iMAGE: [email protected] event logo

දුරකථනයක් ලැබෙන තෙක් අප බලා සිටියේ වසර කිහිපයක් පමණකි. ඒ 1990 ගණන් මුල දශකයකට ආසන්න කාලයක් පොරොත්තු ලැයිස්තුවක සිටි සමහර පවුල් ගැන අපි දැන උන්නෙමු. ශ‍්‍රී ලංකා ටෙලිකොම් කැරකෙන මුහුණතක් සහිත උපකරණය රැගෙනැවිත් සවි කර තිබුණේ මා පාසලේ සිටි අතරක ය. සිරිලක සිත් ඇද බැඳ ගත් මුල් ම මෝටරෝලා ජංගම දුරකථනවලට සමාන බරකින් යුතු එම ඒකකය අද අප අමතනයක් ලෙස සලකන කිසිවකට සමාන වූයේ යන්තමිනි. එය වඩාත් සමීප වූයේ ජිම් උපකරණයකට ය. මම ඊට වසඟ වූයෙමි. කිසි හේතුවක් නැතිව හුදෙක් දුරකථනය පරිහරණය කිරීමේ ආසාව නිසා ම මිතුරෙකු ඇමතුවෙමි. ඒ වන විට ඔහු අවසන් වරට හමු වී හෝරාවක් වත් ගතව නොතිබිණ. ඔහු ජීවත් වූයේ ගල්කිස්සේ ය. අප දෙදෙනාට ම තිබුණේ ඉලක්කම් පහේ දුරකථන අංක ය. සිත් කැලඹුණු අපි බොහෝ වේලාවක් අනන් මනන් දොඩමින් කල් ගත කළෙමු. මගේ පියා පැමිණ ඇමතුම මිල අධික බව ඉතා සියුම් ලෙස මට මතක් කර දුන්නේ ය. මා පළමු වරට කාර්ය බහුල හා කාර්ය බහුල නොවන අය කිරීම් ගැන දැන ගත්තේ එවිට ය. තව මත් නිතැතින් ජාත්‍යන්තර අංකයක් ඇමතිය නොහැකි විය. ඒ සඳහා පූර්ව අනුමැතියක් ලබා ගත යුතු විය. කල් තියා මුදල් ගෙවිය යුතු ද විය. ඇරත් විනාඩියකට රුපියල් සිය ගණනකි. අමතන රට අනුව ගාස්තුව වෙනස් විය. අන්තර්ජාලය (Internet) නොවී ය. විශ්ව විසිරි වියමන (Web)  නොවී ය. ස්මාට් දුරකථන නිපදවා නොතිබිණ. සමාජ මාධ්‍යය නිර්මාණය කර නොතිබිණ. මා සතුව පරිගණකයක් තිබුණේ නැත. පරිගණකයක් වෙත මට ප‍්‍රවේශය තිබුණේත් නැත. එය මුළුමනින් ම ප‍්‍රතිසම ලෝකයක් විය. ඩිජිටල් සංඥාවක් වී නම් කැසියෝ විසින් නිමවන ලද දෙය පමණකි. එය මගේ මැණික් කටුව වෙළා ගෙන සිටියේ ය. එවක මා කතාබහේ යෙදුණු අවස්ථා කිහිපයේ දී ම ඇමතුම සම්බන්ධ වීම නිසා හට ගත් අව්‍යාජ මවිතය පළ කිරීමටත් අනතුරුව අප දුරකථනයක් හරහා කතා කරමින් සිටිනවා නොවේ ද යන විස්මය පළ කිරීමටත් මුල් විනාඩි කිහිපය ගෙවී ගියේ ය.

