සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය ජයග්‍රහණයක්’ නොව, අවවර්ධිත සමාජ ක්‍රමයක කුණු වීමකි. ‛ෂන්ග්‍රී ලා’ ධනපතියාගේ සිට ‛සිරස’ සහ ‛ස්වර්ණවාහිනී’ වැනි ‛ස්වාධීන’ මාධ්‍ය ව්‍යාපාර අද වන විට ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ තබා තමන්ගේ ලාභ-අලාභ ශේෂ පත්‍ර අගැයීමට ලක් කිරීම මගින් පෙන්නුම් කරන්නේ, ‛බ්‍රෝකර් ධනවාදී’ පවුල් අධිකාරයක් මගින් රට පාලනය කරන බව මිස, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගෙමින් තිබෙන බවක් නොවේ. මේ ‛ජාම බේරා ගැනීමේ’ ව්‍යාපාරික සමාජය තුළට, රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ පතාක යෝධයන්වත් මේ වන විට කෙමෙන් අවශෝෂනය කර ගැනෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත.

ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන (එන්.ජී.ඕ.) පිළිබඳව කලක් තිස්සේ ඉදිරිපත් වන චෝදනා ව්‍යුත්පන්න වන්නේ, ප්‍රතිගාමී සහ ජාතිකවාදී දේශපාලනයකින් වුවත්, සමස්තයක් වශයෙන් එන්.ජී.ඕ ව්‍යාපාරයේ අභිමතාර්ථ සහ ක්‍රියාකලාපය අතර පවතින ව්‍යාපාරික ස්වභාවය මගින් යම් තාක් දුරකට ස්ථාපිත කරනු ලැබ ඇති ‛එන්.ජී.ඕ. වෙළඳාම’ අහිංසක වන්නේවත්, නිර්දෝෂී වන්නේවත් නැත. විශේෂයෙන්, යුද්ධයට එරෙහිව සාමය වෙනුවෙන් කලින් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධාන, අද වන විට පශ්චාත්-යුද්ධ කාලීන ජනප්‍රිය මතවාදයට නතුවීම හරහා අළුත් සුජාත භාවයක් පාලකයන්ගෙන් ඉල්ලා සිටීම තුළ කියැවෙන්නේ, ‛වෙළඳාම’ කරගෙන යෑමට අවසර ලැබෙයි නම්, නව තත්ත්වයන් සුජාත කිරීමට වුවත් ඔවුන් සූදානම් බවක් දෝ යන සැකය අප තුළ උපදී.

පසුගිය 4 වෙනිදා ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ‛ජෙනරාල්වරයෙකු බිල්ලට දීම’ මැයෙන් ලිපියක් ලියන ජෙහාන් පෙරේරා, අද ජාත්‍යන්තර ප්‍රශ්නයකට මුහුණදී සිටින මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෑන හසුරුවා තිබීම ඊට මනා නිදසුනකි. (ජෙහාන් පෙරේරා යනු, හිටපු යුද විරෝධී, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකි). ඇමරිකාවේ දී ෂවේන්ද්‍ර සිල්වා පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතුව, යුද්ධයෙන් පසු ආණ්ඩුව විසින් ප්‍රමාණවත් පරිද්දෙන් ‛ජාතික සමාදානය’ වෙනුවෙන් කටයුතු නොකිරීම බව, ජෙහාන් පෙරේරා පෙන්වා දෙයි. ප්‍රායෝගික අරුතකින්, එහි යම් ඇත්තක් ඇති බව වෙනම කතාවකි. එහෙත් තව දුරටත් යමින්, ලංකාවේ යුද්ධය තුළ ඇති වුණා යැයි කියන යුද අපරාධත්, දැනට ලිබියාවේ ඇති වෙමින් තිබෙන යුද අපරාධත් අතර සාම්‍යත්වයක් ද ජෙහාන් පෙරේරා යෝජනා කරයි. සිය ලිපිය පුරා ඔහු සෘජුව නොකියන ගම්‍යමානය එළියට පනින්නේ ඒ අස්සෙනි. එනම්, ෂවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන ඇමරිකාව ඇතුළු බටහිර බලවේග, අද ලිබියාවේ මේ මොහොතේ සිදු කෙරෙමින් පවතින යුද අපරාධවල අනාගත චූදිතයන් බවට පත්විය හැකි නේටෝ එකමුතුවේ පතාක යෝධයන් බවයි.

