සිංහල, Human Rights, Life quips, Matara

ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත් අවධානයට යොමු නොවූ එහෙත් ඉතා දැඩි ලෙස අසාධාරණයට ලක් වන්නාවූ සමාජ කොටසක් ගැනයි. එනම් ඉස්ලාම් දහම වැලඳගත් අයට ඔවුන්ගේ පවුල් වලින් සහ සමාජයෙන් සිදුවන දැඩි සාහසික සහ අත්තනෝමතික ක්‍රියාවන් ගැනයි.

තමන් කැමති දහමක් හදාරා ඒ දහම වැලඳ ගැනීම යනු පුද්ගලයෙකු සතු අයිතිවාසිකමකි. එය අප රටේ ව්‍යවස්ථාවෙන්ද සම්මත අයිතිවාසිකමකි.මෙලෙස දහමක් හැර යාමෙන් සිදුවන්නේ මිනිසෙකුගේ ආධ්‍යාත්මික සහ චර්යාත්මක වෙනසක් මිස අනෙකුත් සමාජ සම්බන්ධතා වල වෙනසක් නොවේ.එමෙන්ම යම් කෙනෙක් තම දහම වෙනස් කල පමණින් ඔවුන්ගේ ඥාති සබඳතා වෙනස් වීමක් සිදු නොවේ. ඒ මන්ද යත් ඥාති සබඳතා යනු අපගේ ශරීරය සහ රුධිරය සමග බද්ධ වූවක් බැවිනි.එය අධ්‍යාත්මික සහ චර්යාත්මක වෙනසකදී අදාල නොවන සාධකයකි.

අපගේ කථාවට අදාල තැනැත්තිය දකුණු ලක, මාතර දිස්ත්‍රික්කයේ, හක්මන, දෙනගම ප්‍රදේශයේ උපත ලැබූ කෙනෙකි.ඇයගේ දෙමව්පියන් සහ මුළු මහත් පරපුරම බෞද්ධයන් වන අතර ඇයගේ පියා ගමේ පන්සලේ දායක මහතෙකු ලෙසද කටයුතු කරයි.සහෝදර සහෝදරියන් රැසක් පිරිවරා ජීවත් වූ ඇය පන්සලේ දහම් පාසලෙන් මනාව ඉගෙනුම ලැබ දහම් පාසැල් ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත.අපොස උසස් පෙල විද්‍යා විෂයන්ගෙන් සමත් වූ ඇය පසුකාලයේ කොලඹ රැකියාවකට පැමිණ ඇත.රැකියා කිහිපයකට මාරුවෙමින් ගොස් ඇය නතරවූයේ දේශපාලනයට සම්බන්ධ මුස්ලිම් කාර්යාලයකයි.එහිදී ඇයට මුස්ලිම් වරුන් යනු කවුදැයි හඳුණා ගැනීමට ලැබුණු නමුදු ඇයට ඉස්ලාම් ධර්මය ගැන දැනුවත් කිරීමකට සුදුසු පුද්ගලයෙක් එහි නොවීය.
පසුකලෙක මලයාසියාවේ පාඨමාලවක් හැදෑරීමට ගිය ඇය. එහිදී ඉස්ලාම් ධර්මයද හැදෑරීමට පටන් ගත්තාය. එමගින් ඇගේ ජීවිතය වෙනස් වූ අතර ඇය මෙතෙක් වසර 33 කට ආසන්න කාලයක් අදහමින් තිබූ බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගන්නා ලදී. ඉන් අනතුරුව මලයාසියාවේ ඉස්ලාම් දහම සම්බන්ධයෙන්ද පාඨමාලාවක් හැදෑරූ ඇය පසුව සිය දෙමව්පියන් බැහැදැකීමට සිය නිවස බලා පැමිණියාය. එහිදී අය දැන් මුස්ලිම් වරියක් බව දැනගත් ඇගේ පියා දැඩි ලෙස කිපී ඇයට පහර දී නැවත බුදු දහම වෙත එන ලෙස ඇයට බල කළ අතර ඇය ඉන් නොසැලී සිටීම නිසා එම නිවසින් පිටව යන ලෙස පියා පවසන ලදී. ඉස්ලාම් ධර්මය නිසා සිය සහෘදයන් සියල්ලන්ම අහිමි වන තත්වයකදී ඇය කොළඹ පැමිණ රැකියාකවකට ගොස් මුස්ලිම්වරියක ලෙස තනිවම ජීවත් වීමට පටන් ගත්තාය.
එහිදී තම පියාට හොරෙන් අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ සුවදුක් බැලූ ඇය, ඔවුන්ගේ ඕනෑ එපාකම් වලදී සහෝදරියකගේ යුතුකම් මනාව ඉටුකරන ලදී. විවාහ වීමට නිසි වයස පසුවෙමින් පැවති එම කාලයේ ඉස්ලාම් ධර්මය වැළඳගත් තවත් සිංහල තරුණයෙකු මුණ ගැසුණු ඇය එම තරුණයා සමග ඉස්ලාම් ධර්මයට පැමිණ වසර 4 කට පසුව විවාහ විය. මෙම විවාහයෙන් පසුව නැවත වරක් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සමග සම්බන්ධ වීමට ඇය උත්සාහ දැරුවද ඇය සමග පවුලේ කෙනෙකු සම්බන්ධ වුවහොත් ඔවුන්වද පවුලේ සම්බන්ධතා වලින් නෙරපන බවට පියා තර්ජනය කිරීම නිසා එම උත්සාහයද ලත් තැනම ලොප් විය.
ඇය දැන් සිටිනුයේ වයස 38 දී ඇයගේ කුසින් බිහිවන ප්‍රථම දරුවා ලොවට බිහිවනතුරු බලා ‍සිටින අවදියකයි. ඇයද ඇගේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම ඉස්ලාම් ධර්මය වැලඳ ගත් අය බැවින් මේ වන විට කිසිදු ඥාති සබඳතාවක් පැවැත්වීමට ඔවුන් දෙදෙනාගේම ඥාතීන් ඉදිරිපත් නොවේ. මේ වන විට ඇගේ සැමියා විදෙස් ගතව සිටින බැවින් ඇයව බලාගන්නේ ඇයට කිසිදු ඥාතීත්වයක් නොමැති වුවද තම දරුවෙකු මෙන් ඇයට සලකන්නාවූ මැලේ ජාතික යුවලක් විසිනි. ඇගේ මව ඇය කුඩා කාලයේදීම අනතුරකින් සිහිය විකල් වීම නිසා ඇය අද සිටින්නේ මව් සෙනහසද පිය සෙනහසද අහිමි කර ගෙනය. ඇගේ සහෝදර/සහෝදරියන්ගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ඇයට අද ඔවුන්ද නොමැත.
ජනතා අධිකරණයට චෝදනා පත්‍රය
1. ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?
2. ශ්‍රේෂඨ දහමක් දේශණා කල බුදුරජාණන් අනුගමනය කරන්නන් යැයි පැවසුවද ඇගේ පියා සහ සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාවන් සත්‍ය වශයෙන්ම බුදු දහමට නිගා දෙන්නක් නොවේද?
3. එසේ නම් ඔවුන් බොදුනුවන්ද?
4. සිංහල අපට සිංහල කියා ආගමක් නොමැත මේ සියළුම දහම් ආනයනය කළ දහම් නොවේද?
5. මෙවැනි අයගේ ක්‍රියාවන් ගැන ඔබගේ අදහස කුමක්ද?

අන්වර් මනතුංග