ඒ වන විට ඇරඹී යන්තම් වසර 6ක් ගතව තිබුණු විශ්ව විසිරි වියමනට පිවිසීමේ හැකියාව ද සහිතව මගේ ප‍්‍රථම පෞද්ගලික පරිගණකය මට ලැබුණු පසුව ද ‘ගොඩයාට මැජික්’ මොහොතවල් තිබිණ. ඊට පෙර සහ එවක පවා ශ‍්‍රී ලාංකිකයන් විසින් අරඹන ලද බුලටින පුවරු කිහිපයක් විය. මා ඒ ගැන අසා තිබිණ. එහෙත් වරක් වත් පිවිස නොතිබිණ. මගේ සාක්කුවේ තිබෙන දුරකථනය දැන් ඒ මුල් පරිගණකයේ ක‍්‍රියායන බලය ( Processing Power) කිහිප ගුණයකින් ම ඉක්මවා ගොස් ඇත. එකල්හි විශ්ව විසිරි වියමනේ ප‍්‍රතිඥාව – එකිනෙකා ලොව කොතැන සිටියත් සම්බන්ධ කරමි – නැවුම් ද අසිරිමත් ද සිත් කලඹනසුලූ ද විය. වෙසෙසින් ම කිසි දා රටින් බැහැරට ගොස් නැති හෝ රට තුළ එතරම් සංචාරය කර නැති කෙනෙකුට එය එසේ විය. මුල් කාලීන යාහූ (Yahoo)  අඩවියටත් අල්ටා විස්ටා ( Alta Vista) සෙවුම් යන්ත‍්‍රයටත් මගේ සිත ඇදී ගියේ ය. මගේ පියා British PC Magazine සඳහා දායකත්වය (Subscription)  ලබා ගෙන තිබුණි. වීඩියෝ රූපාවලි හා ජායාරූප වල සිට අත්හදා බැලීම සඳහා සැපයෙන වැඩසටහන් (Shareware) දක්වා අන්තර්ගතයකින් සපිරි CD-ROM එකක් ද ඈඳන ලදුව සෑම මාසයක ම නිකුත් වන ඒ සඟරාව එකල ඉතා මිල අධික විය. මෙය මගේ ජීවිතයේ දී මා පරිගණක ක‍්‍රීඩාවලට බෙහෙවින් ආශා කළ සමයක් ද විය. භූමිකා නිරූපණ හෝ ක‍්‍රමෝපායාත්මක ක‍්‍රීඩාවලට වඩා මා ඇදී ගියේ වෙඩි තැබීම්වලට හා ව්‍යාජ ගුවන් යානාවලට ය. (Quake, Duke Nukem 3D and Super Eurofighter 2000 මගේ සිත වඩාත් ඇද බැඳ ගත්තේ ය).

