සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

‛‛මානව හිමිකම් කවුන්සිලය හමුවේ අමාත්‍ය සමරසිංහ කල කතාවෙන් අපි මවිතයට පත් වීමු.’’ TNA

(සංස්කාරක සටහන) පසුගිය සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක අමාත්‍ය මහින්ද සමරසිහ කළ කතාව සම්බන්ධයෙන් සහ පසුගිය කාලයේ සහ වත්මන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උතුරු නැගෙණහිර ප්‍රදේශවල පශ්චාත් විසින් පසුගිය 13 වනදා ප්‍රකාශයක් කළේය. මේ එම ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් නායක ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා සැප්තැම්බර් 12 දා කළ කතාවේ අන්තර්ගතය පිළිබඳව දැනුවත් වීමෙන් දෙමළ ජාතික සංධානය මවිතයට පත් විය. ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවිෂ්ඨය පදනම් වී ඇත්තේ ප්‍රජාවන් අතර විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩ නැගීම මත යැයි ඔහු කළ ප්‍රකාශය අපි විශේෂයෙන් ම බැහැර කරමු.

ආණ්ඩුවේ “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම” (LLRC) පත් කෙරුණේ 2010 මැයි මාසයේ දී ය. සීමිත විධිනියෝගයක් සහිත මෙම දෝෂ සහගත කොමිසම ආණ්ඩුවට ඉදිරිපත් කළේ ඉතා මැදහත් අතුරු නිර්දේශයන් ය. එහි පහත සඳහන් දේ ඇතුළත් විය:

– රැඳවුම් කඳවුරුවල සිටින්නන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම.

– රැඳවියන්ට එරෙහිව කඩිනමින් චෝදනා ඉදිරිපත් කිරීම හෝ නිදහස් කිරීම.

– පදිංචි කිරීම්වල දී ආණ්ඩුවේ කිසි ම ආයතනයක් ඒ සඳහා පෞද්ගලික ඉඩම් යොදා නොගන්නා බවට ආණ්ඩුව
පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කිරීම.

– උතුරු-නැගෙනහිර සිටින නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම.

‛පමාවකින් තොරව’ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ ය. සැලකිය යුතු කරුණ නම්, මෙම ප්‍රකාශය කරන ලද්දේ 2010 සැප්තැම්බර් 13 දා අතුරු නිර්දේශ ඉදිරිපත් කර හරියට ම වසරක් ගෙවුණු පසුව ය යන්න යි. එහෙත්, සමස්තයක් වශයෙන් හෝ පාර්ශ්වීය වශයෙන් හෝ ඉහත නිර්දේශවලින් එකක් වත් මේ තාක් ක්‍රියත්මක වී නැත. කෙසේ වුව ද, ජාත්‍යන්තර ප්‍රජාව වෙත සාවද්‍ය තොරතුරු වාර්තා කිරීමෙහි නම් ආණ්ඩුව නොකඩවා නිමග්නව සිටී. උදාහරණයක් ලෙස, 2011 ජනවාරියේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙහි පිහිටි තානාපති කාර්යාලවල ප්‍රධානීන්ට දැනුම් දුන්නේ, දෙමළ රැඳවියන්ගේ නම් ලැයිස්තුවක් සහිත දත්ත සංචිතයක් සක්‍රිය කොට ඇති බව සහ පරීක්ෂා කිරීම සඳහා සමීප ඥාතීන්ට එය ලබා ගත හැකි බව යි. මෙම නිවේදනය කරන ලද්දේ, 2011 ජනවාරියේ දී ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායම සමග පැවැත්වූ පළමු සාකච්ඡාමය රැස්වීමේ දී ටීඑන්ඒ එම කරුණ සම්බන්ධයෙන් දැක්වූ සැලකිල්ල හේතු කොට ගෙන ය. කෙසේ වුව ද, අමාත්‍යවරයා සැපයූ තොරතුර අසත්‍යයකි. එපමණක් නොව, ලබා ගත හැකි පරිදි රැඳවියන්ගේ නම් ලැයිස්තුවක් සපයන බවට ඉන් පසුව කිහිප අවස්ථාවක දී දුන් පොරොන්දු ද මේ වන තෙක් ඉටු වී නැත.

සිය දේශීය යන්ත්‍රණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මැදහත් අතුරු නිර්දේශ පවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වීමෙන් අවධාරණය වන්නේ, ශ්‍රී ලංකාව තුළ වගවීම සහ ප්‍රතිසන්ධානය පෙරට ගෙන යාම සඳහා වන අව්‍යාජ, විශ්වසනීය සහ ස්වාධීන යන්ත්‍රණයක ඇති වැදගත්කම යි. ටීඑන්ඒ වූකලි, යුද්ධයෙන් ඉතා ම නරක අන්දමින් බලපෑමට ලක් වුණු උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වුණු නියෝජිතයන් ය. ‛සාමකාමී, බහුජනවාදී සහ සමානාත්මතා සමාජයක්’ යනුවෙන් ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාව උදෙසා ප්‍රකාශයට පත් කළ දැක්ම පදනම් කළ හැක්කේ, සත්‍යය පිළිගැනීමත් සන්නද්ධ ගැටුමේ දී දෙපාර්ශ්වය කළ ක්‍රූරකම්වලට ගොදුරු වූවන්ට සාධාරණත්වය සහතික කිරීමත් මත පමණක් යැයි විශ්වාස කරන ටීඑන්ඒ, ඒ බව තරයේ ප්‍රකාශ කර සිටී. මෙම තත්ත්වය තුළ දී, ශ්‍රී ලංකාව තුළ වගවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂඥ කමිටු වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වීම ගැන ටීඑන්ඒ බෙහෙවින් සතුටට පත් වෙයි.

2011 මාර්තුවෙහි විශේෂඥ කමිටු වාර්තාව නිකුත් වුණු අවස්ථාවේ දී අප නිකුත් කළ ප්‍රකාශය යළි සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු. ඒ අවස්ථාවෙහි ටීඑන්ඒ මෙසේ කියා සිටියේ ය:

සටන්කරුවන්ට එරෙහිව ආණ්ඩුව කර ගෙන යන කවර හමුදා මෙහෙයුමක දී වුව, නිරායුධ දෙමළ සිවිල් වැසියන් ආරක්ෂා කරන බවත් ඔවුන්ට හානි නොකරන බවත් සහතික කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යුතුකමක් ඇතැයි අපි එක දිගට ම අවධාරණය කර ඇත්තෙමු. කෙසේ වුව ද, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිවිල් ජනයා පදිංචි වී සිටින ප්‍රදේශවලට අඛණ්ඩව බෝම්බ හෙළා ඇත, එවැනි ප්‍රදේශවල දී විශාල කාලතුවක්කු සහ මල්ටි බැරල් රොකට් විදින යොදා ගෙන ඇත, ගැඹුරු විනිවිදුම් ඒකක යොදා ගෙන ප්‍රහාර එල්ල කර ඇත, එහි ප්‍රතිඵලයක් ලෙස, නිරායුධ දෙමළ සිවිල් වැසියන් දසදහස් ගණනක් මරුමුවට පත් වී සහ බරපතළ තුවාල ලබා ඇත, එවන් ප්‍රහාරවලින් දෙමළ සිවිල් වැසියන් සියදහස් ගණනක් තම නිවාසවලින් පලවා හැර අවතැන් කර ඇත, ඔවුන් අසරණ තත්ත්වයට ඇද හෙළමින් ඔවුන්ගේ නිවාස ද සියලු ජීවනෝපාය ආම්පන්න සහ අනෙකුත් වත්කම් ද විනාශ කර ඇත, එවන් ප්‍රහාරවලට ලක් වුණු නිරායුධ දෙමළ සිවිල් වැසියන්ට වාසස්ථාන, ආහාර, වෛද්‍ය ප්‍රතිකාර, පානීය ජලය සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ අහිමි කර ඇත, රෝහල්වලට සහ සහන මධ්‍යස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත, ගැටුම් ප්‍රදේශ තුළ සිටින නිරායුධ දෙමළ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ අභිමානය සම්බන්ධයෙන් සුලු හෝ තැකීමකින් තොරව සිය මිලිටරි මෙහෙයුම් කර ගෙන ගොස් ඇත. නිරායුධ දෙමළ සිවිල් වැසියන් අධිකරණ ක්‍රියා පටිපාටිවලින් බැහැරව මරණයට පත් කිරීම ද බලාත්කාරයෙන් අතුරුදන් කිරීම ද සුදු වෑන්වලින් පැමිණ අඩන්තේට්ටම් කිරීම ද අඩුවක් නැතිව එක දිගට ම කෙරී ගෙන ගොස් ඇත. ටීඑන්ඒ, පාර්ලිමේන්තුව තුළ දී, මේවා පිළිබඳව සහ අනෙකුත් බිහිසුණු සිදුවීම් පිළිබඳව විස්තර තත්කාලීන වාර්තාවලට ඇතුළත් කර ඇති අතර, අදාළ සියල්ලන්ගේ අවධානයට ඒවා යොමු කර ඇත.

