රජයේ ස්වාධීන ආයතනයන් නොබියව තම කටයුතු ඉටුකිරීම නිසා ජනාධිපතිවරයා කල දෝෂාරෝපනය සහ එමගින් දුෂිතයන්ට සහ මිනී මරුවන්ට පක්ෂක්ග්‍රාහීව තම අදහස් දැක්වීම ලාංකීය දේශපාලන ඛේදවාචකයේ නව පෙළගැසීමක් සටහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සහ අල්ලස් කොමිසමට තම භාරදුර කාර්ය ඉටුකිරීම නිසා පලකල දැඩි විවේචනය ලංකාවේ දේශපාලනය තවදුරටත් ආගම්වාදී සහ ජාතිවාදී මඩගොහොරුවට ගෙන යාමකි. තවදුරටත් යහපාලන ආණ්ඩුව මෙතෙක් පැවති දේශපාලන සහ සදාචාරමය මාවතින් පීලිපැන අලුත් ආගම්වාදී සහ ජාතිවාදී මාවතකට අවතීරණය වීම වැළක්විය නොහැකි ය. ජනාධිපතිවරයා විසින් එම බලවේග ශක්තිමත් කරමින් එළිපිටම ජනවාරි 8 දා තමන් බලයට පත්කළ මිලියන ගණනක ජනතාවගේ අපේක්ෂාවන් නිශේධනය කිරීමට ජාතිවාදී සහ දුෂිත බලවේග සමග අත්වැල් බැඳ ගනු ඇත. මේ තත්ත්වය අහම්බයකින් ඇති වුවක් නොවේ. ජනාධිපතිවරයා ඊයේ කල කතාවේ දෘෂ්ටි වාදිමය බීජයන් ගෙන අවේ ශ්‍රීලනිපයෙන් කැඩී රාජපක්ෂ විරෝධී පෙරමුණ සමග එක්වීමත් සමගය. ශ්‍රීලනිපයේ ආධිපත්‍ය මතවාදය වූ සිංහල බෞද්ධ දෘෂ්ටි වාදයේ මහිමය තුලින් තම දේශපාලන අපේක්ෂාවන් පෝෂණය කරමින් සහ බලය සදහා ඇති ගිජුකම කරන කොට ගෙන ඒ කරා හඹා යමින් සිටියේ ය. නමුත් රාජපක්ෂලා නිශ්චිත ලෙස එම බලාපොරොත්තු බොඳ කල මොහොතක පොදු අපේක්ෂකත්වයට වැටුනා මිස පක්ෂයේ ආධිපත්‍ය ධාරී මතවාදයෙන් වියෝවීමක් හෝ නිශ්චිත වූ විභේදනය ක් ඔහු තුල සිදුවුනේද යන්න මෙහිදී මතුවන මුලික ප්‍රශ්නයකි. මේ සමගම ඉතාමත් බරපතල දේශපාලන ක්‍රියාදාමයකට ජනාධිපතිවරයා අත ගැසුවේය. එනම් ශ්‍රීලනිපයේ සභාපතිකම ලැබීමත් සමගම ශ්‍රීලනිපයේ රාජපක්ෂ ලා සමග මේ රටේ ජනතාව පෙලනු ලැබූ දුෂණ වලට සම්බන්ධයක් ඇති අයෝග්‍යය පුද්ගලයන්ට ඉවක් බවක් නැතිව තාන්න මාන්න දෙමින් තමාගේ පක්ෂ සභාපතිත්වය තහවුරු කර ගැනීමයි.

එය යහපාලනය තුල දෘෂ්ටිවාදීමය සංයුතිය වෙනස් කිරීමට බලපෑමක් ඇති කරනු ලැබීය. එමගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාවේ කොටස් උසාවියට ගෙනයාමට විරෝධය පෑමට තරම් දේශපාලන සහ දෘෂ්ටිමය වශයෙන් ජනාධිපතිවරයා දිරිමත් විය.

නමුත් රාජපක්ෂලා පරාජය කිරීමට ඔහුගේ දායකත්වය ලැබීම ඔහු විසින් ඉටුකරන ලද ප්‍රගතිශීලී කාර්යයක් බව මෙහිදී අමතක නොකළ යුතුය.

