සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – උතුරු ඡන්දයට දේශපාලන අනාවැකියක්

සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් 08දාට නියමිත මහා මැතිවරණයේ කල් තබා කිව හැකි එක් ප්‍රතිපලයක් නම් උතුරුකරයේ මහ මැතිවරණය යි. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යා හෝ ජන දිනන අපේක්ෂකයින් කව්රුන්දැ යි යන්න හෝ නොවේ. මහ මැතිවරණයෙන් උතුරෙහි දී ජයගනු ලබන මතවාද සහ එහි ප්‍රතිවිපාක කුමක් විය හැකි ද යනු ය. මෙම මහා මැතිවරණයෙන් කවර හෝ තීරණාත්මක ප්‍රතිපලයක් අත් වන්නේ නම් එය සිදුවනු ඇත්තේ මූලික වශයෙන් උතුරුකරයේ සහ යම් දුරකට නැගෙනහිර මහා මැතිවරණ භුමිකාව තුළ ය.

මහා මැතිවරණයේ දී හංසයා ලකුණ යටතේ එක් පෙරමුණක තරඟ නොකිරීමට රනිල් වික්‍රමසිංහ නායකත්වය තීරණය කිරීම විසින් මහා මැතිවරණයේ දී විපක්ෂයට ලැබිය හැකිව තිබූ කවර හෝ වාසියක් වී නම් එය ආපසු හරවන ලදී. එම තීරණයට හේතු වූ සාධක තර්කාණූකූල විය හැකි නමුත් දේශපාලනයේ දී වැදගත් වන්නේ ජයග්‍රහණයන් බව වික්‍රමසිංහ තේරුම් ගන්නේ නැත. එබැවින් ජයග්‍රහණයන් සඳහා අවශ්‍ය සන්ධාන සහ නම්‍යශීලිත්වය ඔහුගේ දේශපාලනයේ නැත. ඔහුගේ නායකත්වය එජාප ඉතිහාසයේ දූර්වල ම සහ පරාජිත ම යුගය බව අලුතෙන් කිව යුතු කාරණයක් නොවේ. මහජන සබඳතා ක්ෂේත්‍රයේ දේශපාලන නායකයකු සතු විය යුතු විවෘත, සුහදශීලී සහ හිතෛෂී චරිත ස්වභාවය ඔහුට ඇත්තේ ම නැත. එජාපයේ දීර්ඝ කාලීන හිතවතුන් සහ හිතවතියන් පමණක් නොව පාක්ෂිකයින් සහ මහජන නියෝජිතයින් එම පක්ෂය හැර ගිය මෙවැනි යුගයක් එහි ඉතිහාසයේ නැත. දකුණේ දී මහා මැතිවරණය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කවර හෝ වෙනසක් ඇති නොවීම සහතික කරනු ඇත්තේ මහින්ද රාජපක්ෂට වඩා රනිල් වික්‍රමසිංහගේ මෙකී ලක්ෂණ ද විසිනි.

මහා මැතිවරණ ප්‍රතිපල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කේන්ද්‍රය උතුරුකරයට ගෙය යනවා ඇත්තේ එම පසුබිම තුළය. එනම් දකුණේ විපාක්ෂික දේශපාලනයේ ඇතිවන පසුබැසීම විසිනි. ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ යතුර එමගින් දෙමළ ජනයා අතට මාරු වනවා ඇත. එසේ වන්නේ ජනාධිපතිවරණයේ දී ඉතා පැහැදිලිව පෙන්නුම් කළ පරිදි මෙවර ද උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙනසක් සඳහා ඡන්දය පාවිච්චි කිරීම සහතික නිසා ය. මෙවර උතුරු නැගෙනහිර දෙමළ බහුතර පළාත් හි මහා මැතිවරණ සටන කෙරෙනු ඇත්තේ කුමණ සටන්පාඨ මත ද යන්න විමසා බැලීමෙන් අපට මෙම එළඹෙන දේශපාලන බල තුලනය තේරුම් ගත හැකිය.

