරද නැද්ද යන එක දෙයියන්ගෙන් අහලා දාන ගන්න පුලුවන්. මුරුගන් දේවාලයට ගිහිල්ලා කරන්න ඕන දේවලුත් දැන ගන්න පුලුවන්. මේක හරි සත්ත දේවාලයක්’’ ටික වේලාවකින් එක් තරුණියක් දේවාලය තුලින් එලියට ආවේ හඬාගෙනය. ඇය වටකරගත් ඇයගේ යෙහෙළියන් යැයි අනුමාන කළ හැකි පිරිසකුත් ඇයත් සමඟ හඬන්නට විය. ‛‛ඇයට කතරගමට යන්න වෙන්නේ නෑ කියලා දේවාලයේ සාමි ආරූඪ වෙලා කිව්වලු’’ පෙර මා දැනුවත් කල කාන්තා වමට පැවසීය. කෙසේ නමුත් දේවාලයේ සාමිවරයා සියලු දේ පවසන්නේ ගොඑ භාෂාවෙනි. එය සියලු දෙනා ඉදිරියේ ඔහු ප්‍රකාශ කරයි. දේවාලයේ සියලු කටයුතු හමාර වූයෙන් සියලු දෙනා පැදුරු ලාගෙන නිදා ගැනීමට පෙර නැවතත් විශාල දර කොටන් දමා ගිනි ගොඩවල් නැවතත් අවුලුවනු දක්නට විය. ආරක්ෂාවටයි, සීතලටයි යැයි මට සිතිනි.

නැවතත් ‛තරු යට නින්දක්. දේවාලයේ පහන් සිලු මුලු වනයටම අලංකාරයක් එක් කරයි. ගිනි ගොඩවල් වල ගිණි පුලිගු ඒ අලංකාරය දෙගුණ තෙගුණ කරයි. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ විදුලි පන්දම් රැගත් පිරිමින් පිරිසක් කුඹුක්කං ඔය දෙසට දුවනවා දුටු මමත් ඔවුන් අනුගමනය කළෙමි. විදුලි පන්දම් එළිය ඔය සිසාරා යයි. ඔයේ වතුර මට්ටම ද වැඩි වී ඇත. ‛‛අන්න..අන්න කිඹුලා..’’ විදුලි පන්දම් එලියට ඇස් ගිණිබෝල දෙකක් මෙන් දිලිසෙන කිඹුලන් විශාල ප්‍රමාණයක් කුඹුක්කන් ඔයේ ය. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ ඔවුන් ගොඩට එනු ඇතැයි සිතා මිනිසුනු කෑ ගසයි. මා ඔවුන්ට හවුල් උනෙමි. අපි නෑවේ මේකෙද යැයි මට සිතිනි. ටික වේලාවකින් කිඹුලන් නෙපෙනි ගිය බැවින් නැවතත් තරු යට මා වැතිර ගතිමි. ගමනේ විඩාවටත්, කකුල්වල ඇති වූ වේදනාවටත් නින්ද යා ගෙන අවා පමණි.

‛‛හරෝ හරා…හරෝ හරා…’’ විදුලි පන්දම් එළි මා නිදා සිටි තැනට මීටර 6ක් 7ක් පමණ දුරින් වදින්ට විය. ඒක වර නැගී සිටි මගේ ඇස් නිලංකාර වූයේ නුදුරින් විශාල වල් අලියෙක් නොසෙල්වී අප දෙස බලා සිටිනු දැකීමෙනි. සියලු දෙනා අවදී වී ඇත. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ කියමින් කෑ ගසන්නට විය. පිරිමින් විදුලි පන්දම් එළි දල්වා කෑ ගසති. ඇතැමෙක් තව තවත් ගිනි ගොඩවල් අවුලුවති. අලියා එතනින් හැරි අනෙක් පසින් පැමිණ නැවතත් අප දෙස බලා සිටී. නැවතත් විදුලි පන්දම් එළියත්, ‛‛හරෝ හරා…හරෝ හරා…’’කියමින් කෑ ගැසීමත් වැඩි විය. අපත් බියට දෝ ‛‛හරෝ හරා…හරෝ හරා…’’ කියමින් කෑ ගැසූවෙමු. පැය බාගයක පමණ අවිහිංසාවාදී සටනකින් පසු අලියා හෙමිහිට කැලයට රිංගා ගත්තේ මගේ නින්දත් රැගෙන ය. නැවත මට නින්ද ගියේ නැත. කුඩා ශබ්දයකින් පවා මා අවදි වෙයි. පාන්දර ටික වේලාවක් නින්ද යා ගෙන ආ මම අවදි වූයේ බඩු භාන්ඩ අසුරණ ශබ්දය ඇසීමෙනි.

