Colombo, end of the War, Featured Articles, Features

අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ


මහාචාර්ය සිත්තම්පලම් මැතිතුමණි, රායප්පා ජෝශප් බිෂොප්තුමණි,
අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ.

ITAK පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් මහතා තිනකුරන් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජනයාගේ ස්වයං නිර්නය අයිතිය දෙමළ ඩයස්පොරාවේ මිත්‍යාවක් නොවන බවත් එය දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවටත් තර්ක කරමින් පසුගියදා ලිපියක් ලියා තිබුණි. එසේම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙමළ සිවිල් සමාජයේ නියෝජිතයන් පිරිසක් ප්‍රසිද්ධ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජනතාව ජාතියක් ලෙස පිළිගනිමින් ස්වයං නිර්ණය අයිතියට ඇති අයිතිය පිළිගත යුතු බවයි. එකී පිළිගැනීම මත දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්ට දේශපාලනික විසඳුම් සොයා ගත යුතු බවයි. ඒ මත පමණක් ප්‍රතිසංධානය(Reconciliation) දිවයින තුල ඇති කළ හැකි බවයි. එකී පසුබිම තුල 13 වන සංශෝදනය පදනම් වන පළාත් සභා ක්‍රමය පිළිගැනීම හා එකී පළාත් සභා ක්‍රමය උතුරේ පිහිටුවීම සඳහා 2012 වර්ෂයේ පැවැත්වෙන ඡන්දයTNA පක්‍ෂය වර්ජනය කළ යුතු බවයි.

උතුරේ දේශපාලන සංවාදයට දශක දෙකකට අධික කාලයක් තිස්සේ සහභාගී වුවකු ලෙස, මෙකී ප්‍රකාශ දෙකහිම පවතින හරය තේරුම් ගැනීම අපහසු නොවේ. සිංහල වහරේ ජනප්‍රිය පිරුළක් වන්නේ ‛‛මේ කොයි යන්නේ රයිගම් යන්නේ’’ යනුවෙනි. අවුරුදු 30 ක යුද්ධයෙන් විනාශ වූ ජාතීන් දෙකක් ලෙස තවමත් අප දෙපාර්ශවයටම සිංහල ජාතික වාදයෙන් හා දෙමළ ජාතිකවාදයෙන් මිදී අලුත් මාවතක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව දකුණෙන් මෙන්ම උතුරෙන් ඇසෙන දේශපාලන සංවාදය මනා ලෙස අපට පසක් කරනු ලබයි. දකුණේ ජීවත්වන පුද්ගලයකු ලෙස යුද්ධයෙන් අබමල් රේණුවක ගැහැටක් නොවුනු පුද්ගලයකු ලෙස මෙලෙස ප්‍රකාශ කිරීම පහසුය. දකුණේ මෙන්ම උතුරේ ද යුද්ධයේ කුරිරු ප්‍රතිවිපාක අත්විඳින්නට ලැබුණු පුද්ගලයකුට මෙලෙස පහසුවෙන් වෙනත් මාවතක් පිළිබඳව කතා කරන්නට නොහැකි බවද මා දනිමි. එසේම දශක 6 කට වැඩි කාලයක් තිස්සේ පීඩනයට, හිරිහැරයට, අගතියට පත්වූ දෙමළ සමාජයෙන් වෙනස් ලෙස සිතන්නට යයි අයාචනය කිරීමට හැර ඒ පිළිබඳව වාද කිරීමට අයිතියක් නොමැති බවද මා හොඳින් දන්නෙමු. නමුත් කොතරම් කර්කෂක වූවද මෙම සංවාදය දෙමළ සමාජය සමග සිදුකළ යුතුව තිබේ.