යාපනයේ නගර සභා මැතිවරණයෙන් පසු ප්‍රකාශයක් කළ ආණ්ඩුවේ යාපන දෙමළ නායකයා වන ඊපීඩීපී ප්‍රධානී ඩග්ලස් දේවානන්දා කීවේ තම පක්ෂය ස්වාධීන පක්ෂයක් වශයෙන් තරඟ කළේ නම් වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකිව තිබූ බව යි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහු කීයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම නිසා තමන්ට ඡන්ද අහිමි වූ බව යි. නමුත් මේ මහ මැතිවරණයේ දී ද ඔහුට එම ස්වාධීනත්වය ලැබුණේ නැත. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට නොහැකි පරිද්දෙන් ඔහුට ස්වාධීනත්වය අතහැර ඇමැතිකම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සිදු විය. අනෙක් අතට ස්වකීය ස්වාධීනත්වය රැක ගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වූ නැගෙනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ ආරක්ෂාව වහාම ඉවත් කර ඔහු පිටස්තරයකු බවට පත් කරන ලදී. මේ වනාහී රාජපක්ෂ පාලනය දෙමළ ජනයාගේ දේශපාලන නියෝජිතයන් කෙරෙහි දක්වන ප්‍රතිපත්තියේ සංකේතාත්මක අවස්ථාවකි. එනම් අප සමඟ නැත්නම් මුකුත් ලැබෙන්නේ නැත යනු ය.

මෙවර මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජනයා විසින් මහින්ද රාජපක්ෂ දේශපාලනය පරාජය කරනු ඇත. උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනයා වාසය කරන දෙමළ පෙදෙස් හි අතිබහුතර මංත්‍රිවරුන් පත්වනු ඇත්තේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට පිටිනි. එය වැළැක්විය හැකිවනු ඇත්තේ කළ එළියේ කැරෙන දුෂ්ඨ ඡන්ද කොල්ලයකින් පමණි. වෙනත් වචනයෙන් කියන්නේ නම් වයඹ කොල්ලය මෙන් අනතුර මඟ හැරීමේ කල්තියා මෙහෙයුමක් දියත්කර මැතිවරණය කෙළෙසා සිය අපේක්ෂකයින් ජය ගැන්වීම මගිනි. නමුත් මෙය දෙමළ සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයෙන් ඉවතට යවා ඉතා භයානක ප්‍රතිවිපාකයනට මඟ පාදනු ඇත. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව එවැනි පියවරකට යනු ඇත්තේ දෙමළ ජනයා මර්දනයෙන් ම පාලනය කිරිමට කල්පනා කරන්නේ නම් පමණි. එය වියරුවක් වනු ඇත. එහි ප්‍රති විපාක ඊට වඩා වියරු වනු ඇත. එවැනි පියවරකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යනු ඇතැයි විශ්වාස කිරීම දුෂ්කර ය.

එල්ටීටීඊ ය අහෝසි වී යෑමෙන් පසු දෙමළ දේශපාලනයේ ඇතිවී තිබෙන වෙනස පෙන්නුම් කැරෙන එක් උදාහරණයක් ගමු. එල්ටීටීඊ විරෝධය සිය දේශපාලනය බවට පත් කර ගත් ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක වී. ආනන්දසංගරී යුද්ධයෙන් එල්ටීටීඊ ය පරාජය කිරීම සහමුලින් ම අනුමත කළේ ය. එකළ රාජපක්ෂ ආණ්ඩුවට සිටි හොඳම මිතුරකු වූයේ ඔහු ය. රාජ්‍ය මාධ්‍යට ආන්නදසංගරී තරම් වටිනා වෙනත් දෙමළ දේශපාලනඥයකු සිටියේ නැත. අද සියල්ල කණ පිට හැරී තිබේ.