සියලු දෙනා නැවත් ගමන ආරම්භ කිරීමට සූදානමින් ය. ඉක්මනින් බඩු භාණ්ඩ අසුරාගත් අප ඔවුන් සමඟ එක්විය. කුඹුක්කන් ඔයේ වතුර මට්ටම හවසට වඩා වැඩිය. ඔයේ මද දුරක් ගිය පසු වතුර මට්ටම මාගේ ඉන හරියටය. එක වරම සිහි වූයේ පෙරදා රාත්‍රියේ දුටු කිඹුලන්ය. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ එකවරම මටත් කියැවුනි. ඒ පදය අල්ලා ගත් සියලු දෙනා ‛‛හරෝ හරා…හරෝ හරා…’’ කියමින් කඹුක්කන් ඔය තරණය කළෝය. දැන් විශාල පිරිසක් අපත් සමඟ ගමන් කරයි. ටික දුරක් ගිය විට යුද හමුදා පරීක්ෂන ස්ථානයකි.

නැවත වරක් පෙරදා ඇසු ප්‍රශණය අසයි. ‛‛සිංහලද’’ පිලිතුරක් නොදුන් මා මගේ බෑගය දිගු කළෙමි. ‛‛ඔනේ නෑ යන්න යන්න’’ සොල්දාදුවෙක් කියයි. එතැනින් ඉදිරියට ගිය විට එකවර හමුවන්නේ කටුපඳුරු සහිත වන ගහනයන්ය. සැරින් සැරේ මතුවන රූස්ස ගස් ය. උදෑසන එතරම් අව්ව නොතිබුනු හෙයින් අපි වේගයෙන් ඉදිරියට ගියෙමු. අතින් කටින් බඩු මලු එල්ලාගෙන යන වයසක ගැහැනුන් සහ පිරිමින්. කකුල්වලට සෙරෙප්පුවත් නැතිව ඇවිදින කුඩා ළමුන් ය. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ නිරන්තරයෙන් සියලු පිරිස් තරඟෙට මෙන් කියති. අපගේ ඊළග නැවතුම් පල ‛‛ලිං තුන’’ය.

අපට ඉදිරියෙන් යන පළපුරුදු පිරිස අමු අතු කඩා දමා අපට පාර සළකුණු කරමින් යයි. ඇතැමෙක් තමන්ගෙනා කෑම එකිනෙකා සමඟ බෙදාගන කමින්, බොමින් ගමන් කරයි. කොයි තරම් අපූරුද.., කොයි තරම් ප්‍රේමණීය ද මට සිතිනි. නැවත වරක් හමු වුයේ පොලව ඉරිතලා ගිය කිසිදු හෙවනක් නැති බිම් තීරුවකි. තැන තැන කටු පඳුරුය. වසයක සාමිවරයෙක් යැයි සිතිය හැකි අයෙක් අප ඉදිරියෙන් ගමන් කරයි. ‛‛කෙහේ ඉදලද එන්නේ..’’ මම විමසූවෙමු. ‛‛තිරිකුනාමලේ’’ කැඩිච්ච සිංහලෙන් මට පැවසීය. ඔහුත් සමග ගමන් ගන්නා අතරතුර මම ඔහුත් සමඟ කථාවට වැටුනෙමි.