මෙහි දී, රජයේ සුපුරුදු තර්කණය සහ මෙතෙක් කල් යුද්ධය වෙනුවට සාමකාමී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකුගේ පෑනෙන් ඉස්මතු විය යුතු යැයි කෙනෙකු බලාපොරොත්තුවන හේතු දැක්වීම අතර තිබිය යුතු බරපතල වෙනස, ඒ තතු යටතේ, මැකී යයි. ඒ මෙසේ ය:
‛‛සිය ගණනක් සිවිල් වැසියන් (ලිබියාවේ) සටන්වලින් සහ ගුවන් බෝම්බ ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වේ. එහෙත්, අවසාන සංග්‍රාමයට නොගොස්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කරන ලෙසට ලංකාවේ රජය වෙත (එදා) එල්ල කරන ලද බලපෑම (මෙදා) ලිබියාව සම්බන්ධයෙන් එල්ල කරන බවක් පෙනෙන්නට නැත’’ (ජෙහාන් පෙරේරා).

මේ වාක්‍යයේ අරුත් දෙකක් තිබෙන්නට පිළිවන. එක පැත්තකින්, ලංකාව සම්බන්ධයෙන් බටහිර බලවතුන් කීවා සේ, ලිබියාව සම්බන්ධයෙනුත්, යුද්ධය වෙනුවට සාකච්ඡා මාර්ගයට පිවිසෙන්නැ යි ඔවුන්ගෙන් කරන ආයාචනයක් ඉන් අදහස් කෙරෙනවා විය හැකි ය. අනිත් පැත්තෙන්, ලිබියාවේ දී අද කරන දෙය ‛නිවැරදි’ නම්, එදා ලංකාවේ කළ දෙයත් ‛නිවැරදි’ විය නොහැකි ද යන ප්‍රශ්නය බරසාරව මතු කිරීමක් ද පිළිඹිබු වෙයි. යුද්ධය අවසන් වීමට පෙර හැම දවසකම, හැම පැයකම, යුද්ධයට එරෙහිව සහ සාකච්ඡාවට පක්ෂව පෙනී සිටි ජෙහාන් පෙරේරාගේ අද අදහස වන්නේ, ඉහත කී දෙවැනි කල්පනාව බව ඔහුගේ ලිපියේ සමස්ථාර්ථය තුළ ගම්‍යමාන කෙරෙයි.

‛‛ලෝකයේ ස්ථායී පැවැත්ම රැක ගැනීම සඳහා සටන් කරන රාජ්‍ය නායකයන්ට සමහරවිට කර්කශ තේරීම් වෙත යොමු වීමට සිදුවීම නිසාම, ලංකාවේ යුද්ධය ආශ්‍රයෙන් උගත් පාඩම්වලින් බොහොමයක් ලෝකයාට කියා දීමට පුලුවන්කම තිබේ…. පැහැදිළිවම, (ලංකාවේ යුද්ධය ආශ්‍රයෙන් මතු වූ ජනප්‍රිය) ප්‍රතිචාරය වනාහී ත්‍රස්තවාදය ඉවරයක් කර දැමීමට සහයෝගය දුන් එකකි. රට කුමක් වුවත්, පොදුවේ ගත් කල මහජනතාව, අහිංසක ජීවිත අස්ථාවරත්වයට පත්කරන අයවළුන් කෙරෙහි අනුකම්පාවක් නොදක්වති. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහයෝගය දෙති.’’

දැන් මේ ඔහු අරඅඳින්නේ කුමකට දැ යි තවමත් ඔබට අපැහැදිළි ද? එසේ නම් තවත් උපුටනයක්:

