සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

”යටත්වැසියෝ නොවී පුරවැසියෝ වෙමු” – පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

“තමාට රාජ්‍ය බලය ලබා ගැනීමට ගතින් සහ සිතින් උදව් කළ කුවේණියව, තමාට දාව උපන් දරු දෙදෙනාත් සමග රජමාලිගයෙන් පිටකිරීමෙන්, විජය රජ්ජුරුවො මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන්ගත්තා. ඊට පස්සේ මේ එලියට බැහැපු කුවේණිය, උඹගෙ රාජ්‍යයට කෙලවෙයං කියලා සාපයක් කළාලු. ඊට පස්සෙ විජය රජ්ජුරුවන්ට දාව උපන් දරුවො දෙන්නා එලියට ඇවිත් එකට එකතු වෙලා සිංහල ජාතිය පටන් ගන්නවා. ව්‍යාභිචාරී විවාහයක් කරගන්නවා. ලේ ජාතීන් සමග රමණය කිරීමෙන් උපදින්නේ මොංගල් අය. ඒක දැන් කාලයක් තිස්සෙ ඇවිල්ලා අද වෙන කොට මේ මොංගල්කම ශාරීරිකව පේන්නෙ නැහැ. කරන වැඩ වලින් තමයි ඒක පේන්නෙ.”

දේශපාලන ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට, වෙබ් අඩවි තහනමට එරෙහිව, තොරතුරු ලබා ගැනීමේ අයිතිය දිනාගැනීමට; පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධාන විසින් ඊයේ(18) කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී සංවිධානය කළ ‛යටත් වැසියන් නොවී පුරවැසියන් වෙමු’ මහජන සම්මන්ත්‍රණයට සහභාගී වූ ප්‍රවිණ කලාකරු ඩබ්ලිව්.ජයසිරි විසින් වත්මන් ලාංකීය දේශපාලන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් දැක්වීය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඩබ්ලිව්.ජයසිරි, “1977 ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ ජයග්‍රහණයෙන් පස්සෙ ගණිකා මඩම්කාරයො, තැබෑරුම්කාරයො, කළු සල්ලි හොයන මිනිස්සු වගේ සමාජ ස්ථරයක් හැදුනා. මේ සම්බන්ධයෙන් වර්තමාන එක්සත් ජාතික පක්ෂය ස්වයං විවේචනයක් කරන්න ඕනෙ. ඒක අද වෙන කොට ක්‍රමාණුකූලව වැඩිවෙලා තියෙනවා. අපේ රටේ හැම දේශපාලඥයාම, හැම කලාකාරයාම කතාකරන්න පටන්ගත්තොත් කියන්නෙ මහජනතාව බුද්ධිමත් කියලා. මහජනතාව බුද්ධිමත් නැහැ. ඒ මහජනතාවගෙන් කෙනෙක් තමයි මං. මං මේකට අනුගත වෙලා ඉන්නවා. මම මේකට සටන් කරන්නෙ නැහැ.”

ලංකාවේ අධිකරණයේ අතිශය පහත් දේශපාලනීයකරණයත් ඒ තුළින් පුරවැසියාට අවසානයේ නීතියේ පිහිටත් නොලැබී යාමේ තත්ත්වයත් පෙන්වා දෙමින්, මෙම අවස්ථාවට සහභාගී වූ මාදුළුවාවේ සෝහිත හිමි විසින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.

