Colombo, end of the War, Featured Articles, Features

“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්


දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට් ව්‍යාපෘතිය සෙල්වම්ය. එහි අධ්‍යක්‍ෂකයා වන්නේ සංජය ලීලාරත්නය. සිනමාවක් නැති ලංකාව වැනි විකෘති සංස්කෘතික රාජ්‍යයන් වල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ලපයි සිපයි සියල්ලෝ සිනමා අධ්‍යක්‍ෂකවරුන් වීමයි. ඒ වගේම තමන්ට කුට්ටිය කඩාගැනීමට ඒ මොහොතේ තිබෙන බලඅධිකාරය හා එක්ව මෙවැනි ව්‍යාපාරවල යෙදීමයි.

සංජය ලීලාරත්න රාජපක්ෂ රේජීමය යටතේ සංස්ථා අධ්‍යක්ෂක ධූරයක් දරයි. එතැන් සිට කථාව පටන් ගැනීම මෙය “සෙල්වම්” යනු කුමක්දැයි කියවා ගැනීමට පහසුය.

සෙල්වම් හි ප්‍රධාන භූමිකාවට රඟදක්වන්නේ එල්ටීටීඊ සංවිධානයේ සිටි හමුදා අත්අඩංගුවට පත්වූ ශාන්තිලිංගම් ගෝකූලන් සහෝදරයාය. ශාන්තිලිංගම්, සංජයට ලබාදෙන්නේ ලංකාවේ සර්වබලධාරී ලේකම්වරයා හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. ශාන්තිලිංගම් පුනරුත්තාපනය සඳහා පුනරුත්තාපන කඳවුරකට යොමු කරන අතර එහි මසක් ඉක්ම යන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත එහි හමුදා නිළධාරීන් විසින් ඔහුව සංජය ලීලාරත්නට බාරකරයි.

සංජය ලීලාරත්නට ගෝඨාභයගෙන් ලැබෙන නියෝගය වන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයා විසින්ම එල්ටීටීඊ අරගළය දැඩි ලෙස විවේචනය කරන පරිද හා ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාව ඉතාම ඉහළින් උත්කර්ෂයට ගෙනෙන ලෙස එම චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන ලෙසයි. සෙල්වම් බිහිවන්නේ ඒ හරහාය. චිත්‍රපටය තුළ දී දර්ශණ ගණනාවක් තුළ එල්ටීටීඊ ය දැඩිලෙස විවේචනය කරන්නේ අදාළ නියෝගයන්ට අනුවය. ඒ අනුවම මෙය ලංකාවේ නව මහින්ද චින්තන සිනමාවේ දිගපළල සළකුණු කරයි. මිලිටරියට අවශ්‍ය ලෙස තිරනාටක සකසමින්, එය උත්කර්ෂයට නැගෙන ලෙස හා අදාළ දේශපාලන ව්‍යාපෘතියට සේවය කරන ලෙස නිර්මාණය අධ්‍යක්‍ෂණය කිරීමයි.

මෙම සිනමා පටය රූගත කිරීමේදී ශාන්තිලිංගම් ගෝකූලන් තරුණයා දැඩි ආරක්ෂක රැකවල් මැද රූගත කිරීම් සිදුකළ අතර ඔහුට අතිශයින් තහනම් නියෝග කිපයක් පනවා තිබුණි.

– කිසිදු විටෙක අධ්‍යක්‍ෂකගේ අනුදැනුමකින් තොරව කිසිඳු බාහිර පුද්ගලයන් හමුවීම සපුරා තහනම්ය.
– අධ්‍යක්‍ෂක විසින් සකසා දෙන පිළිතුරුවලට අමතර තමන්ගේ ස්ව්‍යං මතයක් ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.
– රූගත වන හා තිරගත වන කාලසීමාව තුළදී කිසිලෙසකින් තමන්ගේ පවුලේ අය සමඟ හෝ අන්කිසිවෙක් සමඟ සම්බන්ධතා සපුරා තහනම්ය.

