Features

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර අදට දින 100 යි – ‛මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරනවා’ අමාත්‍ය ජී.එල්. පීරිස්


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 100ක් ගතවෙමින් ඇත. ප්‍රගීත් අතුරුදහන් කලේ පසුගිය ජනවාරි 24වනදා ය. දින 100ක් ගතවන මේ මොහොතේත් ප්‍රගීත් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති අතර විසිවසරක සිර දඩුවම නියම වී, ඇපමත මුදා හැර සිටි මාධ්‍යවේදී ජේ. එස් තිස්සනායගම් ට ඊයේ(03) ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රධානය කළේ ය. ඒ පිළිබඳව අදහස් දක්වමින් ජී. එල්. පීරිස් අමාත්‍යවරයා කියා සිටියේ ‛‛ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා වැදගත් තීරණයක් ගනිමින් මාධ්‍යවේදී තිස්සනායගම් මහතා නිදහස් කළ බවත්, එය ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවත් ‛ලෝක පුවත්පත් නිදහස් දිනය’ සමරමින් එවැන්නක් සිදුකිරීම අතිශය වැදගත් බවත් ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වර්තමාන රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.’’

මෙසේ පවසමින් මාධ්‍යවේදී තිස්සනායගම්ට ජනාධිපතිවරයා සමාවක් දී තිබේ. (මෙම සමාව දීමේ කොන්දේසි කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. එසේම තිස්සනායගම්ට දඩුවම් දීමට යොදා ගත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි දණ්ඩනයන් ඉවත් කර ගැනීම පිළිබදව ද ආණ්ඩුවට අදහසක් නැත.) නමුත් මෙම තීරණය ඉතාමත් හොඳ තීරණයක් ය. අගය කළ යුතු තීරණයක් ය. තවද සමාව දුන් තිස්සනායගම්ට සියලු අයිතිවාසිකම් ද ලබා දිය යුතුය. ඔහුට නිදහස් පුරවැසියෙක් ලෙස ජීවත්වීමට අවශය පරිසරය සැකසිය යුතුය.

නමුත් ලංකාවේ ඇති මෙවැනි තත්වයන් තුළ ජී. එල්. පීරිස් අමාත්‍යවරයා ලංකාවේ ‛මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරන බවට’ හඬ නඟන විට ඊයේ ජනාධිපතිවරයා සමාව දුන් තිස්සනායගම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ රුස්වීම්වලට ස්ථානයක් වෙන් කරවා ගැනීමට පවා ‛තිස්සනායගම් නිදහස් කර ගැනීමට’ උරදුන් ක්‍රියාකාරිකයන්ට පසුගිය කාලයේදී නොහැකි විය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ රාජ්‍යයෙහි සහ යුදමය ප්‍රතිපත්තීන් විවේචනය කළ සහ සත්‍ය වාර්තා කළ මාධ්‍යවේදීන් මරා දැමුනේ ද ලංකාවේ ය. අත්අඩංගුවට ගත්තේ ද ලංකාවේ ය. පහරදුන්නේ ද ලංකාවේ ය.

එබැවින් පැහැදිලිවම තිස්සනායගම්ට සමාව දුන්නේ, මහින්ද රාජපක්ෂ පාලනය පශ්චාත් යුද සමයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්වීමට ය. අහිමී වී ඇති ජීඑස්පී ප්ලස් ලබා ගැනීමට ය. එයටත් වඩා ලෝක පුවත් පත් නිදහස් දිනයේදී තිස්සනායගම්ට සමාව දුන්නේ, පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, පහර දුන් රටේ, දැන් මාධ්‍ය නිදහස ඇති බව ලෝකයාට පෙන්වීම ය. නමුත් අද වන විටත් ප්‍රගීත් සොයාගැනීමට කිසිවෙකුත් සමත් වී නැත.

මාධ්‍යවේදී තිස්සනායගම්ට සමාව දෙනු ලබන විට දින 99ක් ගතවන විට මාධ්‍යවේදී ප්‍රගීත් පිලිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති තත්වයක මෙසේ මාධ්‍ය නිදහස පිළිබදව අදහස් දක්වන ආණ්ඩුවට, පසුගිය කාලය පුරාම මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට සිදු වූ මෙවැනි තර්ජනයන්ට, පහරදීම්වලට, පැහැරගෙනයාම්වලට සහ ඝාතනය කිරීම්වලට සම්බන්ධ කිසිවෙකුත් නීතිය ඉදිරියට ගෙන ඒට නොහැකි වී ඇති අතර ‛පුවත්පත් නිදහස් දිනය’ පිළිබඳව අදහස් දැක්වූ ජී. එල්. පීරිස් අමාත්‍යවරයාට එදිනට අතුරුදහන් කර දින 99ක් ගතවූ මාධ්‍යවේදී ප්‍රගීත් පිළිබඳව යම් වැදගත් අදහසක් ප්‍රකාශ කිරීමට ද නොහැකි වීම ය.