iMage: VIKALPA

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 12ක් ගත වේ. නමුත් මේ වසර 12ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල, ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කෙසේ නමුත් 2015 දී බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම සදහා යම් උත්සහයක් ගනු ලැබුවේය. ලසන්ත ඝාතකයින් නීතිය හමුවට පැමිණ වීම සදහා වෙහෙස වූ ඇතැම් බුද්ධ අංශ නිළධාරින් ද දැන් සිටින්නේ සිරගෙවල් තුළය. එවන් නිළධාරීන් හිරගෙවල්වලට ගාල් කරද්දී, ඇතැම් අපරාදකරුවන්ට ජනාධිපති සමාව ද හිමි වෙයි. ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්‍රමයකි.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ ඉතාමත් සැලකිලිමත් ලෙස පවත්වාගෙන ගියා’ ලසන්තගේ යුක්තිය වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකරන නීතිඥ අතුල එස්.රණගල මහතා පසුගිය 2018 වසරේ ජනවාරි යේ අද(08) වැනි දිනක බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත සිහිකිරීමේදී කීවේය.

කෙසේ නමුත් යහපාලන කාලය තුළ සිදුකළ විමර්ශණ අනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය. එසේම ඉන් පසුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, පසුව මරා දැමීම පිළිබඳ වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි ගත් හමුදා සෙබළුන් 13 දෙනා මාස 6ක් ඇතුලත් කොටස් වශයෙන් නිදහස් කර යැවුවේය. ඒ අතර රණවිරුවන් තමන්ගේ අනුදැනුමකින් තොරව අත්අඩංගුවට ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගෝරනාඩු කළේය. ඇසින් දුටු සාක්ෂි චිත්‍රපටයක මෙන් දිගහැරි රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා නිළධාරීන්ද නිදහස් කර යැවුනේ එවන් පසුබිමකයි. ‘දැන් ඉතින් ඔක්කෝටම ඇප, නිදහස ලැබෙයි‘ ජනාධිපතිගේ කතාවෙන් පසු ඇතැම් විචාරකයන් කීවේ ය. කී ලෙසම සිදුවිය.

‘ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ. නමුත් ලෝකය බලා සිටියදී, එම සැකකාර බුද්ධි අංශ නිළධාරියාට ඇප ලබා දුන්නා. කොහොමද එහෙම වෙන්නේ, මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා. ඒ විතරක් නෙවෙයි, ලසන්ත ගේ දේහය නැවත ගොඩ අරගෙන ඒ පිළිබදව වන විමර්ශණ වාර්තාවද තවමත් අධිකරණයට ලැබී නැහැ‘‘ එසේ කීවේ ලසන්තගේ යුක්තිය වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකරන නීතිඥ අතුල එස්. රණගල මහතා යී. ඒ, 2017 ජනවාරි 08 වෙනිදා, ලසන්ත සිහිකිරමින් පැවති සාකච්ඡාවකදී, ඔහුව මිහිදන් කර ඇති බොරැල්ල සුසාන භූමියේදී ය.

ඝාතකයන්?

කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරුත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප්‍රගීත් වැනි මාධ්‍යවේදීන් ද, පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්දකයින්, වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල් දැමීම යනු වරද කර දඩුවම් නොළබා සිටීමේ ඓතිහාසික පුරුද්දට තවදුරටත් සහය දීමක් බව අපගේ හැගීමයි. නමුත් එයම නැවත වරක් ලියන්නට වීම ගැන ද ඇත්තේ කණගාටුවකි.

කෙසේ නමුත්, ලසන්ත ඝාතනය ඇතුලු ඝාතනයකරන ලද අතුරුදහන්කරන ලද සහ පහරකෑම්වලට ලක්වූ සියලු දෙනා පිළිබදව කෙරෙන සහ කරනවා යැයි එවකට පැවසූ යහපාලන ආණ්ඩුව ගැන 2017 ජනවාරියේ ජනවාරි 08වනදා මා මෙසේ ලීවේය.

‍”..‘යහපාලන‘ ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මෙන්ම යහපාලන ගුණාංග පිළිබදව විශ්වාස තබා කටයුතු කරන්නේ නම් අදාල පරීක්ෂණ ස්වාධීනව කර ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරනවා විනා ඒවාට අකුල් හෙළන ක්‍රියාවලීන් සිදු කරන්නේ නම් බහුත්වවාදී ලංකාවක් පිළිබද කල්පනා කරන ජනතාව ‘යහපාලනය‘ ගැනද තීන්දුවක් ගන්නා දවස වැඩි ඈතක නොවනු ඇත.”

කෙසේ නමුත් දැන් ‘මා පැවසූ තීන්දුව’ කෙසේ වෙතත්, නැවත වරක් රාජපක්ෂලා බලයට පැමිණ තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන විදෙස් මාධ්‍යක් විමසු විට ‘ලසන්ත කවුද?'(https://www.youtube.com/watch?v=bq8f4waVlPE) යැයි ඇසූ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාබය රාජපක්ෂ දැන් රටේ ජනතාධිපති ලෙස පත් වී ඇත. එසේම, ලසන්ත ඇතුලු මරාදැමුණු, අතුරුදහන්කළ සහ පහරකැම්වලට ලක්වූ කිසිදු මාධ්‍යවේදියෙක් හෝ, ප්‍රහාරයන්ට ලක්වූ කිසිදු මාධ්‍ය ආයතනයක් සමබන්ධයෙන් එවකට තිබූ රාජපක්ෂ පාලනය, පිළිගතහැකි, විනිවිදබාවයකින් යුතු කිසිදු ආකාරයේ විමර්ශණයක් සිදු කලේ නැත. එබැවින් ලසන්ත ඝාතනයෙන් වසර 12කට පසුත් ‘අපට අවශ්‍ය වන්නේ යුක්තියම වන්නේය‘ යැයි යළිත් ලියන්නට වී ඇත්තේත් ඒ, යුක්තිය සදහා කිසිදු වෙහෙසක් නොදැරූ ඒ නපුරු, බිහිසුණු අතීත මතකයන්ගේ මුහුණු ඉදිරිපට තබා ගෙනය.

2010 සොනාලි සමරසිංහ වික්‍රමතුංග, ලසන්ත ඝාතනය ගැන මෙසේ ලීවේය. ”දැන් ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තවමත් නොවිසඳී පවතියි. සැබවින් ම, යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්‍රතිවිරුද්ධ මතධාරී මාධ්‍යවේදීන් 13 දෙනෙකු කෲර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත්, ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත. කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය. රාජ්‍යය මිනීමරණ විට එය ඒවා සිදු කරන්නේ දුර්විපාක ඇති නොවන පරිදි ය..”(https://www.vikalpa.org/article/1921)

එසේම මේ සටහන අවසන් කරන්නට මෙයත් නැවත වරක් සටහන් කරනු කැමැත්තෙමි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 5ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක්, දෙහිවල අත්තිඩියේ දී 2014 ජනවාරි 09 දා පැවැත්විණි. ‘සමගි බලය’ සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග, ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්‍රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්‍රභලයින් පිළිබදව ද සදහන් කරමිනි. එහිදී ඔහු විශේෂයෙන් සදහන් කලේ, ‘‘ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම, මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ..‘‘– ලාල් වික්‍රමතුංග (සම්පූර්ණ වීඩියෝව බලන්න https://www.vikalpa.org/article/19180)