සිත්තම්පලම් මහාචාර්යතුමන්ගේ විශ්ලේෂණය හා රායප්පා ජෝශප් බිෂොප්තුමන් ඇතුළු දෙමළ විද්වතුන් දේශපාලනික භාෂාවෙන් පවසන්නේ කුමක්ද යන්න අපට වැටහේ. නමුත් එසේ යෝජනා කරනු ලබන මාර්ගය අවසානයේ අප සියල්ලන්ම ගෙන ගොස් ඇත්තේ විනාශයේ අභිමුඛයට බව තේරුම් ගැනීමට ඉඩක් නැත්තේ ඇයිද යන්න අප සාකච්ඡා නොකල යුතුද? අප දේශපාලනය හා ජාතික අභිමානයේ නාමයේ ක්‍රියා කල යුත්තේ ජපානයේ හිටපු අන්තවාදී ආගමික නායකයකු වූ සෝකෝ අසහාරා මෙන් ස්වයං විනාශයකට පමණක්ද? මෙම කලාපයේ භූ දේශපාලනික (Geo – Politics) තම ජාතික අභිමානය අරුත් ගැන්වීමේ දී නොසැලකිය යුතුද? එසේම අද ලෝක දේශපාලන සමාජය නිර්මාණය වී ඇති ජාතික රාජ්‍යය සමාජ(Nation State Club) සංකල්පය පිළිබඳ වැටහීමක් ලබාගැනීමට උත්සාහ කිරීම පාඩුවක්ද?

ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ ජාත්‍යන්තර නීතියේ හා ජාත්‍යන්තර සබඳතා (International law of International Relations) නිරුක්තීන් පිළිබඳ ප්‍රායෝගික වැටහීමක්, මෙලෙස දෙමළ ජාතියේ ස්වයං නිර්ණය අයිතිය අරුත් ගැන්වීමේදී සැලකිල්ලට ගනු ලැබුයේද යන ප්‍රශ්නය අපට මූලිකවම අසන්නට සිදුවේ. එසේම එසේ අසන්නේ මෙකී උදාර පුද්ගලයින්ගේ මතය පරාජය කිරීමේ අරමුණින් නොව මෙකී සංවාදය ඉදිරියට ගෙන යාමේ අරමුණිනි. එම සංවාදයට ප්‍රවිශ්ඨ වීමේදී පළමුව ප්‍රස්තුත විවාදිත කරුණ පිළිබඳ මාගේ මතය මෙසේ ඉදිරිපත් කරමි. මා පැහැදිලිව දෙමළ ජාතියක් ශ්‍රී ලංකාවේ සිටින බවත්, එකී ජාතියට ස්වයං නිර්ණය අයිතිය පවතින බවත්, විශ්වාස කරන්නෙකි. නමුත් එසේ පවතින අයිතිය යනු මහාචාර්ය සිත්තප්පලම් මහතා තර්ක කරන ස්වයං නිර්නය අයිතිය හෝ රායප්පා ජෝශප් බිෂොප්තුමන් ඇතුළු දෙමළ විද්වතුන් ව්‍යංගයෙන් ප්‍රකාශ කරන අරුත් දැක්වීමට වෙනස් මතයක් දරන බවත් මෙහිලා ප්‍රකාශ කරමු.

