සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Health, Human Rights, Human Security, Media

”මාළඹේ අටවගත්ත හොර වෙද කඩේට ප්‍රමිතියක් නෑ” – වෛද්‍ය ගිෂාන්ත දසනායක

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබදව සහ එහි මතු වී ඇති නවතම තත්ත්වයන් සහ අභියෝග පිලිබදව ‛විකල්ප’ පසුගියදා, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. පහත සටහන් වන්නේ එම සාකච්ඡාවේ සංක්ෂිප්ත සටහනකි.

“1981 රාගම, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කියලා බිහිකරපු පෞද්ගලික වෛද්‍ය පීඨය රටේ ආන්දෝලනයකට තුඩු දුන්නා. මෙම වෛද්‍ය පීඨය හරහා කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිනමන උපාධිය පිරිනමන්න උත්සාහ කළා. මේ ආකාරය එවකට හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය උපාධිය විකුණන්න තම විධායක බලය පාවිච්චි කළා. එවකට විපක්ෂයේ හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, එස්.බී දිසානායක මන්ත්‍රීවරයා, මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහි සටනේ යම් භූමිකාවක් නියෝජනය කළා. ඔවුන් ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළේ නැහැ. විශ්ව විද්‍යාල පද්ධතියේ ශිෂ්‍යන් සහ ශිෂ්‍යාවන් සහ පාසැල් පද්ධතියේ හිටපු දරුවන් තමයි ප්‍රධාන භූමිකාව නියෝජනය කළේ. මේ විරෝධයන් හි ප්‍රතිපලයක් විදිහට ‛උතුරු කොළඹ හොර වෙද කඩේ’ ලෙස හඳුන්වපු මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්න සිදුවුණා. දැන් කැළණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම වෛද්‍ය විද්‍යාලයට තෝරා ගන්නේ උසස් පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් පදනම මත මිසක් මුදල් හැකියාව මත නෙමෙයි. රාගම වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්න කලින් උසස් පෙළ ගෘහ විද්‍යාව කරපු දෙන්නෙකුත් වෛද්‍ය විද්‍යාලයට තේරිලා තිබුණා. ඒ වගේම ජීව විද්‍යා විෂයේ ඉතාම අඩු ලකුණු ගත්ත අය පවා එතන හිටියා.”

උද්ගත වෙලා තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ඔබ දකින්නේ කොහොමද?

මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න යම් කිසි පිරිසක් අද සමත් වෙලා තියෙනවා. මේ වෛද්‍ය පීඨය පටන ගත්තෙ කිසිම අනුමැතියක් ඇතිව නෙමෙයි. වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න වෛද්‍ය සභාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනෙ. ඒ අනුමැතීන් දෙකම මාළඹේ වෛද්‍ය පීඨය ලබාගෙන තිබුණෙ නැහැ. වංචනිකව තමයි මෙම ආයතනය පිහිටුවගෙන තියෙන්නෙ. මේ ආයතනය මෙහෙයවන්නේ ලංකාවේ ව්‍යාපාරික වෛද්‍ය වරයෙක්. ඉතින් විශ්ව විද්‍යාල ප්‍රවේශ්‍ය අහිමි වුණු, ආසන්න මට්ටමේ ලකුණු පවා නැති, ලක්ෂ 65 ක් හොයාගන්න පුළුවන් වුණු පිරිසක් මේ ආයතනයට ඇතුළු වුණා. සාමාන්‍යයෙන් ලෝකෙ කුමන රටකවත් රටවල් දෙකක උපාධිය හදාරලා එක රටකින් උපාධියක් දෙන තත්වයක් තිබුණෙ නැහැ. මේක යම් කිසි කොටලු සංස්කෘතියක් තියෙන ආයතනයක් කියලා හඳුන්වන්න පුළුවන්. හිටිගමන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තමන්ට තිබෙන බලතල ප්‍රයෝජනයට ගනිමින් යැයි කියමින් මාළඹේ වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දෙනවා. මෙතෙක් කාලයක් ද්විත්ව උපාධියක් විදිහට තමයි මේක තිබුණෙ. එම උපාධියට විදේශ රටක් සම්බන්ධ නිසා ද්විත්ව උපාධියට මුහුණ දෙන අයගේ දැනුම පරීක්ෂා කරන ක්‍රමයක් ලංකාවේ තිබුණා. සාමාන්‍යයෙන් විදේශ උපාධියක් ගන්න කොට එයාගෙ දැනුම පරීක්ෂා කරන්න විශ්ව විද්‍යාල පනතේ 16 වෙනි වගන්තිය යටතේ විභාගයක් පවත්වනවා. වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නෙ මෙම විභාගයෙන් සමත් වන අයව පමණයි.පෞද්ගලික හෝ රජයේ රෝහල් වල වෛද්‍ය වරුන් ලෙස කටයුතු කරන්න අවසර ලැබෙන්නෙ එහෙම ලියාපදිංචි කරපු අයට විතරයි.උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ උපාධිය ලංකාවේ උපාධියක් ලෙස පිළිගැනීම නිසා මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයේ උපාධිය ගන්න අයව පරීක්ෂා කරන්න ක්‍රමයක් නැහැ.