මම මගේ පරිගණකය මුළුමනින් ම කැබලි කර යළි එකලස් කළෙමි. ඒ ක‍්‍රියාවලියේ දී මම ඒකාබද්ධ පරිපථ, මව් පුවරු, ඉලෙක්ට්‍රොනික විද්‍යාව (integrated circuits, motherboards, electronics ) හා සියල්ල ක‍්‍රියා කරන හැටි උගත්තෙමි. යමක් හරියාකාරව ක‍්‍රියා කළේ නම් මා එය කඩා බැලූවේ කිසි බාධාවකින් තොරව එය ක‍්‍රියා කරන්නේ කෙසේ දැයි දැන ගැනීම සඳහා ම පමණකි. එහෙත් මා වැඩියෙන් ම නැවත නැවතත් හැරුණේ විශ්ව විසිරි වියමන දෙසට ය. තනිව ම HTML  බස උගත් මම මගේ ම වෙබ් අඩවි නිර්මාණය කිරීම අරඹා පළමු වැන්න Geocities සත්කාරයෙන් දියත් කළෙමි. දැන් ඕනෑ ම සමාජ මාධ්‍ය වේදිකාවක දැක ගත හැකි විසකුරු බවට සමීප කිසිවක් මා මතකයට නගා ගත නොහැකි ය. මම හොට්මේල් (Hotmail )අඩවියෙහි ලියාපදිංචි වුණෙමි. එම අඩවියෙන් සැපයුණු මෙගාබයිට් 2ක් වූ ගබඩා පහසුකම මා අමන්දානන්දයට පත් කළේ ය. ඉන් වසර කිහිපයකට පසුව, ’90 ගණන් අග මා විශ්වවිද්‍යාලයෙන් පිට වීමට ඔන්න මෙන්න කියා තිබිය දී, යාහූ (Yahoo) අඩවියෙහි ලියාපදිංචි වුණෙමි. එකල එය සිය සාමාජිකයන්ට දෙගුණයක ගබඩා පහසුකමක් පිරිනැමුවේ ය. දිල්ලියේ සිටිය දී, බොහෝ විට මගේ දෙමව්පියන්ට ලිවීමට, සයිබර් අවන් හල්වල තිබූ අබලන් පරිගණක යොදා ගනිමින් යාහූ අඩවියට පිවිසුණෙමි. ඉඳ හිට නවදිල්ලියේ පිහිටි බි‍්‍රතාන්‍ය කවුන්සිලයට ගිය මම (මගේ මතකය නිවැරදි නම් කොම්පැක් සමාගම (Compaq) විසින් නිෂ්පාදිත) පරිගණකයක් අඩ හෝරාවක් පාවිච්චි කිරීමට අධික මිලක් ගෙවූයෙමි. ඒවා පිරිසිදු විය, නැවුම් සුවඳින් යුතු විය, නිරන්තර බිඳ වැටීම්වලින් තොරව ක‍්‍රියාත්මක විය. ඒ ගිණුම් දෙකෙන් ආ ගිය විද්‍යුත් තැපැල් පණිවුඩ අදත් මා සතුව ඇත. ඒත් ආච්චිටත් සීයාටත් ලියන විට අදටත් මා පුරුදුව සිටින්නේ එයරොග‍්‍රෑමයක (Aerogrammes)  අතින් ලියා ගුවන් තැපෑලෙන් යැවීමටය.

එකල ගිගාබයිට් 1ක විස්මය දනවන ගබඩා පහසුකමක් පිරිනැමූ – යවන ලද වහා ම විද්‍යුත් තැපැල් පණිවුඩ මකා නොදැමූ – ජීමේල් (Gmail) අඩවිය දියත් කෙරුණේ 2004 තරම් පසු කාලයක ය. එවකට ජීමේල් අඩවියට එක් වන ලෙස අනෙකුන් සමග බෙදාහදා ගැනීම සඳහා කෙනෙකුට ලැබෙන ආරාධනා කිහිපය තමන් ඉමහත් පිළිගැනීමකට ලක් වීමක් සේ සැලකූ සැටි මට තව මත් මතක ය. එවක මා ඕස්ටේ‍්‍රලියාවට වී මගේ ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින් සිටිය දී මගේ මිතුරෙකු ජීමේල් අඩවියට කෙරෙන ආරාධනාවක් බෙදාහදා ගැනීමේ පොරොන්දුව මත පෙම් සබඳකමක් ඇති කර ගත් සැටි මට අදටත් මතක ය. 2000 ගණන් මැද වන විටත් විශ්ව විසිරි වියමන  එය ‘90 ගණන්වල පැවති තත්ත්වයෙන් බෙහෙවින් වෙනස්ව තිබිණ. නෙට්ස්කේප් (Netscape) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) සිය බ‍්‍රවුසර යුද්ධවල යෙදී තිබිණ. ක්‍රෝම් (Chrome )අඩවිය තව මත් වර්ධනය කර නොතිබිණ. මා වැඩි කැමැත්තක් දැක්වූයේ නේට්ස්කේප් අඩවියට ය. එහෙත් විශ්වවිද්‍යාලයේ සියල්ල ම සැලසුම් කර තිබුණේ මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ‍්‍රවුසරය (Microsoft’s Internet Explorer) මත පමණක් ක‍්‍රියා කරන පරිදි ය. අයිෆෝන් ( iPhone) දියත් වීමට තවත් වසර ගණනාවක් ම ගත විය. ඒත් ඒ වන විට මා සතුව ජායාරූප ගැනීමටත් වීඩියෝ කර ගැනීමටත් හැකි Nokia  දුරකථනයක් තිබිණ. අද වන විටත් කවුරුන් හෝ ළඟ ඒ වර්ගයේ දුරකථනයක් ඇත් නම් එහි පික්සල් පරාසය කලාවක් ලෙස සැලකෙනු ඇත. මේ කාලයේ දී මම අද ද ක‍්‍රියාත්මක බ්ගොල් එක්තැන් කරන්නක් වන Kottu.org අඩවියෙහි සිටි කුඩා ප‍්‍රජාවක් සමග එක් වෙමින් බ්ලොග්කරණයෙහි නිරත වීමට පටන් ගතිමි.

