සිංහල, Colombo, Democracy, Governance

මංගලගේ සිට පොන්සේකා දක්වා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

“පාලකයා කෙරෙහි ජනයාගේ ආදරය සහ බිය යන දෙකම පවත්වා ගැනීම වඩා හොඳය. එනමුත් මෙම ලක්ෂණ දෙක එකට ගමන් නොකරන බැවින් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වූ විට පාලකයා ආදරය ලබනවාට වඩා බිය ඇති කිරීම මගින් වඩා ආරක්ෂාවක් ලැබෙන බව තේරුම් ගන්නවා ඇත.”- කුමාරයා, නිකලෝ මකියාවෙලී (1532)

“මෙදා අපි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ කලා. ඒ යුද්ධය සැලසුම්කරලා, එයට නායකත්වය දුන්නේ අපේ ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා. හමුදා ප්‍රධානීන් කළේ ඒ අණ ක්‍රියාත්මක කිරිම පමණයි. එහෙම තියෙද්දි දැන් සමහර හමුදා ප්‍රධානීන් හිතනවා, යුද්ධය දිනුවේ තමුන් නිසා කියලා. දැන් ඒකේ ගෞරවය ගන්න දගලනවා. මම ඒ අයට පැහැදිලිව කියනවා තමුන්ගේ තරමට ඉදිමෙන්න කියලා. කඩුල්ලේ තරමට ඕන වැට බදින්න එහෙම නැතුව විරුද්ධ පක්‍ෂයේ කුමන්ත්‍රනකාරයින්ගේ ලනු කාලා කටයුතු කළොත් මේ අයගේ අභ්‍යන්තර ගණුදෙනු හෙළිදරව් කරන්න අපට සිදුවේවි.”
රාජපක්ෂ ආණ්ඩුවේ කුප්‍රසිද්ධම ඇමැතිවරයා විසින් පසුගිය 13වන දින දෙමටගොඩ ජනහමුවක දී කියා සිටි බවට වාර්තා වූ මෙම කතාවෙන් තර්ජනය එල්ල කැරෙන්නේ කුමණ හමුදා නායකයාට ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත. මේ තර්ජනයේ ඉලක්කය වන්නේ ජෙනරල් සරත් පොන්සේකා ය. අරමුණ බිය ගැන්වීම ය. ස්වකීය ශ්‍රේනීන් අතර පවා ප්‍රශ්ණ විසදා ගැනීමේ ක්‍රමය ලෙස බිය ගැන්වීම යොදා ගැනීම මගින් රාජපක්ෂ ආණ්ඩුව පෙන්වන්නේ ප්‍රජානත්ත්‍රවාදී ප්‍රවිශ්ටයක් නොවේ. ආදරය ලබා ගත නොහැකි තැන තමන් කෙරෙහි බිය ජනිත කර ගැනීම මගින් රට පාලනය කිරීම සිය පිළිවෙත බවට ආණ්ඩුව පත් කරගෙන තිබේ.
එමෙන්ම තමන්ට වැඩිම සහාය දක්වන බලවේග සහ පුද්ගලයින් ක්‍රමයෙන් ඉවතට තල්ලු කිරීම ද එම පිළිවෙත්ම කොටසකි. සරත් සිල්වා, මංගල සමරවීර, අනුර බන්ඩාරනායක, සරත් පොන්සේකා, දයාන් ජයතිලක, ආනන්ද සංගරී, පිල්ලෙයාන්, යනාදි තවත් බොහෝ පිරිස් එම ලැයිස්තුවේ වෙති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වැඩිම බර කරට ගත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් පසුගිය පළාත් සබා මැතිවරණ තුනෙහිදීම රාජපක්ෂ ආණ්ඩුව දැක්වුයේ ද මරණිය වෛරයකි.