මේ ඔහුවෙත පනවා තිබූ රෙගුලාසිවලින් කිහිපයක් පමණි. දැන් මේ මොහොත වන විටත් ශාන්තිලිංගම් කොළඹ රඳවාගෙන සිටින අතර ඔහුට තම ගම වන යාපනයට යෑමට දැඩි උවමනාවකින් පසු වුවත් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත සංජය ලීලාරත්න විසින් එයට කිසිදු ඉඩක් දෙන්නේ නැත.

තවත් අමන ක්‍රියාවක්වන්නේ සංජය විසින් තමන්ගේ පොරත්වය පෙන්වීම සඳහා යන යන තැන්වලිදී ශාන්තිලිංගම් හඳුන්වාදෙන ආකාරය ඒ ලෙසම මෙහි සටහන් තබන්නෙමි.

“මම තමයි ලෝකයේ එකම අධ්‍යක්ෂකවරයා ත්‍රස්තවාදියෙක්ව නළුවෙක් කරපු. ඒත් මූ තාම කොටියා. මූ කැමති තාම ඒවා ගැන කථාකරන්න” ද්විජාතික සංහිදියාව වෙනුවෙන් සිනමා භාවිතයක යෙදෙනවායැයි කියනා පුද්ගලයන් නිරුවත් වන්නේ එලෙසිනි.

ඊට අමතරව යොදාගනිමින් “ඔව්, මම කොටියෙක් තමයි” යනුවෙන් ඊට යටින් ශාන්තිලිංගම්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ප්‍රචාරණ පෝස්ටරයක් ඔහුටත් රහසින් මුද්‍රණය කර තිබියදී ඔහු විසින් එය අහම්බෙන් දැක ඇති අතර එහිදී ඔහු එයට තම විරෝධතාවය ප්‍රකාශ කිරීමෙදී සංජය ලීලාරත්න අවසානයේ ප්‍රකාශකර ඇත්තේ උඹ වැඩිය දැගලන්න හදන්න එපා. වෙඩි… මර….දානවා යනුවෙනි. ගෝඨාභයගේ බලය ඔහු පාවිච්චිකරමින් ඔහු එසේ පවසා ඇත.

සෙල්වම් සඳහා මැලේසියාවේදී සම්මානයක් හිමිවූ බවට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදුන්නද එම සම්මාන උළෙල ගෝඨාභය රාපක්‍ෂගේ අනුදැනුම සහ මූල්‍ය උපකාර මත එහි සිටින ඔවුන්ට හිතැති පිරිසක් විසින් සංවිධානය කළ එකක් බව දැන් හෙළිවී ඇත.

මෙහි පූර්ව ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස යාපනය අවට තැනූ පසුතල යොදාගනිමින් ජනජීවිතය මවාපාන වාර්ථාමය වීඩියෝවක් මේ වන විටත් සංජය ලීලාරත්නගේ අනුදැනුම මත එක්තරා දැන්වීම ආයතනයක් තුළ නිර්මාණය වෙමින් පවතී.

ආසියාවේ අශ්චර්යමත් සිනමාකරුවන්ගේ වතගොත එලෙසය.

ප.ලි.

දමිළ ජනයා ආයුධ අතට ගෙන තම අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් දියත් කරන්නට සිදුවූයේ කොහේවත් ඔවුනට තිබූ කැසිල්ලකට නොව මහජාතිය ඉතිහාසය පුරා ඔවුන්ව පාවිච්චි කිරීම් සහ රැවැට්ටීම්වල ප්‍රතිඵලයක් ලෙසය. නැවත නැවත සිදුවන්නේද එය පමණක්ම මිස සංහිදියාවක මාවතක් ලෙස ප්‍රවිෂ්ඨ වීමේ මාවතක සළකුණක්වත් නොපෙනේ.

සටහන
නිර්මාල් ඒකනායක

විශේෂ පසු සටහන

මෙම ලිපිය පෝස්ට් කරන වේලාව වන විට කොළඹින් පිට ඇතැම් ප්‍රදේශවල සෙල්වම් චිත්‍රපටයට අදලා ඉහත කී පෝස්ටරය අලවා ඇති බව වාර්තා විය.