එළඹෙන වසරවල දී විශ්ව විසිරි වියමනේ අන්තර්ගතයට පිවිසීම සඳහා වැඩියෙන් ම යොදා ගැනෙනු ඇත්තේ ජංගම දුරකථන යැයි අනුමාන කරමින් 2008 වන විට මම මාධ්‍ය වේදිකාවක් වෙනුවෙන් රටේ ප‍්‍රථම ෆේස්බුක් පිටුව ද ජංගම දුරකථනයට ගැළපෙන පරිදි එම අඩවියේ සංස්කරණයක් ද නිර්මාණය කළෙමි. ඉතා කුඩා, අඩු විභේදනයක් සහිත වර්ණ තිරය මත වෙබ් අඩවියක අක්ෂර පමණක් ඇති සංස්කරණයකට පිවිස මගේ පැරණි Nokia 3110 දුරකථනය යොදා ගනිමින් නිර්මාණය කළ යූටියුබ් වීඩියෝව දකින හැම විට ම මගේ මුහුණට මඳ සිනාවක් පහළ වෙයි. අපි තාක්ෂණිකව ඉතා දිගු ගමනක් පැමිණ ඇතත් ප‍්‍රසිද්ධ සන්නිවේදනයේ, සංවාදයේ හා අන්තර්ගතය නිර්මාණයේ තාන ගුණයත් ස්වර ගුණයත් මැදහත් හඬත් පිරිහී ඇත.

බොහෝ විට අසන නමුදු විශ්ව විසිරි වියමනේ ඊළඟ 30 වසර කෙබඳු වේ දැයි මම නිසැකව නොදනිමි. පසු ගිය දශක තුන ගෙවී ගිය පරිදි නම් 2049 වන විට සම්බන්ධතාව හා ඩිජිටල් අන්තර්ගතය කෙබඳු වේ දැයි අද දින කල්පනා කිරීම මුළුමනින් ම නිරර්ථක කටයුත්තක් වන්නේ ය. ඒ වන විට මා සිටියොත්, මෝඩමයක් අන්තර්ජාලය සමග සම්බන්ධ වන හඬ පවා – එකිනෙකාට ප‍්‍රිය මනාප වීමට එකඟව ඇති නමුත් නොදැනෙන්නට හෝ ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙන ඉතා කුඩා, ලෝහමය හඬක් නගන ස්පීකරයක් හරහා හඬ නගා පරිවර්තනය වෙමින් පරිගණකයේ සන්නිවේදන ක‍්‍රියා පටිපාටි නගන අමිහිරි හඬ පවා – මට නෑසෙනු ඇත. තමන්ට ඇමතුමක් ලබා ගැනීම සඳහා අන්තර්ජාලයෙන් විසන්ධි වන්නැයි මගේ දෙමව්පියන් මගෙන් ඉල්ලා සිටි සැටි මට තව මත් මතක ය. දුරකථනය කාර්ය බහුල සේ පෙනී ගිය නිසා කිසි විටෙක මගේ දෙමව්පියන්ට ඇමතිය නොහැකි වූ බව කියූ ඥාතීන් ද මගේ මතකයේ රැඳෙනු ඇත, මට අමතක නොවනු නැත. දැන් ප‍්‍රාථමික වුව ද අදහස් හුවමාරු කර ගැනීමට මට එතරම් ම වුවමනා කළ අය සමග බෙහෙවින් අර්ථාන්විත වූ ආකාරවලින් මා සම්බන්ධ කළ පැරණි Nokia දුරකථනවල පැවති විනාශ කළ නොහෙන ගුණය අහිමි වීමෙන් මට ඉමහත් වේදනාවක් විඳීමට සිදු වනු ඇත. විසල් වූ ද අනිවාර්යයෙන් ම හිත හොඳින් පිළිගත්තා වූ ද ප‍්‍රජාවක අධ්‍යාත්මය, සාමූහිකත්වය හා එහි වූ අනිවාර්ය විනීත බව මට – ද නිසැක වශයෙන් ම ‘90 ගණන්වල විශ්ව විසිරි වියමන සමග සම්බන්ධ වූ බොහෝ දෙනෙකුට ද – දැනට මත් අහිමි වී ඇත. එවකට විශ්ව විසිරි වියමන ජීවිතයට ද සමාජයට ද දේශපාලනයට ද මුළුමනින් ම පිටස්තර විය. විනෝදාංශකාරයන්, අපමණ උනන්දුවෙන් පීඩිත වූවන්, ඉතා ළාබාලයන් හෝ වඩාත් වැඩිහිටියන් පමණක් ඊට ආකර්ෂණය වන්නට ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ටිම් බර්න්ර්ස්-ලී