යහපාලන ආණ්ඩුව ගොඩ නැගීමට එකතු වූ දේශපාලන බලවේග මේ අලුත් දේශපාලන තත්වය සහ එහි යථාර්තය පිලිබදව කරන දේශපාලන තක්සේරුව අතිශයින්ම තීරණාත්මකය. ජනාධිපතිවරයා මෙතෙක් පවත්වාගෙන ආ ස්ථාවරයෙන් විතැන්වීම නිසා රාජපක්ෂ පරාජය කිරීමට ගොඩ නැගු රාජපක්ෂ විරෝධී හෙජමොනික පෙරමුණ දැන් ඉරිතලා ඇත. ඒ හෙජමොනික පෙරමුණේ එක් බලා පොරොත්තුවක් වුයේ මේ රටේ රාජ්‍යය ප්‍රතිසංස්කරනයකොට ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමයි.

ජනාධිපතිවරයාගේ අලුත් දේශපාලන ස්ථාවරය මේ ඉලක්කය කෙරේ කොතරම් සමපාතවන්නේ ද යන්න බරපතල දේශපාලන ප්‍රශ්නයක් ලෙස පැන නගියි. අනික් පැත්තෙන් ජනාධිපතිවරයා සැරසෙන්නේ රාජපක්ෂලා සමග සිංහල ජාතිවාදී ස්ථාවරය සඳහා තරඟ වැදීමටය. එමනිසා ශ්‍රීලනිපය තුල සහ යහපාලන ආණ්ඩුව තුල ජාතිවාදී බලවේගයන්ගේ ශක්තිය වැඩිවීම නිසා එය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බලවත් ගැටළුවක් ඇති කරනු ලබනවා ඇත. ජාතිවාදයෙන් සහ ආගමික වාදයෙන් මෙන්ම දුෂණයෙන් පිරි රටක කටුක වූ දේශපාලන යථාර්තය මෙයයි. ජනතාව මෙයින් ඉගෙන ගන්නා අමිහිරි පාඩම සහ බලාපොරොත්තු සුන්වීම අතින් මෙය තාවකාලික දේශපාලන පසු බෑමක් ලෙස අපි සැලකිය යුතු වෙමු.

සංහිදියාව පිළිබද තත්වයද මේ අලුත් පේලි ගැසීම නිසා අඩාල වී අවුල් සහගත තත්වයකට අද වැටෙනු ඇත. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,උතුරේ ජනතාවගේ ඉඩම්, ඒවායේ යුද්ධයට පෙර පදිංචිව සිටි ජනතාවට ලබාදීම මෙන්ම අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීම ද දේශපාලන න්‍යාය පත්‍රයේ ඉටු නොකළ හැකි අංගයන් ලෙස පැවතීමට පුළුවන් කම ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් කිරීම සහ ඝාතනය මෙන්ම අවන්ගාඩ් දුෂණය ද සත්තකින්ම කල් ගතවන පරීක්ෂනයන් ය. ඒවා ඉතාමත් සුක්ෂම ලෙස සලසුම් කොට ඇති නිසා සාක්කි ඉදිරිපත් කිරීම කල් ගතවන කටයුතුය. ප්‍රගීත්ට යුක්තිය ඉටුකිරීම පිණිස ඔහුගේ බිරිඳ වූ සන්ධ්‍ය එක්නැලිගොඩ ගේ දිරිය සහ උද්ගෝෂණය දෙගුණ තෙගුණ වනු ඇත. මෙම පරීක්ෂණ කල් ගැනීම පිලිබදව ජනධිපතිවරයාගේ කෝපය කෙතරම් දේශපාලන වශයෙන් සහෙතුකද නොවන්නේද යන්න මේ රටේ රාජපක්ෂ පාලනයෙන් පීඩා විඳි වින්දිතයන් සහ සෙසු මහජනතාව දනී. ජනවාරි 8 ජයග්‍රහණයෙන් උද්දාම වූ ජනතාව මේ කටුක දේශපාලන සත්‍යයෙන් පාඩම් ලබා ප්‍රජාතන්ත්‍ර වාදය සඳහා වූ අරගලය නොකඩවා ගෙන යනු ඇත.

dayapala-thiranagamaදයාපාල තිරාණගම | Dayapala Thiranagama