සිංහල, Democracy, Hambantota, Human Security, Media

ජෙනරාල් නිදහස් කරන්නයි උද්ඝෝෂණය කළ පිරිසට හා මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී මැරයෝ පහරදෙති

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ සන්නද්ධ මැරයන් විසින් පහර දෙනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් උද්ඝෝෂකයන් කිහිප දෙනෙකුට හා මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තුවාල සිදුවූහ.
‛‛ අපි උද්ඝෝෂණයට පැමිණෙන කොට තංගල්ල නගරයේ තැන්තැන් වල පිරිස් රැඳිල ඉන්නව දැක්ක. උද්ඝෝෂණය ආරම්භ කරල ටික වෙලාවක් යනකොට පොලිසිය බලාගෙන හිටියදි අපට මැරයෝ පහර දුන්න. අපි දුවල පණ බේරගත්ත’’ පහර කෑමට ලක්වූ එක් පුද්ගලයෙක් අප සමග පැවසුවේ එසේයි.
පසුගිය දින කිහිපය පුරා රටපුරා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනිමට එරෙහිව උද්ඝෝෂණ පැවති අතර ඒ සෑම අවස්ථාවකදීම එවාට මැරප්‍රහාර එල්ල වුයේ පොලිසිය බලා සිටයදීය.පසුගිය බ්‍රහස්පතින්දා දෙහිඅත්තකණ්ඩියේදී ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට පැමිණි ජනතාවට පොලිසිය එලව එලවා පහරදුන්නේය. සුව එම අවස්ථා රූපගත කළ මාධ්‍යවේදින්ට අඩන්තේට්ටම් කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ කැමරාතුළ තිබූ සිද්ධියට අදාල රූපරාමු සියල්ලක්ම මකා දැමීමට කටයුතු කළාය.
මෙම සිදුවීම් වලින් තහවුරු වන්නේ මෙරට ජනයාට තමවිරෝධ පෑමට ඇති අයිතිය අහෝසි කරඇති ආකාරයයි. එසේම එම අයිතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින මාධ්‍යවේදින්ටද පහරදීම මඟින් සියල්ල යටපත් කිරීමේ උත්සාහයකද රජය නිරතවෙමින් තිබෙන බවයි. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවන බව කිව යුතුය.