විශ්ව විසිරි වියමනේ නිර්මාතෘ ශ‍්‍රීමත් ටිම් බර්න්ර්ස්-ලී ( Sir Tim Berners-Lee) තමන් කිසි දා නොසිතූ හෝ නොපැතූ අයුරින් තම නිර්මාණය විස්මිත පරිවර්තනයක් අත් කර ගෙන ඇති බව ගැන නිසි පරිදි සැලකිලිමත් විය. පසු ගිය සතියේ විශ්ව විසිරි වියමනේ ප‍්‍රථම දශක තුන සමරමින් දේවල් වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහු ප‍්‍රකාශනයක් නිකුත් කළේ ය. මුල දී තාක්ෂණික වූ දෙය, පිවිසීමේ දී උස් බාධකවලට මුහුණ දීමට සිදු වූ හා සමාජ-දේශපාලනික ජීවිතයට හා සිවිල් අනන්‍යතාවට බොහෝ දුරට පිටස්තර වූ දෙය, දැන් ඒවායේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන නිසා ඔහු සාර්ථක වේ දැයි සැක සහිත ය.

බර්න්ර්ස්-ලී නිර්මාණය කළ විශ්ව විසිරි වියමන සැබවින් නම් පවතින්නේ ජාල ක‍්‍රියා පටිපාටියක ස්වරූපයෙන් පමණකි. ඔහුගේ මුල් නිර්මාණය දැන් දේශපාලනය, මැතිවරණ, සමාජය, ආයතන, අනන්‍යතාව, සන්නිවේදනය, සම්බන්ධතා හා ප‍්‍රජාව ප‍්‍රකාශයට පත් කරන හා ගිනි තබන දෙයින් වෙන් කොට හඳුනා ගත නොහැකි ය. බිලියන සංඛ්‍යාත ජනයා ජීවමානව සිටීමට නම් සම්බන්ධ විය යුතු ය. ඊළඟ 30 වසර හොඳට හෝ නරකට මේ සියල්ලෙහි ප‍්‍රතිවිපාක අත්විඳිනු ඇත.

 

සංජන හත්තොටුව | Sanjana Hattotuwa

 

සංස්කාරක සටහන :  Groundviews වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක සංජන හත්තොටුව විසින් වෙබ් අවකාශයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් තම වෙබ් අඩවියේ පළ කරන ලද ” The Web at 30″නම් මෙම ලිපිය, සන්ඬේ අයිලන්ඞ් පුවත්පතේ 2019 මාර්තු 17 කලාපයේ පළ වූ අතර විකල්ප විසින් “WEB| විශ්ව විසිරි වියමනට 30 වසරක් !” යනුවෙන් මෙසේ පරිවර්තනය කරන ලදී .