මෙම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය හොඳ නැහැ කියලා කියන්නෙ කොහොමද?

මුදලට වෛද්‍ය උපාධිය දෙනකොට එහි ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙතනදි ප්‍රමුඛතාවය දෙන්නෙ මුදල් වලට මිස හැකියාවට නොවන නිසා. ඉතින් මෙහෙම පදනමක් යටතේ දෙන වෛද්‍ය උපාධියක ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න විදිහක් අද නැතිවෙලා තියෙනවා. මේ ආයතනය පුණ්‍ය ආයතනයක් නෙමෙයිනෙ. මේක මුදල් අරමුණු කරගෙන ආරම්භ කළ ආයතනයක්. මේක ව්‍යාපාරයක් නිසා ලාභ ලැබීමට තව තව දේවල් කරන්න හැකියාව තියෙනවා. එම නිසා මුදලට විභාග පාස් කිරීම වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. නමුත් ආණ්ඩුවේ විශ්ව විද්‍යාලය තුළ විභාගයක් පාස් කරන්නේ යම් කිසි ඇගයීමක් මත මිසක් මුදල් ගෙවලා නෙමෙයි. මුදල් මත විභාග පාස් කරන එක, මුදල් මත උපාධියක් දෙන එක ආණ්ඩුව අද අනුමත කරනවා. ඉතින් මෙහෙම මුදල් මත වෛද්‍යවරයෙක් වුණු අයෙක්ගෙන් බෙහත් ගන්න සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නෙ?මාළඹේ අටවගත්ත හොර වෙද කඩේට ප්‍රමිතියක් තියෙනවද බලන්න සෞඛ්‍ය ඇමතිවරයා කමිටුවක් පත්කරනවා. නමුත් එහෙම ප්‍රමිතියක් නැහැ කියලා හොඳටම පේනවා. ප්‍රමිතියක් තියෙනවනම් ඔච්චර ඕක හොයලා බලන්න ඕනෙ නැහැ ඒක පේනවා.

ලංකාවට අවශ්‍ය වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණයට නැහැ කියලා ආණ්ඩුව කියනවා.

ලංකාවට වෛද්‍යවරු තව ඕනෙ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව අඩුගාණෙ ජනතාවගෙන් 500ට එක් වෛද්‍යවරයෙක් බැගින් ඉන්න ඕනෙ. නමුත් දැනට ලංකාවේ ඉන්නෙ 2500ට එක් වෛද්‍යවරයෙක් බැගින් විතරයි. ඉතින් ජනතාවට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු ඉන්නවද කියලා හොයලා බැලුවොත් වෛද්‍යවරු ප්‍රමාණය මදි. නමුත් ලංකාවේ රෝහල් ප්‍රමාණයත් එක්ක ගත්තට පස්සෙ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු ඉන්නවා. සමහර විශේෂඥ වෛද්‍යවරු අඩුපාඩුවක් තිබුණත් පොදුවේ වෛද්‍යවරු යම් පමණකට අතිරික්තයක් තියෙනවා. ඉතින් වෛද්‍යවරු ප්‍රමාණය ඉක්මවා ඉන්නකොට විශේෂයෙන්ම තත්වයෙන් බාල වෛද්‍යවරු හදන එකේ තේරුමක් නැහැ. දැන් වෛද්‍යවරු හදනවා නම් හදන්න ඕනෙ ඉන්නවටත් වඩා ගුණාත්මක, අත්දැකීම් තියෙන වෛද්‍යවරු පමණයි.

ආණ්ඩුව මේ ප්‍රශ්නයෙදි ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද?