‛‛මම එන්නේ ත්‍රීකුණාමලේ ඉඳලා. දැන් අවුරුදු 07ක් එනවා. ත්‍රීකුණාමලේ ඉදලා කතරගමට යන්න දවස් 48ක් විතර යනවා. ඉස්සර මේ වගේ නෙමේ පාරවල්. දැන් හොදයි. සත්තුන්ගෙන් අපට කරදරයක් නෑ මුරුගන් දෙයියෝ නිසා සත්තු අපිව මඟ හැරලා යනවා.’’ නම මොකද්ද? ‛නවරත්නම් රාජා’ …ඔහු පැවසූවේ අසීමිත වූ දේව භක්තියකින් බව ඔහුගේ ඇස්වල සටහන්වී තිබිණි. ‛‛ඔයා සිංහලනේ.. මම කැමතියි දැන්වත් සිංහල කට්ටියත් මේ වගේ එනවා නම්’’ ඔහු කීවේ බොරු දේශප්‍රේමයෙන් නොවන බව ඒ හඬෙහි ගැබ්ව තිබිණි.

පැය 2කක් පමණ ඉතා දුෂ්කර ගමනකින් පසුව ‛‛ලිං තුනට’ අප ළගා විය. තැන තැන ආහාර පිසින බැතිමතුන්ය. එක් පසෙක යුද හමුදාවෙන් අලුතින් ආරම්භ කර ඇති ‛‛ජන අවන්හලකි’’. මම ‛‛ලිං තුන’’ සෙව්වෙමි. අප වාඩිලා ගත් තැනට මීටර 50ක් පමණ ඈතින් කොන්ක්‍රීට් වලලු දමා සකස් කර ඇති ‛ලිං තුනකි’. ඇත්තටම මෙහි ලිං තුනක් ඇති හෙයින් මෙම ස්ථානයට ‛ලිං තුන’ යැයි සඳහන් කිරීම නැවැරදි යැයි මට සිතිනි. ‛‛කලබල කාලෙත් අපි මෙහේ ආවා. එතකොට ආමි හිටියෙ නෑ. අනිත් කට්ටිය තමා හටියා. අපිට කරදරයක් නෑ’’ නවරත්නම් රාජා පැවසීය.

‛‛අපි ඔයාලටත් එක්ක උයනවා. ’’ අපිත් සමඟ පෙරදින රාත්‍රියේ කුඹුක්කං ඔයේ සිටි කණ්ඩායමක් පැවසී ය. ‛‛අපිත් උයනවා’’ මාගේ මිතුරා දෙමළෙන් පැවසීය. ටික වේලාවකින් ඉතා රසවත් ආහාර හුවමාරු කරගෙන බඩගිනි නිවා ගත් අපි ඊළග නැවතුම් පොලට යාමට තීරණය කලෙමු. ‛‛කොතරම් හොඳ මානව සබඳතාවයක් තියෙනවා ද, ඒකිනෙකා කොතරම් සමීප ද, ආරක්ෂා කර ගන්නවා ද, රැකබලා ගන්නවා ද?’’ ගමන් ගන්නා අතර තුර මට සිතිණි.

එතැන් පටන් නැවතත් සුපුරුදු මාවතය, වෙනසකට ඇත්තේ පෙර නොතිබූ විශාල වැලි පිරුණු ආරවල් ය. එම ආරවල් වලින් ගමන් ගැනීම මදක් දුෂ්කර විය. අපගේ ඊලඟ නැවතුම්පොල වන ‛මැණික් ගඟ’ ට ගමන් ගන්න සෑහෙන වෙලාවක් යයි. නවරත්නම් රාජා අපිත් සමඟ පැවසීය.

නැවතත් අපි ගමන් ගන්නේ මහ වනය මැදින් ය. පාරේ තැනින් තැන අලින් ගැවසී ගත් බව කියන සාධක ඕනෑ තරම් ය. නිරන්තරයෙන් ‛‛හරෝ හරා..හරෝ හරා..’’ යැයි ගමන් ගන්නා සියලු දෙනා ශබ්ද නගා කෑ ගසයි. මේ ශබ්දයට සතුන් ඉවත් වෙනවා යැයි මට සිතිනි. හිරු අවරට යමින් තිබිණි. තවමත් අපගේ නැවතුම්පොල පිළිබදව සේයාවක් වත් නැත. කකුල් දෙක පෙරදාට වැඩියෙන් රිදුම් දෙයි.