“අධිකරණය ඉතාම පහත් විදිහට දේශපාලනීයකරණය වෙලා නම් අපට යුක්තිය සොයාගෙන කොහාටද යන්න තියෙන්නෙ? යුක්තිය සොයාගෙන අපට යන්නට තැනක් නැහැ. අප දන්නවා මේ රටේ පුංචි ළමයි දූෂණය කරනවා. කාන්තාවන් දූෂණය කරනවා. දැන් නීතිය දූෂණය කරනවා. මිනීමැරුම් නඩුවක් විභාග වෙමින් යද්දි ඒ නඩුව ඉල්ලා අස්කරගන්නවා. ඒ වගේම ස්ත්‍රී දූෂණ සඳහා ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය නිදහස ලබලා යනවා. චෝදනා නැති අයට අළුතින් චෝදනා පවරනවා. මේකයි නීතිය. එබඳු රටක අප ජීවත් වෙන කොට අපට පුරවැසියන් විදිහට යුතුකමක් තියෙනවා අපට අවසානයට යන්න තියෙන අධිකරණය කෙලෙසන්න එපා කියලා කියන්න. අධිකරණය කියන්නෙ ස්වාධීන ආයතනයක්. රටක විධායකයකට, රටේ ශ්‍රේෂ්ඨාධීකරණය පත් කරන්න මුළුමණින්ම බලය දුන්නොත් අපි කොහොමද ඒකෙ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්නෙ. පක්ෂ,ජාති, ආගම් භේදවලින් තොරව නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි හඬක් නගන්න ඕනෙ. නැතිනම් ඉතින් කවුරු මොනව කිව්වත් නීතිය අපේ අතට නොගෙන වෙන මොනව කරන්නද? ඉස්සර කොන්ත්‍රාත් ගත්තෙ පාතාලෙ සාමජිකයොනෙ. දැන් හමුදාවත් කොන්ත්‍රාත් ගන්නවා. පොලීසියත් කොනත්‍රාත් ගන්නවා. පොලීසියේ ස්වාධීනත්වයක් නැහැ. ඒ අයත් දේශපාලනීයකරණය වෙලා. ආණ්ඩුවට විරුද්ධ අයෙක්ගෙ චෝදනාවක් පොලීසිය භාර ගන්නෙ නැහැ. පොලීසියත් එහෙමයි. නීතියත් එහෙමයි. මේ සෑම තැනකම දකින්න තියෙන තත්ත්වය අනුව අපි ඔක්කොම අද යටත්වැසියො වෙලා ඉවරයි.”

මෙම අවස්ථාවට සහභාගී වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය, සාහිත්‍යවේදී, ආචාර්ය ලියනගේ අමරකීර්ති තම අදහස් මෙලෙස ඉදිරිපත් කළේය.
“මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ? අපේ යටත්විජිත ඉතිහාසය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස අපට ඉදිරිපත් කරලා තියෙන්නෙ යටත්විජිත සන්දර්භය තුළ. ඒ නිසා අපට ඒක ලැබෙන කොටම එහි මදය සෑහෙන්න තරම් අඩුවෙලා තිබුණෙ. ශිෂ්ටාචාරය අපට අරගෙන එනවා කියන බ්‍රිතාන්‍යයින් 1818 කැරැල්ලෙදි සිදුකරපු ඝාතන, කැරැල්ලට පසුබිම සකසන්න පනවපු බදු මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. අද මහින්ද රාජපක්ෂ විදිහට හරි මේ රාජ්‍ය විදිහට හරි ප්‍රකාශයට පත්වෙන්නෙ අහම්බයක් නෙමෙයි. දිගුවක්. විකාශනයක්. මේක අපි ඓතිහාසිකව වටහාගන්න අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ආරක්ෂා කරගැනීම සඳහා අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කල යුතු දෙයක් තමයි තොරතුරු දැනගැනීමේ නිදහස. මේ දෙක එකිනෙක පෝෂණය වෙන දෙකක්.”

තවදුරටත් අදහස් දැක් වූ ලියනගේ අමරකීර්ති,
“විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට නායකත්ව පුහුණුවක් දෙන්න මිලියන ගණන් මුදල් වියදම් කළා. අපෙන් ඇහුවද? නෑ. සංවාදයට ලක් කලාද? නෑ. මිහින් එයාර් ගැන සංවාදයට ලක් කලාද? නෑ. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල හම්බන්තොටම තියෙන්න ඕනෙ ඇයි කියලා අපි එක්ක සංවාද ඇති කළාද? නෑ. මේක දිගින් දිගටම සිදුවෙලා තියෙනවා. ජේ.ආර් මහත්තයා කඩිනම් මහවැලිය ගැන අපෙන් ඇහුවද? නෑ. ජේවීපී එක තහනම් කරන්න අපෙන් ඇහුවද? නෑ. සංවාද කළාද? නෑ. අවසානයේ ශෝකජනකයක් අපි හොඳටම දැක්කා.”

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී වැලිඅමුණ,නීතිඥ ලාල් විජේනායක, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මෙම අවස්ථවේදී සිය අදහස් දක්වන ලදී.