සිංහල, Democracy, Human Rights, Matara, Media

ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට

විශේෂාංග ලිපියක් සඳහා කරුණු ගවේශනය කරමින් සිටි ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් දෙනියාය පොලිස් ස්ථානය මඟින් ඊයේ (2) දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව ලංකා පුවත්පතේ කතුවරයා පොලීසියෙන් කල විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ ලංකා පුවත් පතේ මාධ්‍යවේදීන් කණ්ඩායම දෙනුියාය ප්‍රදේශයේ වතුයායකදී කම්කරුවන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටියදීය. රවින්ද පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ යන මාධ්‍යවේදින් අත්අඩංගුවට පත්වී දිනක් සම්පූර්ණ වී ඇතත් ඔවුන් පිළිබඳව ගනු ලබන ඉදිරික්‍රියා මාර්ග හා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරනවාද යන්න පොලීසිය විසින් තහවුරු කර නොමැති අතර බ්‍රහස්පතින්දා සවස් වනතුරුත් ඔවුන් දෙනියාය පොලිසිය තුළ රඳවා තබාගෙන සිටිති.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තිය පත්‍ර කලාවේදින්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය හා දෙමළ මාධ්‍ය සංසදය, මාධ්‍ය නිදහස මර්ධනය කිරිම සඳහ හා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරිම සඳහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනිම ඉතා බිහිසුනු ප්‍රවනතාවක් මෙන්ම සහසික අපරාදයක් බවද සඳහන් කර තිබේ.
අදාල මාධ්‍ය සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි සිවිල් නිදහස සම්පූර්ණයෙන්ම හිරකර තබන ඉතා බිහිසුනු බලතල සහිත නීතියක් මහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කිරීමට, ජනමාධ්‍යවේදින්ට සිය වෘත්තිය කටයුතු අහිමි කිරිමට යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති ඒකාධිපති රාජ්‍යන්හි පමණක් දැකිය හැකි මෙවන් මර්දනකාරී පසුබිමක් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීම ඉතා බිහිසුනු බව සඳහන් කරන මාධ්‍ය සංවිධාන එකතුව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාල මාධ්‍යවේදින් වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස හෝ ඔවුන්ට එරෙහිව පියවර ගැනිම සඳහා සාධාරණ හේතු ඇති නම් එය නොවලහ ප්‍රකාශයට පත්කර සාමාන්‍ය නීතිය යටතේ ඒ සඳහා කටයුතු කරන ලෙසය.