ඇයි? එල්ටීටීඊ ය නැති දේශපාලන පසුබිමෙහි ආනන්දසංගරීගෙන් නැගෙන හඬ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් උදෙසා නැගෙන හඬක් බවට පත්ව ඇති නිසා ය. ඔහු දැන් මහා ඡන්දයේ සිය අපේක්ෂාව වශයෙන් ඉන්දියානු මාදිලියේ සන්ධීය ක්‍රමයක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට අවශ්‍ය බව කියා සිටින නිසා ය. එමෙන්ම ඔහු උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමට පක්ෂපාත ය. යුද්ධයෙන් පීඩාවට පත් සියළු දෙනාට වන්දි ගෙවිය යුතු බවත් යුද්ධය අතරතුර සිදු කරන ලද මානව හිමිකම් කෙළෙසීම්වලට දඬුවම් පැමිණ විය යුතු බවත් ඔහු අවධාරණය කරයි. මේ තත්ත්වය යටතේ බොහෝ දුරටම දැන් ආනන්ද සංගරීගේ දේශපාලනය බෙදුම්වාදී ලෙස හංවඩු ගසා රාජ්‍ය වන්දිභට්ට මාධ්‍ය විසින් ඔහු පට්ට ගසනවා ඇත. මේ සංකේතාත්මක සිදුවීම විසින් අපට පෙන්නුම් කරන්නේ එළඹෙන මහා මැතිවරණයේ උතුරු සටනෙහි බෙදුම් රේඛා ඇදෙන අන්දම යි.

ආනන්දසංගරී එළඹෙණ මහා මැතිවරණය තුළ ප්‍රකාශයට පත්වනු ඇති දෙමළ ජාතිකවාදයේ අවම ප්‍රකාශණයක් පමණි. ජන පදනම අතින් ආන්නදසංගරී ඉන්නේ දෙමළ සන්ධානයට සහ දෙමළ කොන්ග්‍රසයට බොහෝ පසු පසිනි. දෙමළ ක්‍රොන්ග්‍රසය උතුරු පළාතෙහි තරඟ වදින්නේ නිජ බිම සහ ස්වයං තීරණ අයිතිය පදනම් කර ගත් උපරිම බලය බෙදීමක් වෙනුවෙනි. එම කණ්ඩායමෙහි සිටින ගජේන්ද්‍රකුමාර් දෙමළ ජාතිකවාදයේ තදබල නියෝජිතයෙකි. පසුගිය යාපන මහ මැතිවරණයේ දී වැඩිම මනාප ලබා ගත්තේ ඔහු ය.

සමහර විට උතුරු දෙමළ ජනයා අතර වැඩිම ජනප්‍රියත්වයක් තවම භුක්ති විදින්නේ දෙමළ ජාතික සංධානය විය හැකිය. එය අභ්‍යන්තතර ස්වයං තීරණ අයිතිය මත පදනම්ව 13 වන සංසෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් ඉල්ලා සිටී. වන්දි ගෙවීම්, සැකකාර දෙමළ තරුණයින් නිදහස් කිරීම යනාදී රැඩිකල් වැඩ සටහනක් එය ද ඉදිරිපත් කරයි. අපේක්ෂක කණ්ඩායම අතින් ද හොඳ තරඟයක් දිය හැකි කණ්ඩායම සිටින්නේ ද දෙමළ සංධානයට ය.

මේ කිසිදු දේශපාලන අපේක්ෂාවක් රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට ගැලපෙන්නේ නැත. එම ව්‍යාපෘතිය යාපනයේ දී නියෝජනය කරන ඩග්ලස් දේවානන්දා ගේ ඊපීඩීපී ය මෙම මහා මැතිවරණයේ දී මුහුණ දෙනු ඇත්තේ ඉතා දුෂ්කර තීරණයන්ට ය. දෙමළ ජාතිකවාදී දේශපාලන පෙරමුණූ ගණනාවක් සමග සටන් කර රාජපක්ෂ ආධිපත්‍ය වෙනුවෙන් උතුරු දෙමළ ජනයා දිනා ගැනීමේ ඉටුකල නොහැකි මෙහෙවර ඔහුට පැවැරී තිබේ. සාමකාමී සාධාරණ මැතිවරණයක දී ඔහු පරදිනු ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු දිනා ගත්තේ සිය සන්නද්ධ භටයින් හමුදාව සමඟ එක්ව පාලනය කරන කයිට්ස් ආසනය පමණි.

