Image by: jnpsrilanka.lk

ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද, වඩ වඩාත් වෙළඳ සබඳතා සහ ආධාර සඳහා අවශ්‍ය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය නගා සිටුවනු වස් අධිකරණයේ ස්වාධීනත්වය සහ පොලීසියේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත් යළි ස්ථාපිත කරලීම අත්‍යාවශ්‍ය වන්නේය. එසේ වෙතත්, ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් කැසකවන්නේ, එම ආයතන නැති භංගස්ථාන කිරීමට සහ ඒවා හරහා බාල දේශපාලනික රංගනයන්හි යෙදීමටයි.

එවැනි එක් සිදුවීමක් වන්නේ, ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශව පසුගිය ජනවාරියේ සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබීමයි. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ රජයේ වාහන 40 ක් පමණ අවභාවිත කිරීමත්, මිලියන 90 ක පමණ අලාභයක් රජයට සිදු කිරීමත් ය. වීරවංශ මහතා කියන්නේ තමාව අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබීම දේශපාලනික පළිගැනීමක් වන බවයි. එම දෝෂාරෝපණය මත පදනම්ව ඔහු සහ ඒකාබද්ධ විපක්ෂය නොයෙක් ආකාරයේ බහුරු රංගන ඉදිරිපත් කරති. සමහර විට ඒ සඳහා පමණට වඩා ප‍්‍රසිද්ධියක් මාධ්‍ය හරහා ලබා ගනී.

මේ මාසය මුල හරියේ දී, විමල් වීරවංශ තමාගේ මාංචු දැමූ අත් ඉතා ආඩම්බරයෙන් යුතුව මාධ්‍යයට ප‍්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය. අනතුරුව ඔහුගේ 47 වැනි උපන් දිනය සැමරීමත් මාධ්‍ය සංදර්ශනයක් කර ගන්නා ලදි. ඊට සහභාගී වූ අමුත්තන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් සිටියේය.

මේ සතියේම ඔහුගෙන් තවත් ප‍්‍රශ්නයක් මතු කෙරුණි. එනම්, ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ දී වෙනම ස්වාධීන පක්ෂයක් වශයෙන් පිළිගන්නා ලෙස කරන ලද ඉල්ලීම මුල් කරගෙන ය. කතානායක කරූ ජයසූරිය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේය. කතානායකවරයාගේ එම තීරණය පදනම වුණේ, පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී, එකී ජාතික නිදහස් පෙරමුණ ඡන්දයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කර තිබුණේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක පාර්ශ්වයක් වශයෙන් වීමයි. ඒ අනුව කතානායකවරයා දුන් තීන්දුව පාර්ලිමේන්තුව තුළ මහා කලබැගෑනියක් කිරීමට මේ පිරිස අවස්ථාවක් කර ගත්හ. එහිදී ඇතැමුන් හැසිරුණේ රස්තියාදුකාරයන් සේ ය. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පළපුරුදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධනට සතියකට පාර්ලිමේන්තුව තහනම් කරනු ලැබීමයි.

වීරවංශගේ මේ දේශපාලන රංගනයේ නව වටයක් මේ සතියේ යළි රඟදැක්වුණි. දේශපාලනික පළිගැනීමක් වශයෙන් ඔහු දකින තත්වයට එරෙහිව තමා උපවාසයක් කරන බව පසුගිය බදාදා ඔහු කියා සිටියේය. ඊට සමගාමීව ඔහුගේ දියණිය ද උපවාස කොට රෝහල්ගත කෙරුණි. මේ ප‍්‍රශ්නය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව තබා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ තමාගේ කිසිම සම්බන්ධයක් නැති බව පැහැදිළි කෙළේය. ඇත්ත වශයෙන් විය යුත්තේ ද එයමයි. මන්ද යත්. පොලීසිය, අධිකරණය සහ විමර්ශන කටයුතු භාර අංශ ස්වාධීන ආයතන වන නිසා, වීරවංශව අත්අඩංගුවට ගැනීම ගැන රාජ්‍ය බලධාරීන්ට දැනුම් දීමක් පවා ඒ අංශවලින් අපේක්ෂා නොකළ යුතු බැවිනි. මහේස්ත‍්‍රාත් අධිකරණ සහ ඉහළ අධිකරණ, දේශපාලනික මගපෙන්වීම් යටතේ කිසි විටෙකත් කටයුතු නොකළ යුතුය. ඒවාට මොනම විදිහකවත් බලපෑම් නොකළ යුත්තේය. එහෙත්, පසුගිය රජයේ ඉතා නරකම කාලයේදී, ශ්‍රේෂ්ඨාධිකරණයට පවා එදා රාජ්‍ය බලධාරීන් කෙලින්ම මැදිහත් වූ බව අපි දනිමු. අද අධිකරණය නිදහස් ය. අද අධිකරණවල විනිශ්චයන් ගැනෙන්නේ, පොලීසිය, විත්තිය සහ පැමිණිලි පාර්ශ්ව තමන් ඉදිරියේ තබන කරුණු සහ සාක්ෂි මත පදනම් වෙමිනි.