2006 අවසානයට පැවැත්වීමට නියමිත වූ ජනාධිපතිවරණය 2005 දී පැවැත්විය යුතු බවට තීරණය දුන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ය. බොහෝ නීතිවේදීන් කල්පනා කළේ ජනාධිපතිවරනය පැවැත්වෙනු ඇත්තේ 2006 අග දී කියා ය. ඒ වන විට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග සමඟ විරසකයක සිටි බව පෙනුනු අගවිනිසුරුවරයාගේ මෙම තීරණය මහින්ද රාජපක්ෂ මහතාට වාසිදායක එකක් බවට පත් විය. තවත් අවස්ථාවක දී සුනාමි ප්‍රතිසංස්කරණ සඳහා රජය ලද ප්‍රතිපාදනයන්ගෙන් ලක්ෂ 850ක් හෙල්පින් හම්බන්තොට නම් මහින්ද රාජපක්ෂ අතුළු කිහිපදෙනෙකුගේ රාජ්‍ය නොවන සංවිධානයකට බැර කර ගනනා ලදැයි රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන ලදී. එම නඩු විභාගය අතරමග නතර කරන ලද්දේ ද අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නායකත්වයෙනි. බලයට පැමිණීමෙන් පසු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇයි හොදයිකම් දුරස්ව ගියබව පෙනෙන්නට පටන් ගත්තේ ය. දැන් ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද නව අගවිනිසුරු යටතේ සරත් නන්ද සිල්වා දුන් තීන්දු නොපිට හැරවෙන අතර ඔහුට විරුද්ධව බරපතල නඩු වන්දි නඩුවක් ද පරවරනු ලැබ තිබේ.