මෙවර උතුරු මැතිවරණ වේදිකාවන් දෙදෙරවෙනු ඇත්තේ එල්ටීටීඊ විරෝධි කතාවලින් නොව යුද්දයේ දී දෙමළ ජනයා මුහුණ දුන් දහසකුත් එකක් දුක් වේදනා වලිනි. එම දුක්වේදනාවන්ගේ පෙනෙන උල්පත නැතහොත් හේතුකාරකයා රාජපක්ෂ ආණ්ඩුව වීම වැළැක්විය නොහැකිය. දකුණෙහි රෝහණ විජේවීර වීරයකු බවට පත්ව ඇත්තේ යම්සේ ද යම් දිනෙක උතුරෙහි දී ප්‍රභාකරන් වීරයකු වීම වැළැක්විය නොහැකි ය. උතුරු මහ මැතිවරණ දේශපාලන විවාදයන් හි කේන්ද්‍රීය තේමාව වනු ඇත්තේ යුද්දයේ විපාක සහ මෙරට දෙමළ ජනයාගේ දේශපාලන අයිතීන් දිනා ගැනීම යි.

උතුරු මහා මැතිවරණයෙන් දෙමළ ජාතිකත්ව මතවාදය යලිත් වරක් ජය ගන්නවා ඇත. රාජපක්ෂ ආණ්ඩුවට දිරවීමට බැරි ප්‍රතිපලය වනු ඇත්තේ එය යි. යුද්දයෙන් පරාජය කළ එල්ටීටීඊ යෙහි මතවාදී හරය යම් යම් වෙනස්කම් සහ අවම කිරීම් සහිතව (එනම් දෙමළ ජාතිකත්ව මතවාදය) ලබන අප්‍රේල් 08 දා යාපනයෙන් ජය ලැබූ කළ රාජපක්ෂ ව්‍යාපෘතිය ඊට කුමණ ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද? නැත්නම් එය සතු තෝරා ගැනීම් මොනවා වනු ඇත් ද?

මහා මැතිවරණයෙන් පසු යම් ආකාරයක ෆෙඩරල්වාදී බලවේග උතුරෙහි ජය ගැනීමෙන් පසු බලය බෙදීමකරා වන ඉන්දියනු බලපෑම තවදුරටත් උත්සන්න වනු ඇත. එම තත්ත්වය යටතේ රාජපක්ෂ ආණ්ඩුවට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට සිදුවනවා ඇත. එම ඉල්ලීම් චීනයෙන් හෝ ඉරානයෙන් ලැබෙන ණය මගින් යටපත් කර දැමීමට බැරි වනු ඇත. දේශපාලන විසදුමක් යටතේ අඩුම වශයෙන් උතුරු පළාත ද බොහෝ විට නැගෙනහිර පළාත ද ක්‍රමයෙන් රජපක්ෂ පාලයෙන් නිදහස් ප්‍රාදේශිය බල කේන්ද්‍ර බවට පත් වීමට නියමිත ය. අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රාජපක්ෂ ව්‍යාපෘතියට එල්ල වනු ඇති ප්‍රබලතම අභියෝගය එය යි. කිසිදු විරුද්ධ අදහසකට නිදහසේ ක්‍රියාත්කම වීමට ඉඩ නොදීම රාජපක්ෂ පාලනයේ මූලික ධර්මතාවය යි. නමුත් නියතවම උතුරෙහි දී ද සහ දැන් පෙනෙන විදියට නැගෙනහිර දී ද මුලින් ම මෙම අත්තනෝමතිකත්වය බිඳ වැටෙනු ඇත. එම ක්‍රියා දාමයේ ආරම්භය අප්‍රේල් මහා මැතිවරණ යි.