‛‛හරෝ හරා…හරෝ හරා…’’ඒ රිදුම් අතරින් මට කියැවෙයි. ක්‍රමයෙන් කලුවර වැටෙමින් තිබිණි. දැන් 75කට අධික පිරිසක් කණ්ඩායමක් සේ ‛‛හරෝ හරා…හරෝ හරා..’’ කියමින් විදුලි පන්දම් දල්වා ගනිමින් ගන කැලෑව මැදින් ගමන් ගනීයි. කුඩා දරුවන් දෙමාපියන් අතරින් ගමන් ගන්නේ ගෙමිදුලේ ඇවිදිනවාක් මෙනි. කිසිදු අපහසුවක් නැතැයි ඔවුන් දකින ඕනෑම අයෙකුට සිතෙයි. ඉදිරියෙන්ම ගමන් ගන්නා පිරිමින් මඟ දෙපස කැලෑවට විදුලි පන්දම් එලි එල්ල කරමින්, විපරමින් ගමන් ගන්නේ අලියා, වලහා සහ දිවියා මේ අන්ධකාර වේලාවේ ගොදුරු සොයා එන බව ඉවෙන් මෙන් දන්නා බැවින් ද? මට සිතෙයි. ‛‛හරෝ හරා…හරෝ හරා…’’ ශබ්දයෙන් මුලු වනාන්තරයම ගිඟු දෙයි. ඒ අතර කුඩා ළමුන් ‛‛හරෝ හරා…හරෝ හරා…’’ ශබ්දයෙන් මා සිත අහිංසක බියකින් වෙලා ගනියි. එකවර විවෘත වූ බිම් කඩක් සමඟ තැන තැන ඇවිලු ගිනි ගොඩවල් සමඟ ‛‛හරෝ හරා…හරෝ හරා…’’ ශබ්දය දෙගුන වී ඇසෙන්නට විය. ඒ මැණික් ගඟ යැයි මා අනුමාන කළෙමි. ඔව්… ඒ අප නවාතැන් ගන්නා මැණික් ගං ඉවුරය. එක වර එහි සිටි පිරිසක් ‛‛හරෝ හරා…හරෝ හරා…’’ කියමින් අප සියලු දෙනා පිළි ගත්තේ මහත් උණුසුමකින් ය. ඒ අපට පෙර එහි පැමිණ සිටි පිරිස්ය. 500කට ආසන්න පිරිසක් එහි සිටි බව රාත්‍රියේ වුව පෙනෙන්නට වූයේ තැන තැන අවිලූ ගිණි ගොඩවල් සහ ගං ඉවුරේ වැලි මත වැතිර සිටි මිනිසුන් දැකීමෙනි. ‛‛ඔයාලට කෑම දෙන්න ද?’’ පැමිණි විගස අප අසලට පැමිණි තරුණ පිරිසක් අපගෙන් විමසීය. ‛‛අපි කෑම ගෙනාවා.’’ මා මිතුරා පැවසීය. ඒ වන විට කිලෝමීටර 25කට ආසන්න දුරක් අවිද සිටි අපට දැනුනු විඩාවත් සමඟ අපට අවශ්‍ය වූයේ විඩාව වතුරේ දිය කර හැරීමටය. අප පිටුපසින් කුඩා තීරුවක් ලෙස මැණික ගඟ ගලා යනු දුටුවුයෙන් එහි බැස ඇති තරම් මැණික් ගඟේ මහන්සිය දිය කර හැරියෙමි. ඉන්පසු ඉටිරෙදි එලා ගත් අපි එහි වැතිර ගත්තෙමු.

………………………………………………….ඉතිරි කොටස ලබන සතියට…..

සටහන සහ ඡායාරූප – සම්පත් සමරකෝන්