පසුගිය ජනාධිපතිවරනයේ දී මංගල සමරවීර චන්ද්‍රිකා කුමාරතුංග අතහැර මහින්ද පොදු පෙරමුණු අපේක්ෂක රාජපක්ෂට සහාය නුදුන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා අද ජනාධිපති පුටුවේ නැත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහාය නුදුන් බව ප්‍රසිද්ද දේශපාලන රහසකි. චන්ද්‍රිකා කුමාරතුංගගේ සමීප හිතවතකු වූ නමුත් මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරනයේ ප්‍රධානතම උපාය ශිල්පියකු බවට පත්ව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කර දී වැඩ කළේ ය. මහින්ද රාජපක්ෂ සහ ජවිපෙ අතර සන්දානය ගොඩ නැගීමට අනුර බණ්ඩාරනායක කර දුන්නේ ය. එනමුත් මේ දෙදෙනාටම ජනාධිපතිවරණයෙන් පසු පිහිටුවුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් පල නොකියා පලා බෙදුණි. අන්තිමේ දී ඒ දෙදෙනාටම ආණ්ඩුවෙන් එලියට බැසීමට සිදුවිය. මංගල සමරවීරට පමණක් නොව ඔහුගේ දේශපාලන හිතවතුන්ට පවා එළව එළවා පහර දෙන ලදී. මංගල සමරවීර අවශ්‍ය වූයේ ජනාධිපතිවරණය දිනවා දීමට පමණය.
ජෙනරල් සරත් පොන්සේකා මහින්ද රාජපක්ෂ පිළිවෙත වු යුද්ධ විසදුම ක්‍රියාවට නැංවූ සෙන්පතියා විය. ඔහු යුදමය සීමා ඉක්මවා යමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් ද පෙනී සිටියේ ය. ඔහු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සටන් විරාම ගිවිසුමට ප්‍රසිද්ධයේ ම විරුද්ධත්වය දැක් වූ හමුදා නායකයකු ද විය. එනමුත් යුද්ධය අවසන්ව මසක් යත්ම ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලදී. ඔහු හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ 2009 සැප්තැම්බර් මාසයේ දී ය. අන්තිමේ දී එල්ටීටීඊයේ දෙවැනි නායකයා වූ කරුණා අම්මාන්ට ඇමැතිධුරයකින් පුද දුන් රාජපක්ෂ ආණ්ඩුව ජෙනරල් පොන්සේකා ඇමැති ලේකම් කෙනෙකු බවට පත් කළේ ය. ජෙනරල් සරත් පොන්සේකා ආණ්ඩුවට අවශ්‍ය වූයේ යුද්ධය ජයග්‍රහණය කරා ගෙන යාමට පමණි.
ජීනීවාහි ශ්‍රී ලංකා තානාපති වූ දයාන් ජයතිලක තවත් උදාහරණයකි. යුද්ධය පැවැති කාලය පුරා බටහිර රටවල් කෙරෙන් එල්ල වූ මානව හිමිකම් විවේචනයන්ට මුහුණ දී රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීම ඔහුට පැවැරුණි. එම කාරිය කිරීමේ ලා ඔහු තරම් දක්ෂයකු ආණ්ඩුවට සිටියේ නැත. මානව හිමිකම් කෙරෙහි සැළකිලක් නොදක්වන ආණ්ඩු සමඟ පොදු පෙරමුණක් පිහිටුවා ගත් ඔහු ශ්‍රී ලංකාණ්ඩුවේ මානව හිමිකම් කෙළෙසීම් යුද්ධයේ නාමයෙන් සාධාරණ කළේ ය. 2009 මැයි 26- 27 පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුවෙහි දී ශ්‍රී ලංකාණ්ඩු මතය ජය ගන්වන ලද්දේ ඔහුගේ මූලිකත්වයන් නිසා ය. එනමුත් ඉන් මසක් යත්ම ඔහු තානාපතිධුරයෙන් ඉවත් කරන ලද්දේ නින්දා සහගත ලෙස ය. ඔහුගේ ධුරකාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2010 පෙබරවාරියේ දී ය.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් නැගෙනහිර දී එල්ටීටිඊ ය පැරදවීම පිණිසත් අනතුරුව නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම පිණිසත් රාජපක්ෂ ආණ්ඩුවට ලබා දුන්නේ නොමද සහායකි. නමුත් අද ඔහුට එරෙහිව ආණ්ඩුව කරුණා අම්මාන් බලවත් කිරීමට ප්‍රසිද්දියේ ම කටයුතු කරයි. අද ආණ්ඩුව පිල්ලෙයාන් සළකන්නේ පරාජය කළ යුතු දේශපාලනඥයකු ලෙස ය. රාජපක්ෂ පාලනය වෙනුවෙන් ප්‍රශස්ති ගැයූ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරීට යුද්ධය පවතින තුරු ආණ්ඩුවෙන් ලැබුනේ මහත් සහායකි. අද ආණ්ඩුව ඔහු ඉවත දමා ඩග්ලස් දේවානන්ද ශක්තිමත් කිරිමට සිය ධනය සහ බලය යොදවයි.
රජපක්ෂ පාලනය විසින් අතහැර දමන ලද හිටපු සහ සමීපතම බලවන්තයින්ගේ එක් පොදු ලක්ෂනයක් දැක්ක හැකි ය. එනම් ස්වාදීන මතයක් දැරීමට ඔව්න් දක්වන කැමැත්තයි. ඉන් සමහරක් අය දරණ මත සමඟ මේ ලේඛකයා එකඟ වන්නේ නැත. නමුත් ස්වාධින මතයක් දැරිමට මේ සියළු දෙනාට ඇති අයිතිය අප ආරක්ෂා කළ යුතු ය. අද ඉඩ ඇත්තේ එහෙයි කීමට පමණි. මෙම ක්‍රියාදාමයේ ඇතුළත ඇති දේශපාලනය එය යි. එනම් විවිධ අදහස්වලට ඉඩ නොදීම යි. රාජපක්ෂ ආණ්ඩුවට ලොකුම අභියෝගය මතු වනු ඇත්තේ තමන් පමණක් ම හරිය යන මෙම භයානක මතවාදය කරණ කොට ගෙන ය. ආණ්ඩුවෙහි බොහෝ පිරිස් මංගල සමරවීරගේ සිට සරත් පොන්සේකා දක්වා මුහණ දුන් පල නොකියා පලා බෙදීමට හසුවීමට නියමිත බව දැන් සියළු සංඥාවන්ගෙන් පෙන්නුම් කරයි.

සුනන්ද දේශප්‍රිය