අපි හිතන විදිහට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය යුත්තේ නිදහස් අධ්‍යාපනය රකින එක. ඊට එරෙහිව තියෙන තර්ජනයන් මැඩපවත්වන්න රාජ්‍ය මැදිහත් වීමක් කරන එක. ඒ වගේම උසස් අධ්‍යාපනය පුළුල් නොකිරීම නිසා යම් අසාධාරණයකට ලක්වන අය ඉන්නව නම් ඒ අය සඳහා යම් සාධාරණ මාවතක් සකසලා දෙන එක. ඒ වගේම දැනට මඩකලපුවෙ සහ රජරට වෛද්‍ය පීඨ දෙකක් ආරම්භකරලා තියෙනවා. නමුත් පහසුකම් මදිකම නිසා ඒ වෛද්‍ය පීඨ දෙකම අද දුවාගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනවා. ආණ්ඩුවෙ වගකීම වෙන්න ඕනෙ මේ අඩුපාඩු තේරුම් අරගෙන ඊට අදාල විසඳුම් ලබා දෙන එක. මෙන්න මේ සඳහා තමයි ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉන්නෙ. නමුත් එතුමා අද දිවිහිමියෙන් කැපවෙලා ඉන්නෙ කවුරු මොනව කිව්වත් පෞද්ගලික වෛද්‍ය පීඨ අරිනව කියලා කියන්න විතරයි. මේ මොන උසස් අධ්‍යාපන ඇමතිවරයාද? කියලා ප්‍රශ්නයක් අපිට එනවා. ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයාද? නැතිනම් මුදලාලිලා රකින අධ්‍යාපන ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ඇමතිවරයාද?

ඔබලාගේ විරෝධයත් අනෙක් හැම විරෝධයක් වගේම හුදකලා වේවිද?

දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ගන්නකො. ඒකට කතා කරන්නෙ වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයො විතරයිනෙ. ඇත්තටම මේ ප්‍රශ්නය වෛද්‍යවරුන්ට සහ ශිෂ්‍යයන්ට එච්චර අදාල නැහැ. මේක වැඩිපුර අදාලවෙන්නෙ මේ රටේ ජනතාවට. මේක අපේ සටනක් විතරක් නෙමෙයි. ජනතාව මේකට සම්බන්ධ විය යුතුයි. අනාගත පරපුර සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය පැන නගින්නෙ. කුමන කේෂත්‍රයේ ප්‍රශ්නයක් ආවත්, අපි හැමෝම ඒ හැම ප්‍රශ්නයක්ම එක ප්‍රශ්නයක් විදිහට තේරුම් අරගෙන, එක හඬක් නගන්න පුළුවන් නම් ආණ්ඩුවට තමන්ගෙ ප්‍රතිපත්ති මේ විදිහට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම් පෞද්ගලික චැනල් සේවයත් ඕනෙ නැහැ කියලා සමහරු කියනවා

පෞද්ගලික චැනල් සේවය ඕනෙ කියලා කව්ද කිව්වෙ. අපි කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලත් එපා. චැනල් සේවයත් එපා. චැනල් සේවය නවත්තලා රජයේ රෝහල් පද්ධතිය හදන්න. ජනතාවට පහසුවෙන් බෙහෙත් ගන්න පුළුවන් විදිහට, උදේ පාන්දර ආවට පස්සෙ රෑ යන්න නැතිවෙන විදිහට රෝහල් පද්ධතිය හදන්න. චැනල් සේවය පවතින්නේ ඇයි? රජයේ රෝහලකට ඇවිත් ප්‍රතිකාර ලබා ගන්න ප්‍රමාණවත් පහසුකම් නැති නිසා. සමහර මිනිස්සු චැනල් සේවයට යන්නෙ සල්ලි ණයට අරගෙන. ලෙඩේ තියාගෙන රෝහලට ගිහිල්ලා ඇඳයට නිදියගන්න බැරිකමට, රෝහලේ වැසිකිලියට යන්න බැරිකමට. මේක කාගෙ ප්‍රශ්නයක්ද? ආණ්ඩුවේ අසමත් කම.
මේ තත්වය ඉදිරියට ගියොත් මොකද වෙන්නෙ?
මේ මුදලාලි ටික ජයග්‍රහණය කළොත් රටේ ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න සිදුවෙනවා. පළමුවැනි එක තමයි තත්වයෙන් බාල වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න වෙනවා. අනික් එක තමයි නිදහස් අධ්‍යාපනය කියන ඉණිමගට පයින් ගහන එකත් එක්ක තමන්ගෙ දරුවෙක්ට ඉහළට ඉගෙන තියෙන අවස්ථාව නැතිවෙනවා. ලංකාවේ වෛද්‍ය උපාධියට ජාත්‍යන්තර මට්ටමින් යම් කිසි පිළිගැනීමක් තියෙනවා. නමුත් මේ වගේ තුට්ටු දෙකේ උපාධියක් මේ උපාධි ගොඩට ආවොත් එහෙම ජාත්‍යන්තරව මේ රටේ වෛද්‍ය උපාධිය හෑල්ලු වීමකට ලක්වෙනවා.

වෛද්‍ය ගිෂාන්ත දසනායක
සභාපති – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ
(සාකච්ඡාවක් ඇසුරෙනි)