‛‛අද ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ සාමාජිකයන්, හිටපු ලිබියානු නායක ගඩාෆි සහ ඉතිරි වී සිටින ඔහුගේ සහචරයන් ඉවරයක් කර දැමීමේ ප්‍රයත්නයට සහයෝගය දක්වන බව පෙනේ. ඔහු ලෝකයට තර්ජනයක් වූ බවත්, විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයෙකු වූ බවත්, මගීන් රැගත් අහස් යානා බිම හෙලූ ත්‍රස්තවාදියෙකු බවත්, කවුරුත් පිළිගනිති. එබැවින් ඔහුගෙන් නිදහස් වීමේ ආශාව කෙතෙක් ද යත්, මේ යුද්ධය තුළ කොටු වී සිටින සාමාන්‍ය සිවිල් වැසියන් මුහුණදෙන අනතුර ගැන ජාත්‍යන්තරයෙන් හඬක් නැගෙන්නේ නැත. එසේම, එම සිවිල් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගඩාෆි සමඟ සාකච්ඡාවට යා යුතු බවට කිසි ඉල්ලීමක් (එම ජාත්‍යන්තර ප්‍රජාවෙන්) පැනනැගෙන්නේ ද නැත. ලංකාවට එරෙහිව (අද) යුද අපරාධ පිළිබඳ චෝදනාව ගෙනෙන ජාත්‍යන්තර ප්‍රජා කණ්ඩායම ලිබියාවේ මේ කියන යුද්ධය තුළ බරපතලව නිමග්නව සිටිති. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්ධ (එනම්, ලංකාවේ සහ ලිබියාවේ) සම්බන්ධයෙන් දක්වන මේ වෙනස් වූ සැළකීම, (එනම්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක විදිහකටත්, ලිබියාව සම්බන්ධයෙන් තවත් විදිහකටත්) ගැන, යහපත් අනාගතයක් පතන ශ්‍රී ලාංකිකයන් විසින් මෙන්ම, මොවුන් (ජාත්‍යන්තර ප්‍රජාව) විසින් ද සලකා බැලිය යුතුව තිබේ.’’

‛යහපත් අනාගතයක් පතන ශ්‍රී ලාංකිකයෙකු’ වන ජෙහාන් පෙරේරා මේ සන්සන්දනයට හසුකර ගන්නා පුද්ගලයන් දෙන්නා කවුද? එක් කෙනෙකු වේලුපිල්ලේ ප්‍රභාකරන්, අනෙකා මුවමර් ගඩාෆි. ඒ පසුපස ඇති ඓතිහාසික භූගෝලීය අවකාශ දෙක කුමක් ද? වන්නිය සහ සර්ත් (අද වන විට කොටු කරනු ලැබ ඇති ගඩාෆිගේ උපන් නගරය). දැන් ජෙහාන් පෙරේරා මේ ඓතිහාසික මොහොත අප වෙනුවෙන් තවත් නිරවුල්ව පැහැදිළි කරයි. එය ආධ්‍යාහාරයෙන් ගත් කල මෙසේ ය: ප්‍රභාකරන් යනු ගඩාෆි වැනිම තවත් ත්‍රස්තවාදියෙකි. එම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී සිදු වී යැයි කියන යුද අපරාධ, අද ලිබියාවේ ත්‍රස්තවාදී නායකත්වය මුලිනුපුටා දැමීමේ දී සිදු වෙති යි සිතිය හැකි යුද අපරාධ සේම, නොවැලැක්විය හැකි සහ යුක්ති සහගත කළ හැකි ක්‍රියාවන්ය.