වීරවංශගේ නීතිඥයෝ සිකුරාදා නැවත වරක් ඔහුට ඇප ගැනීමට බැලූහ. එවර ඔවුන් ගියේ කොටුව මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියටයි. එහිදී ඉදිරිපත් කළ තර්කය වුණේ, වීරවංශගේ දියණිය රෝහල්ගත කොට තිබීමයි. එය ඉතා දුර්වල තර්කයක් බව නීතිඥයෝ පෙන්වා දෙති.

සිද්ධිය කුමක් වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ලෙසත්, පොලීසියේ අපක්ෂපාතීත්වයට ගරු කරන ලෙසත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ලෙසත් අපි ආණ්ඩුවෙනුත්, විපක්ෂයෙනුත් ඉල්ලා සිටිමු. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක් කුළුණක් වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සඳහා ඒ තුළ තිබිය යුතු තුලණ සහ සංවරණ ක‍්‍රියාවලිය ඒ මගින් ශක්තිමත් කරයි. ඇප ඉල්ලා අනිත් සිරකරුවනුත් උපවාස කළොත් නීතිය වල් වදින බව වීරවංශලාට කියා දිය යුතුව තිබේ.

අද වන විට මාධ්‍යයේ නිදහස ද විශාල ප‍්‍රමාණයකට තහවුරු කොට ඇති තත්වය තුළ, මාධ්‍ය සතු අයිතීන් හැම විටකම මාධ්‍යයේ වගකීම් සමග සම්බන්ධව පවතින බව, මාධ්‍ය ආයතන තේරුම්ගත යුතුය. ඒ වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන අපොහොසත් වන්නේ නම්, එනයින්ම ඔවුන්ගේ අයිතීන් ද ඔවුන්ට අහිමි වන බව දත යුතුය. එබැවින්, අධිකරණයක් තුළ විභාග කෙරෙන හෝ විමර්ශන කොමිසමක් තුළ පරීක්ෂාවට ලක්කෙරෙන සිදුවීම්වලට වඩා, එකී අධිකරණය හෝ පරීක්ෂණ කොමිසමට එළියෙන් සිදු වන බාල සිදුවීම්වලට ප‍්‍රමුඛ ස්ථානය දීම වනාහී මාධ්‍යය අවභාවිත කිරීමකි. බාල ජනප‍්‍රියත්වය හෝ ඕනෑම අන්තවාදයක් දේශපාලනය තුළ නිගරුවට ලක්වන්නේ යම් සේ ද, එයම මාධ්‍යයටත් එයාකාරයෙන්ම වලංගු වන්නේය. අපට ආචාර ධර්මවලට අනුකූලව සහ ප‍්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීමේ වගකීමක් තිබේ.

යුක්තිය සහ සමානාත්මතාව වෙනුවෙන් කටයුතු කිරීමේදී, හඬක් නැති ජනතාවගේ හඬ බවට පත්වීමේ වගකීමක් මාධ්‍යයට තිබේ.


*2017 මාර්තු 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Don’t Turn Justice into a Fast-Moving Comedyනැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි