කන්තලේ වනරක්ෂිතයත් වනසයි | වන සංරක්ෂනය නිහඩයි

E 01

සජීව චාමිකර | පරිසර සංරක්ෂණ භාරය

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කඳුවැටි පද්ධතියක් ලෙස පිහිටා ඇති කන්තලේ වන රක්ෂිතය තුළ හා නාවික වැඩබිම අභය භූමිය තුළ අනවසර හා නීති විරෝධී ගල්කොරි 30 ක් පමණ මේ වන විට පවත්වා ගෙන යනු ලැබේ. හෙක්ටයාර 46,664 ක් වන කන්තලේ වන රක්ෂිතය හා හෙක්ටයාර 18,130 ක් වන නාවික වැඩබිම අභය භූමිය යන වනාන්තර පද්ධතිය හබරන, රිටිගල, ගලෙන්බිඳුණු වැව හා ත‍්‍රිකුණාමලය යන විශාල ප‍්‍රදේශයක් පුරා විහිදී ඇති කඳුවැටි ගණනාවකින් සමන්විත ඉතාම වැදගත් වනාන්තර පද්ධතියකි.

මේ වනාන්තර පද්ධතියේ තැනින් තැන මේ වන විට ගල්කොරි අනවසරින් හා නීති විරෝධී ලෙස පවත්වා ගෙන යයි. 2009 වසරේ දී නාවික වැඩබිම අභය භූමියේ අනවසරින් පවත්වා ගෙන ගිය ගල්කොරි ඉවත් කිරීම වෙනුවට අභය භූමියේ මායිම් සංශෝධනය කර එම ගල්කොරි අභය භූමියෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම හානිකර පියවරක් ගෙන තිබේ.

මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති තබලගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්මැටියාව ග‍්‍රාම නිලධාරී වසමේ කන්තලේ වන රක්ෂිතය තුළ පිහිටි මහා පරිමාණ ගල් කොරිය නැවතත් ආරම්භ කිරීමට සූදානම් වේ. කන්තලේ, ගල්මැටියාව, 98 හන්දියේ පදිංචි යූ.ඒ. දිනුක නුවන් ජයවර්ධන යන අය විසින් හා කන්තලේ, ගල්මැටියාව, 97 හන්දියේ පදිංචි එම්. සමරසිංහ යන අය විසින් රක්ෂිත වනාන්තරයේ පිහිටි මේ ගල් කොරිය නැවතත් ආරම්භ කිරීමට සූදානම් වේ. ඒ සඳහා නැෙඟනහිර පළාත් සභාවේ සභාපතිනී, ආරියවකී ගලප්පත්ති මහත්මිය විසින් දැඩි බලපෑමක් රජයේ නිලධාරීන්ට එල්ල කරමින් නීති විරෝධී ලෙස මේ ගල්කොරිය ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටී. කන්තලේ වන රක්ෂිතයේ හා නාවික වැඩබිම අභය භූමියේ පිහිටි අනෙක් ගල්කොරි අනවසරින් පවත්වා ගෙන යාම සිදු කරනු ලබන්නේද මෙතුමියගේ දේශපාලන බලය භාවිතා කරමිනි. මේ නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන් යටතේ පාලනය වන රක්ෂිත ප‍්‍රදේශ තුළ නීති විරෝධී ලෙස මෙම ගල්කොරි පවත්වා ගෙන ගිය ද ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග නොගෙන මුනිවත රකිති.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම ගල්කොරි පවත්වා ගෙන යයි. මේ වගන්තියට අනුව රක්ෂිත වනයක් තුළ ගල් කැඞීම, ශාක ඉවත් කිරීම, මාර්ග තැනීම යන සියලූ ක‍්‍රියා නීති විරෝධී වේ. මේ ස්ථානයේ ගල්කොරිය පවත්වා ගෙන යාම සඳහා විශාල වනාන්තර ප‍්‍රදේශයක් ඉවත් කර ඇති අතර කඩා ඉවත් කරන ගල් ප‍්‍රවාහනය කිරීම සඳහා වනාන්තරය තුළ මාර්ග සකස් කිරීම් ද සිදු කර ඇත. මේ හානිකර ක‍්‍රියාවලට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඍජුව ක‍්‍රියාත්මක වීමේ හැකියාව ඇත.

මේ ආඥා පනතට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ මෙවන් හානිකර ක‍්‍රියාවක නිරත වන පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ අවස්ථාවක අවුරුදු 5 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ට නොඅඩු හා රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. එපමණක් නොව රක්ෂිත වනාන්තරයට සිදු කළ හානියට දඩයක් ලෙස වන්දි මුදලක් ගෙවීමට ද යටත් කළ හැකි ය. එවන් තත්ත්වයක් තිබිය දී කන්තලේ වන රක්ෂිතය මෙලෙස වනසද්දී වන සංරක්ෂණ නිලධාරීන් මුනිවත රැකීම කණගාටුවට කරුණකි.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වන වගන්තියට අනුව අභය භූමියක් තුළ වනාන්තර එළි පෙහෙළි කිරීම, කැණීම් කටයුතු සිදු කිරීම හා පාරවල් තැනීම නීති විරෝධී වේ. මේ සියලූම නීති විරෝධී ක‍්‍රියා මේ ගල්කොරි පවත්වා ගෙන යෑම සඳහා සිදු කර ඇත. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන රක්ෂිතයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත හා මේ පනතටම අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

නමුත් මේ සියලූම අන පනත් උල්ලංඝනය කරමින් දැනට කන්තලේ වන රක්ෂිතයේ හා නාවික වැඩබිම අභය භූමියේ ගල්කොරි පවත්වා ගෙන යාම සිදු කරයි. නමුත් ඊට එරෙහිව ඍජුව නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකි ආයතන දෙක වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිටීමෙන් පෙනී යන්නේ දේශපාලන බලය ඉදිරියේ මේ ආයතන රටේ රක්ෂිත වනාන්තර ආරක්ෂා කිරීමට උත්සාහ නොදරන ආකාරය යි.

ගල්මැටියාව ප‍්‍රදේශයේ නැවත ආරම්භ කිරීමට නියමිත ගල්කොරිය පිහිටා ඇත්තේ ගල්මැටියාව වැවේ ” වැව් බැම්ම” හා සම්බන්ධව ඇති කඳුවැටියේ ය. මේ වැවේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශය වන්නේද මේ වනාන්තර පද්ධතිය යි. ඉන් කුඹුරු යාය 3 කට පමණ ප‍්‍රධාන වශයෙන්ම ජලය සපයයි. මීට අමතරව මේ වනාන්තර පද්ධතිය හබරන සිට ත‍්‍රිකුණාමලය දක්වා විහි දී ඇති අලි ඇතුන් ගේ ප‍්‍රධාන ගැවැසුම් ප‍්‍රදේශයකි. මෙවන් වැදගත්කමකින් යුත් රක්ෂිත ප‍්‍රදේශයක ගල්කොරි පවත්වා ගෙන යාමෙන් එවායේ වටිනාකම සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකි ය.

W.G.M. Ariyawathi Galappaththi | http://www.ep.gov.lk/Councilindex.asp
W.G.M. Ariyawathi Galappaththi | http://www.ep.gov.lk/Councilindex.asp

මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ නැෙඟනහිර පළාත් සභාවේ සභාපති ධූරය හොබවන ආරියවතී ගලප්පත්ති මහත්මිය වැනි අය දේශපාලන බලය භාවිතා කරමින් රටේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කළ මෙවන් වූ ඉතාම වැදගත් රක්ෂිත වනාන්තර වැනසීමට සහයෝගය ලබාදීම කණගාටුවට කරුණකි. ඔවුන් උත්සාහ දරන්නේ තමන්ට ලැබෙන ඡන්ද වෙනුවෙන් රටේ සම්පත් වැනසීමටය. මේ බලය ඉදිරියේ නිලධාරීන් මුනිවත රැකීම කණගාටුවට කරුණකි.

අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ කන්තලේ වන රක්ෂිතයේ හා නාවික වැඩබිම අභය භූමියේ පවත්වා ගෙන යන සියලූම ගල්කොරි වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමටත් ඒවායෙන් සිදු වූ හානිවලට එරෙහිව නීති ක‍්‍රියාත්මක කර එම ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.

E 03

E02