අප විශ්වාස කරන එක දෙයක් තිබේ. එනම්, මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට එරෙහිව ගොනුකර ඇති චෝදනා නිෂේධනය කිරීමේ හැකියාව ඇත්තේ, එම චෝදනාවන්ට මුහුණදී, ඒවා සදොස් බව ස්වාධීන අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමෙන් පමණක් බවයි. මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාටත්, ඔහු අතින් විපතට පත්විණැ යි පවසන වින්දිතයන්ටත් සාධාරණත්වයක් ඉෂ්ට වන්නේ ඒ ආකාරයෙන් පමණි. ලිබියාව සහ ලංකාව අතර සාදෘෂ්‍ය ගෙනහැර පෑමෙන් ජෙහාන් පෙරේරා කරන්නේ කල්තියාම එම ප්‍රවේශය බැහැර කිරීම යි. ඒ වෙනුවට, එම චෝදනා නිෂේධ කිරීමේ ඔහු දකින එකම මාර්ගය වන්නේ, යුද්ධයෙන් දිවි ගලවාගෙන උතුරු නැගෙනහිර තවමත් ඉතිරි වී සිටින දෙමළ ජනතාවගේ සේවය සඳහා කැප වීමයි. අපේ අදහස වන්නේ, රටේ සුළුතරය වෙනුවෙන් පෙනී සිටීමේ රාජ්‍යයේ වගකීම වනාහී, පුද්ගලයෙකුගේ නඩුවකට හිලව්වක් වශයෙන් කළ යුත්තක් නොව, ඓතිහාසික අවශ්‍යතාවක් සහ ජාතික අවශ්‍යතාවක් පෙරදැරිව යොමු විය යුත්තක් බවයි. කෙසේ වෙතත්, ජෙහාන් පෙරේරා පෙන්වා දෙන පරිදි, මේ කියන සේවය රජය පැත්තෙන් තවමත් හරියාකාරව ඉටු නොවෙයි. ඊට වන්දි ගෙවන්නේ, ජෙහාන් පෙරේරාට අනුව, අසරණ ෂවේන්ද්‍ර සිල්වා ය. ප්‍රශ්නය ඒ ආකාරයෙන් ගත් කල, ඕනෑම අපරාධයක්, අදාළ අපරාධයේ වින්දිතයන්ට වන්දි ගෙවීමකින් පමණක් සෝදා හැරිය හැකි බව කෙනෙකු විශ්වාස කළ යුතුය. විශේෂයෙන්ම, යුද අපරාධ චෝදනාව නැගෙන්නේ රාජ්‍යයකට එරෙහිව නම්, ඒ න්‍යාය තවත් වලංගු වෙයි. මන්ද යත්, ‛‛රටක ස්ථායී පැවැත්ම රැක ගැනීම සඳහා සටන් කරන රාජ්‍ය නායකයන්ට ගැනීමට සිදුවන කර්කශ තේරීම් හමුවේ’’, යුද්ධයක දී සිවිල් වැසියන් ඝාතනය වීම යුද අපරාධ වශයෙන් සැළකිය යුතු නැති නිසාවෙනි. ඒ, ජෙහාන් පෙරේරාගෙන් අප උගත යුතු තවත් අගනා පාඩමකි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යැයි අප හඳුනාගන්නා ප්‍රපංචය සහ ජාතික ප්‍රශ්නය යනු එකක් මිස, එකකින් අනික වෙන් කොටගත හැකිව තිබූ වෙනස් ප්‍රශ්න දෙකක් නොවුණි. දේශපාලන විසඳුම පැත්තකින් තියා යුද්ධයට ගියේ, මේ දෙක එකිනෙකින් වෙන්කොට රැගෙන, එයින් එක ප්‍රශ්නයකට, එනම් ත්‍රස්තවාදය නමින් හැඳින්වෙන ප්‍රශ්නයට දෙන ලද පිළිතුරක් වශයෙන් යැයි තවමත් සමහරු අදහති. ඔවුන්ට අනුව මෙය අදියර දෙකකින් විසඳිය යුතු පැනයක් විය. දැන් එක අදියරක් (ත්‍රස්තවාදී) අවසන් ය. දෙවැනි අදියර (දේශපාලනික) ඇරැඹීමට නියමිත ය. සාකච්ඡා පැවැත්වෙන්නේ ඒ සඳහා ය.

එහෙත් අවාසනාව වන්නේ, ත්‍රස්තවාදය පරාජය කළ කර්තෘකයා විසින්මත්, එනම් රාජ්‍යය විසින්මත්, ඵලය සහ හේතුව අතර කිසි සම්බන්ධයක් සද්භාවයෙන් විශ්වාස නොකරන නිසා මේ තර්කයේ ව්‍යාජය පහසුවෙන් ඉස්මතු වීමයි. (එය ‛පියවි ඇසට පෙනෙන්ට’ තව කාලයක් ගතවිය හැකිය). මේ කියන සාකච්ඡා සහ තේරීම් කාරක සභා අස්සේමත්, අනිත් අතට, අපට විසඳීමට තිබුණේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිස ජාතික ප්‍රශ්නයක් නොවන බව ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් විසින් මේ වන විට ප්‍රකාශයට පත්කරනු ලැබීම තුළ විටින් විට හිස ඔසවන්නේ ඒ ව්‍යාජය යි.

යුද්ධය ගැන විශ්වාසය නොතැබූ එන්.ජී.ඕ. ව්‍යාපෘතියක්, යුද්ධයේ ජයග්‍රහණය ඉදිරියේ නියාලු වීම වූ කලී, අර මා කලින් කී ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළහෙලඳාම කෙරෙහි දක්වන ආකල්පයට සමාන ආකල්පයක ගොදුරක් බවට පත්වීමෙනැ යි නිගමනය කිරීමට කෙනෙකුට සිදු වෙයි. ‛‛අපේ වෙළඳාමත් කරගෙන යාමට අවසර දෙතොත්, යුද්ධය පිළිබඳ ඉතිහාසයට අදාළ දේශපාලනික සහ ආචාර ධාර්මික අංශ කෙරෙහි ඇඟිලි නොගැසීමට අපි ප්‍රතිඥා දෙමු.’’

ගාමිණී වියන්ගොඩ