මාගේ දැනීම අරුත් දක්වන්නේ මාක්ස්වාදී අර්ථයෙනි. මාක්ස්වාදී අර්ථය තුල පවා ස්වයං නිර්ණය අයිතිය සඳහා එකම මතයක් නොතිබුනා මෙන්ම 20 වන ශත වර්ෂය තුල ස්වයං නිර්ණය අයිතිය වෙනස් සන්දර්භයන් තුල (context) වෙනස් අර්ථයන් භාවිතා කල බව දේශපාලන විද්‍යාවේ සාහිත්‍යය අපට මනා ලෙස පෙන්නුම් කරයි. ඒ නිසාම ස්වයං නිර්ණය අයිතිය පැහැදිලි ලෙසම සාපේක්‍ෂ, සම්මුති බද්ධ සංකල්පයක් මිස (Relative of Consensus driven) පරම සංකල්පයක්(absolute concept) නොවේ. ඒ නිසාම අපට එකී සංකල්පය ප්‍රායෝගික ලෙස, නම්‍ය ලෙස (Pragmatic of flexible) භාවිතා කිරීමේ හැකියාව පවතී. මා එලෙස පවසන්නේ ජාතියක අභිමානය සුරකිමින්ම වෙන් නොවී එකට ජීවත් විය හැකි දේශපාලනික සමාජයක් බිහි කිරීමේ අර්ථයෙනි. අද බොහෝ දෙනෙකු මාක්ස්වාදය අමතක කර දමා ඇති පසුබිමක් තුල, ස්වයං නිර්ණය අයිතිය මාක්ස් හරහා කතා කිරීම අපහසු වන්නට පිලිවන. නමුත් මාක්ස්ට අනුව ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගලයි. ඒ නිසාම සෝවියට් කඳවුරේ රටවල ආභාෂය මත 20 සියවසේ මැද භාගයේදී එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තුලත්, එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පළමු වගන්තිය ලෙස නම් කෙරුණේ ජනතාවගේ ස්වයං නිර්ණය පිළිබඳ අයිතියයි.(Peoples right of Self Determination) එයට පැහැදිලි හේතුවක් තිබුණේ මාක්ස්වාදය තුලත් ජාතීන්ගේ ස්වයං නිර්නය අයිතිය හා වෙන්වී යාමේ අයිතිය පිළිබඳ ඒකමිතියක් නොතිබීමයි. ආරම්භයේදීම අයර්ලන්ත ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය සමග වෙන්වීමේ අයිතිය ගැට නොගැසිය යුතුයයි පැවසු මාක්ස් පසුව එය වෙනස් කොට ගෙන ස්වයං නිර්ණය අයිතියත් වෙන්වීමේ අයිතියත් එකට ගැට ගසනු ලැබුයේය. නමුත් මාක්ස් කියවන කල ඔහුගේ මෙම අර්ථ දැක්වීමේ හේතු හා පසුබිම තේරුම් ගැනීම ඉතා වැදගත්වේ. බොහෝ මාක්ස් වාදීන් මෙය දේව වාක්‍යක් ලෙස තවමත් සලකති. නමුත් ලෙනින් පින්ලන්තය හා ස්වීඩනයට අදාලව ස්වයං නිර්ණය අයිතිය හා වෙන්වීමේ අයිතිය අර්ථ දැක්වීමේදී ද, ස්ටාලින් යුක්රේනය අරබයා ද වෙනස් මතයක් මේ පිළිබබඳව දැක්වූයේය. මාක්ස්වාදී අර්ථයෙන් බැහැරව ඉන්පසු ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිබඳව අදහසක් මතු කලේ ෂ වන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකානු ජනාධිපති වරයකු වූ වුඩ්රෝ විල්සන් ජාතික රාජ්‍ය සංකල්පය හඳුන්වා දෙමිනි. ඉන්පසුව ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ සාකච්ඡාව මතුවූයේ අධිරාජ්‍යවාදී විය ගසින් මිදීමට ජාතීන් සතු අයිතිය අනුසාරයෙනි.

කෙසේ වෙතත් මේ තාක් ඉදිරිපත් කල ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ හා වෙන්වීමේ අයිතිය පිළිබඳ එකිනෙකට පරස්පර අර්ථ දැක්වීම සෝවියට් දේශයෙන්, බොල්ටික් රාජ්‍යය එනම් ලිතුවේනියාව, මස්ටෝනියාව හා මෝල්ඩෝමියාව වෙන්වීමට අදාලව ජාත්‍යන්තර අධිකරණය විසින් ලබාදුන් තීන්දුව විසින් හා කැනඩාව හා එහි ප්‍රංශ කතා කරන ප්‍රාන්තයක් වන ක්ව්බෙක් ජනතාවට ස්වයං නිර්ණයට ඇති අයිතිය හා ඒ තුලින් ජනමත විචාරනයක් හරහා වෙන්වීමට ඇති අයිතිය නිර්වචනය කරමින් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු විසින් ස්වයං නිර්ණය අයිතිය හා වෙන්වීමේ අයිතිය පිළිබඳ පැහැදිලි අරුත් විවරණ ලබාදී තිබේ. එකී අර්ථ දැක්වීම අනුව යමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යයචාර්ය ජාතියේ අභ්‍යන්තර සාධකය මත ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නට යෙදුනි. පසුව එය එල්.ටී.ටී.ඊ.ය විසින් ප්‍රතික්‍ෂේප කෙරුන ද ශ්‍රී ලංකාවට අදාලව දේශපාලනික යථාර්තය වන්නේ එයයි. තිම්පු ප්‍රතිපත්තිය ඔස්ලෝ එකඟතාවයට යටත්ව තේරුම් ගත යුත්තකි. ඒ අනුව වෙන්වීමේ අයිතිය හා කොන්ෆෙඩරල් විසඳුම් ඉතිහාසයට එක්වුනු සංකල්ප නොවේද?

ශිරාල් ලක්තිලක
[email protected]