අමාත්‍ය මහින්ද සමරසිංහ, ප්‍රගතිය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් කවර ප්‍රකාශ නිකුත් කළත්, උතුරු-නැගෙනහිර දෙමළ ජනයා යුද්ධය අවසන් වීමෙන් පසුව ද අඛණ්ඩව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙමින් සිටිති. එකී ප්‍රචණ්ඩත්වය ප්‍රකාශයට පත්ව ඇති ආකාරයන් මෙසේ ය:

01 – 2009 දී, හමුදාවෙන් පවත්වා ගෙන ගිය කඳවුරු තුළ පුද්ගලයන් 300,000කට වැඩි ගණනක් සිරගත කිරීම. පසුව යළි මුල් පදිංචි ස්ථාන කරා ආපසු යාමට අවසරය ලද අයට යළි පදිංචි වීමට සහ සිය ජීවිත යළි ඇරඹීමට හිමි විය යුතු සහාය ලැබී නැත.

02 – මුල් පදිංචි ස්ථාන කරා ආපසු නොගිය, තව දුරටත් තාවකාලික කඳවුරු තුළ කොටු වී සිටින හෝ සත්කාරක පවුල් සමග විසීමට බල කෙරී ඇති පුද්ගලයන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් අවතැන්ව සිටීම. මේ අතර සිටින්නේ, යාපන අර්ධද්වීපයේ වලිකාමම් උතුර ප්‍රදේශයෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයෙන් සහ වන්නියේ වෙනත් ප්‍රදේශ කිහිපයකින් අවතැන් වූවන් ය.

03 – දෙමළ ජනයාට අයත් කෘෂිකාර්මික සහ ජීවනෝපාය ඉඩම්වල සන්නද්ධ හමුදා සහ බහුතර ප්‍රජාවේ පුද්ගලයන් බලාත්කාරයෙන් පදිංචි වී සිටීම. එළිපිට ම සිදු වන මෙම උල්ලංඝනයට පිළියම් වශයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

04- කිසිදු ප්‍රසිද්ධ නිවේදනයකින් තොරව, සංවර්ධන අරමුණු උදෙසා යැයි පවසමින් උතුරු-නැගෙනහිර රජයේ ඉඩම් බහුතර ප්‍රජාවේ පුද්ගලයන්ට වෙන් කර දීම.

05- ජන සංයුතිය වෙනස් කිරීමේ ද නව පරිපාලන කොට්ඨාස නිර්මාණය කිරීමේ ද අරමුණ ඇතිව, උතුරු-නැගෙනහිරට පිටස්තර පුද්ගලයන් උතුරු-නැගෙනහිර විවිධ කොටස්වල-වඩා මෑත දී මුලතිව් සහ වඩමාරච්චි නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල-පදිංචි කිරීම.

06- ප්‍රදේශවල ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනස් කිරීමේ අරමුණ ඇතිව, හින්දු සහ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන සහ වෙනත් සංස්කෘතික අඩවි විනාශ කිරීම සහ කෙළෙසීම; උදාහරණයක් ලෙස, කංගුවේලිහි ඓතිහාසික අගස්තියාර් ස්ථාපනම් සහ කින්නියාහි උණු දිය ළිං දැක්විය හැකි ය.

07- මැතිවරණ අතරතුර දී විරුද්ධ දේශපාලන පක්ෂ බිය ගැන්වීම සඳහා කායික ප්‍රචණ්ඩත්වය ක්‍රමානුකූලව යොදා ගැනීම.

08- හමුදා බලය යොදා ගනිමින් උතුරු-නැගෙනහිර පුරා නීත්‍යනුකූල මහජන විරෝධතා මැඩ පැවැත්වීම. මෑතක දී, මඩකලපුවෙහි ද අම්පාරේ පොතුවිල්හි ද යාපනයේ නවන්තුරෙයිහි, කොකුවිල්හි සහ චුල්ලිපුරම්හි ද ඇති වුණු සිදුවීම් උදාහරණ ය.

09- සුලුතර ප්‍රජාවන් මර්දනය කිරීමේ සහ යටත් කර ගැනීමේ මෙවලමක් ලෙස ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම.

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වය යළි ස්ථාපනය වෙමින් පවතින බවට සාක්ෂියක් ලෙස හදිසි නීතිය අහෝසි කිරීම අවිවේචනාත්මකව පිළිගැනීමට එරෙහිව ද අපි අනතුරු අඟවන්නෙමු. ශ්‍රී ලංකාව අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය පාලනයක් කරා සංක්‍රමණය වෙමින් පවතින බව සහතික කිරීමට නම්, හදිසි නීතිය අහෝසි කිරීම සමග ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත (පීටීඒ) ද ඉවත් කළ යුතු යනු අප එක දිගට ම දැරූ ආස්ථානය යි. මෑතක දී අහෝසි කෙරුණු හදිසි නීතියේ වඩාත් ම දරුණු අංගවලින් සමහරක්-එනම්, වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ අල්ලා ගැනීම; චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව විධායක බලය මත රඳවා තබා ගැනීම; පොලීසිය හමුවේ කෙරෙන පාපොච්චාරණ උසාවි සාක්ෂි ලෙස ඇතුළත් කිරීම සහ එවැනි පාපොච්චාරණ සම්බන්ධ සාක්ෂිවල වැදගත්කම යටපත් කිරීම-පීටීඒහි ද අඩංගුව තිබෙන බවත්, හදිසි නීතිය අහෝසි කළත් මෙම අංග ප්‍රයෝජනයට ගැනෙන බවත්, අපි නිරතුරුව අවධාරණය කර ඇත්තෙමු. කෙසේ වෙතත්, හදිසි නීතිය අහෝසි කිරීමේ මෙම ක්‍රියාව, 2005 හදිසි (විවිධ විධිවිධාන සහ බලතල) නීති අංක 1 යටතේ රඳවා ගෙන සිටින දහස් ගණන් දෙමළ රැඳවියන් සහ යටත් වූවන් නිදහස් කිරීමට හේතු වනු ඇත්තේ ඉතා සුලු වශයෙන් බවට දෙමළ ජනයා අතර පවතින අදහස අපි ද පිළිගත්තෙමු. එබැවින්, පීටීඒය යටතේ පැවති නීති පුළුල් කොට හදිසි නීති යුගයේ බලතල ගණනාවක් තව දුරටත් පවත්වා ගැනීමට ආණ්ඩුව ගත් තීරණයෙන් අපි බලවත් කෝපයට පත් වුණෙමු. මෙම නීතිවලින් සහතික වන්නේ, හදිසි නීතිය අහෝසි කළත්, ජනතාවගේ නිදහස සම්බන්ධයෙන් විධායකයට අතිශය අසාමාන්‍ය බලතල ලබා දී මැනවින් පෝෂණය කොට, හදිසි නීතිය සීමා කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යන බව යි.

“ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම්වලට ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා 60/147 යටතේ සම්මත කර ගැනුණු ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට ද ගොදුරු වුණු අයට විසඳුම් ලබා ගැනීමටත් වන්දි ලබා ගැනීමටත් පවතින අයිතිය පිළිබඳ මූලික මූලධර්ම සහ මාර්ගෝපදේශ” නම් ලියවිල්ලේ හැඳින්වීම අපි යළි සිහිපත් කරන්නෙමු. එනම්, “පිළියම් සහ වන්දි ලෙස ප්‍රතිලාභ ලැබීමට ගොදුරු වූවන්ට තිබෙන අයිතිවාසිකමට ගරු කිරීමේ දී, ජාත්‍යන්තර ප්‍රජාව, ගොදුරු වූවන්ට, දිවි ගළවා ගත්තවුන්ට සහ අනාගත මානව පරම්පරාවන් මුහුණ පා සිටින ශෝචනීය තත්ත්වයට විසඳුම් සොයන බවට දී ඇති පොරොන්දු කඩ නොකළ යුතු බවත්, වගවීම, සාධාරණත්වය සහ නීත්‍යනුකූල පාලනය පිළිබඳ ජාත්‍යන්තර නීතිමය මූලධර්ම යළි තහවුරු කළ යුතු බවත්” මෙම ලියවිල්ලෙන් පිළිගැනේ. ශ්‍රී ලංකාව තුළ දී ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්ගේ දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීමට ආණ්ඩුව ස්ථිර ලෙස බැඳී සිටින්නේ එබැවිනි.

සැබවින් ම, 2009 මැයි 26 දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ දී, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට එකඟව ක්‍රියා කිරීම සම්බන්ධයෙනුත් තමන්ට පවතින බලගතු කැප වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේ ය. “ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමෙහි ලා වගවීමේ ක්‍රියාවලියක ඇති වැදගත්කම” මහ ලේකම්වරයා අවධාරණය කළේ ය. එම දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව පැහැදිලිව ම එකඟ විය. මෙම පොරොන්දුව ඉටු කරන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු.

“සියලු ප්‍රජාවන්ගේ ප්‍රාර්ථනාවන් සහ දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීමටත් දිගු කාලීන සමාජ-ආර්ථික සංවර්ධනයක් සහතික කිරීමට අතිමූලික වන කල් පවත්නා දේශපාලන විසඳුමක් උදෙසා වැඩ කිරීමටත්” එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී ම ජනාධිපති රාජපක්ෂ සහ මහ ලේකම්වරයා එකඟ වූහ. “13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ කටයුතු පෙරට ගෙන යාම සඳහාත්, නව තත්ත්වය තුළ දී, මෙම ක්‍රියාදාමය තව දුරටත් වර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ කල් පවත්නා සාමයක් සහ සංවර්ධනයක් ඇති කිරීමට, දෙමළ පක්ෂ ඇතුළු සියලු පක්ෂ සමග පුළුල් සංවාදයක් ආරම්භ කිරීම සඳහාත් තමන්ට පවතින දැඩි අධිෂ්ඨානය” ද ජනාධිපති රාජපක්ෂ “ප්‍රකාශයට පත් කළේ ය.”

වසර දෙකකට වැඩි කාලයක් ගත වුණු පසුව ද ඉහත පොරොන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් අත්ව නැති බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු.

මේ නිසා, ජාත්‍යන්තර ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවේ තත්ත්වය කියා පෑමේ දී මීට වඩා ඍජුව සහ අවංකව තොරතුරු සැපයිය යුතු යැයි අපි ආණ්ඩුවට බල කර සිටිමු. ශ්‍රී ලංකාවේ බහුජනවාර්ගික, බහුආගමික සහ බහුසංස්කෘතික ජනතාව, නව තත්ත්වය තුළ දී අප සියලු දෙනාගේ ම ප්‍රශස්ත සහ අවංක ප්‍රයත්නයන් ගැන අපේක්ෂා සහගතව සිටින බැවින්, ශ්‍රී ලංකාවෙහි කල් පවත්නා ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වන දේශපාලන ක්‍රියාවලියක් තුළ ආණ්ඩුව සමග එක්ව ක්‍රියාකිරීමට පවතින අපගේ කැප වීම අපි ප්‍රකාශ කර සිටින්නෙමු.

ආර්. සම්බන්ධන්
දෙමළ ජාතික සන්ධානයේ නායක
2011 සැප්තැම්බර් 13