සිංහල, Colombo, Democracy, Governance, Media

කලාවක් නැති රටකට නෙළුම් පොකුණක් මොකටද?

[Pic by – Dhammika Heenpella / Images of Sri Lanka]

‛දැන් දැන් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබෙයි’ මෙසේ කීවේ පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ නිළධාරියෙකි. එසේ කීවාට වේදිකාවට වසන්තය නම් උදා වූයේ නැත. වසන්තය වෙනුවට ජෝන් ද සිල්වා රඟහලේ වේදිකාවට ආවේ වර්ෂාවයි. එැබවින් ගියවර රාජ්‍ය නාට්‍ය උළෙල වැස්සට සේදී ගියේය. වර්ෂාව අධික වූ එම කාලයේ නාට්‍ය දර්ශනය හොඳින් පෙනෙන ආසනයක් සොයා ගන්නවාට වඩා නොතෙමන ආසනයක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මූලික විය. ප්‍රේක්ෂකයා මුහුණ දුන් මූලිකම අභියෝගය වූයේ රඟහලේ වහලයට ඇද හැලෙන වර්ෂාවේ ඝෝෂාවෙන් නළුවන්ගේ දෙබස් තෝරා බේරා ගැනීමයි. අවසානයේ අපහැදිලි දෙබස් සහිත නාට්‍යයක් නරඹා ජෝන් ද සිල්වාට ඔරවමින් ප්‍රේක්ෂකයෝ විසිර ගියහ. ප්‍රේක්ෂකයන් අතලොස්සක් මැද වේදිකාගත වූ එක් ද්‍රවිඩ නාට්‍යයක දෙබස් කිසිවක් ශ්‍රවණයට වර්ෂාවේ ඝෝෂාව ඉඩ නොදුන් අතර, වැසිදියෙන් බේරීමට විටින් විට ආසන මාරු කිරීමට ප්‍රේක්ෂකයාට සිදු විය. වර්ෂාව නිසා සමහර නාට්‍ය දර්ශන කල් දමන්නටත්, විදුලි ඇණ හිටීම් නිසා කඩින් කඩ සමහර නාට්‍යය නතර කිරීමටත් සිදු විය. දොරවල් වලින්, වා කවුළු වලින් ගලා ආ වැසි වතුරෙන් ජෝන් ද සිල්වා රඟහල දෝර ගැලීය. නළුවන් විසින් වර්ෂාවේ ඝෝෂාව තුළ ප්‍රේක්ෂකයාට දෙබස් ඇසෙන්නට කෑගැසූ නිසාවෙන් හැඟීම් වලින් තොර රංගනයක් වේදිකාව තුළ ඉතිරි විය. අවසානයේ වර්ෂාව විසින් ජෝන් ද සිල්වා රඟහල පොකුණක් බවටත්, හැඟීම් විරහිතව කෑගැසූ නළුවන් මැඩියන් බවටත් පත් කර තිබිණ.

රාජ්‍ය නාට්‍ය උළෙල, ජෝන් ද සිල්වා එකේ පමණක් පෙන්වීමේ පුරුද්දට පිටු පෑමට ඇති අකමැත්ත නිසා මෙවරත් නාට්‍ය උළෙල ජෝන් ද සිල්වා රඟහලේ පැවැත්වීමට තීරණය කර ඇත. ප්‍රේක්ෂකයාද පුරුද්දට මෙන් මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල නැරඹීමට ජෝන් ද සිල්වා එකට ගොඩ වෙයි. නාට්‍යකරුවාද පුරුද්දට මෙන් ජෝන් ද සිල්වා එකේ නාට්‍යය පෙන්වයි. සමහර විට මෙවර වහින්නේ නැති නිසා ජෝන් ද සිල්වා රඟහල ප්‍රශ්නයක් නොවන බවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සිතනවා ඇත. නමුත් ගැටළුව වන්නේ ජෝන් ද සිල්වා රඟහල වැස්සත්, නොවැස්සත් නාට්‍යයක් පෙන්වීමට තරම් යෝග්‍ය තත්ත්වයක පවතිනවාද යන්නයි. වේදිකාවක ඇතිවන ඉතා සියුම් ශබ්දයක් පවා සමස්ත ප්‍රේක්ෂකාගාරයටම ශ්‍රවණය වීම, පිටතින් රඟහල තුළට ශබ්දය ගලා ඒම වැලකීම, නවීන ආලෝකරණ පද්ධතියක් තිබීම, අංගසම්පූර්ණ නේපථ්‍යාගාරයකින් සමන්විත වීම නාට්‍යය දර්ශනයකට අත්‍යවශ්‍යය තත්ත්වයන් අතර කිහිපයකි. නමුත් මෙම තත්ත්වයන් අර්ධ වශයෙන් හෝ ජෝන් ද සිල්වා රඟහල සපුරා නොමැති බව නාට්‍යකරුවන්, ප්‍රේක්ෂකයන් සහ එමෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවා දනිති. නමුත් මේ සියල්ලෝම වතාවතකට සහභාගී වනවා මෙන් අවුරුදු පතා ජෝන් ද සිල්වා රඟහල වන්දනාවේ යති. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන නාට්‍ය උළෙලක් හැර අන් කිසිදු නාට්‍ය දර්ශනයක් මෙම රඟහලේ වේදිකාගත නොවීම මෙම රඟහලේ ගුණාත්මකභාවයට හොඳම නිදසුනකි.

එදා කීවාක් මෙන් වේදිකාවට වසන්තය උදාවන බව මේ මෑතක සිට පෙනෙන්නට ගත්තේය. ඒ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, සමාවන්න නෙළුම් පොකුණ මාවතේ ජාතික රංග ශාලාවක් ඉදිවීමත් සමගයි. එය එසේ මෙසේ රඟහලක් නොව ඕස්ට්‍රේලියාවේ ඔපෙරා හවුස් එකට පවා නොදෙවෙනි නෙළුම් පොකුණකි. සිරිපොද වැස්සකට පවා පොකුණක් බවට පත් වන ජෝන් ද සිල්වා රඟහල සමග සසඳන කල ලෝක විනාශය දක්වා වැස්සත් රඟහල තුළ සිටින්නෙකුට නොදැනෙන තරමට විස්මිත වූ නිර්මාණයකි. වේදිකාව ඉහළ පහල යෑම, අති නවීන ආලෝකකරණ පද්ධතිය, සැප පහසු ආසන ආදී විවිධ වූ පහසුකම් වලින් සමන්විත නෙළුම් පොකුණ දුටු විට ජෝන් ද සිල්වා රඟහලේ තිබෙන්නේ සියවස් ගණනාවක් පසුපසින් බව වැටහෙයි. ඉතින් අප දැන් එවන් වූ ජාතික රඟහලක උරුමකරුවෝ වන්නෙමු. ඔව් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබේ.

නමුත් ශෝකජනක කාරණය වන්නේ මෙතරම් සශ්‍රීක ජාතික රඟහලක් උරුම අපගේ ජාතික නාට්‍ය උළෙල ජෝන් ද සිල්වා රඟහල තුළ තවමත් පණ ඇදීමයි. දෛවයේ සරදම නම් ජෝන් ද සිල්වා රඟහලට ගමන් කරන මාර්ගයේම නෙළුම් පොකුණ හමු වීමයි. ඉතින් අපි නෙළුම් පොකුණ වෙත කෑදර බැලුම් හෙලමින් ජෝන් ද සිල්වා එක දෙසට පිය මනින්නෙමු. ජෝන් ද සිල්වා එකේ නාට්‍යය ආරම්භ වන තෙක් නෙළුම් පොකුණ දෙස කුතුහලයෙන් බලා ඉන්නෙමු. ජෝන් ද සිල්වා එකේ මිදුලට වී නෙළුම් පොකුණේ සශ්‍රීකත්වය ගැන එකිනෙකාගේ ඉරිසියාව හුවමාරු කරගන්නෙමු. තෙවන සීනුව නාද වන විට අකමැත්තෙන් ජෝන් ද සිල්වා රඟහල තුළට ගාල් වන්නෙමු. නාට්‍යය නරඹන අතර ජෝන් ද සිල්වා එකේ වේදිකාව ඉහළ පහළ යන හැටි හීන මවන්නෙමු. එය එසේ නොවන කළ ජෝන් ද සිල්වා රඟහලට වෛර කරන්නටත්, නෙළුම් පොකුණට ඉරිසියා කරන්නටත් පටන් ගන්නෙමු. අසල්වාසීන්ට පේන්නට කාර් එකක් ගෙන තෙල් ගහන්නට සල්ලි නොමැති නිසා කාර් එක ගෙදර දමා බස් එකේ යන පුද්ගලයෙක්ගේ තත්ත්වයට අද අප පත් වී ඇත.

කලාව සම්බන්ධයෙන් කෙහෙල් මල් න්‍යාය

කෙසෙල් කැන බිහිවන්නේ කෙසෙල් ගස මරාගෙනය. මේ ආකාරයට අද නෙළුම් පොකුණ බිහි වී ඇත්තේ ලංකාවේ පණ අදිමින් තිබෙන කලාවේ ගෙල තවදුරටත් සිර කරමිනි. නෙළුම් පොකුණ රඟහලක් නොව රඟහලක හැඩයට සැක සූ තවත් ව්‍යාපාරික ආයතනයක් පමණි. කොළඹ කොටුවේ තිබෙන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සහ නෙළුම් පොකුණේ ඇති වෙනස ඇත්තේ ඒවායේ හැඩයේ පමණි. ජාතික රඟහල තුළ ලාභය තර කරන විවිධ ප්‍රසංග වලට පමණක් දොරවල් ඇරෙද්දී අලාභය පමණක් උරුම වූ නාට්‍යකලාව ජෝන් ද සිල්වා රඟහල තූළ අවසන් හුස්ම පොද හෙලන්නට ආසන්නයේ සිටියි. ලාභ නොලබන නාට්‍ය කලාව ජෝන් ද සිල්වා තුළට ගාල් කර වර්ෂාවට සේදී යන්නට ඉඩ හරින අතර ලාභ ලබන විවිධ ප්‍රසංග වල පැවැත්ම නෙළුම් පොකූණට දමා ආරක්ෂා කරයි.

වණික් ක්‍රමයේ අවශ්‍යතාවයට අනුව කලා කෘති බිහි නොවීම පෙරදිග කලාවේ සුවිශේෂීත්වය බව ආනන්ද කුමාරස්වාමි වරක් පැවසීය. නමුත් අද කලාව පමණක් නොව පෙරදිග කලාවේ සුවිශේෂීත්වය මතු කළ ඒ ප්‍රාඥයාද වණික් ක්‍රමය විසින් ගිල ගෙන ඇත්තේ එතුමාගේ නම සඳහන් මාර්ගය පවා වෙනස් කරමිනි. කලාවට කෙසේ වෙතත් වෙළඳාමට වසන්තය උදාවෙමින් පවතින මෙම තත්ත්වය තුළින් අපට මතක් කර දෙන්නේ කලාව මරා නෙළුම් පොකුණ බිහි වීම හෙවත් කෙහෙල් ගස මරාගෙන කෙසෙල් මල බිහි වීම හෙවත් කලාව සම්බන්ධයෙන් කෙහෙල් මල් න්‍යායයි. ඉතින් කලාවක් නැති රටකට නෙළුම් පොකුණක් මොකටද?