iMAGE: AP Photo/Eranga Jayawardena

පටු අගතීන් සහ පක්ෂපාතීත්වයන් පසෙක ලා නැගී සිටිය යුත්තේය

‘ඉස්ලාමීය රාජ්‍යයට’ සම්බන්ධ අන්තවාදී ඉස්ලාම් කල්ලියක් විසින් ශ‍්‍රී ලංකාවේ අහිංසක සිවිල් වැසියන් බිහිසුණු ආකාරයෙන් ඝාතනය කරනු ලැබීම, මෙරට ආගමික, දේශපාලනික සහ සිවිල් ජන කණ්ඩායම් විසින් සේම ජගත් නායකයන් විසින් ද කොන්දේසි විරහිතව හෙළාදැක තිබේ.
ඒ සියල්ලන්ගේ පණිවිඩ තුළ එක් පොදු ආයාචනයක් ගැබ්ව ඇත. එනම්, අන්තවාදී කල්ලියක වැඩක් වන මෙය, යම් විශේෂිත ආගමක් හෝ ආගමික විශ්වාසයක් හෝ තළාපෙලා දැමීමට පාවිච්චි නොකළ යුතුය යන්නයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනතාව මේ මොහොතේ සිහිබුද්ධියෙන්, පටු පෞද්ගලික අගතීන් සහ පක්ෂ භජනයන් පසෙක ලා කටයුතු කළ යුතු බවයි.

මිනිසා කෘත‍්‍රීම ආකාරයෙන් මිනිසා  බේදබින්න කරවා ඇත

‘හෝමෝ සේපියානු’ හෙවත් ‘බුද්ධිමය මිනිසුන්’ වශයෙන් හැඳින්වෙන අපි, ලෝකයේ කොතැනක වුවත්, ජන්මයෙන් එක සමාන ය. ඒ අනුව, වෙනත් වර්ගවලට අයත් සත්ව කොට්ඨාශ මෙන් නොව, එකට මුහුවෙමින්, ප‍්‍රජනන ශක්තිය ඇති වර්ගයා බෝ කිරීමේ හැකියාව මනුෂ්‍යයාට තිබේ. මිනිස් වර්ගයා එකිනෙකාගෙන් වෙන් කරවන කිසිවක් ස්වභාව ධර්මයේ නැත. ඔවුන් එකිනෙකාගෙන් කෘත‍්‍රීම ආකාරයෙන් වෙන් කරගෙන ඇත්තේ ඔවුන්ම ය.

මේ ආකාරයට ඔවුන් සුදු, කළු, කහ සහ දුඹුරු ආදී වශයෙන් තමන්ව වාර්ගිකව වෙන් කරගෙන ඇත. පෙරදිග හෝ බටහිර වශයෙන් සංස්කෘතිකව වෙන් කරගෙන ඇත. ක‍්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු හෝ බෞද්ධ වශයෙන් ආගමිකව වෙන් කරගෙන ඇත. එබැවින්, මුළු ලෝකයම නානා විධ ජන කොටස්වල සංයුතියක් බවට පත්ව ඇති අතර, සෑම කෙනෙකුටම එවැනි සමාජයක් තුළ ජීවත් වීමට සිදුවන්නේ, වෙනත් අයගේ විවිධ චර්යාවන් හඳුනා ගනිමින්, වටහා ගනිමින් සහ අගය කරමිනි. එක් කණ්ඩායමක් තමන්ගේ චර්යා පද්ධති අනෙක් කණ්ඩායමක් මත පැටවීමට බැලූවොත්, එතැන ගැටුමක් ඇති වන්නේය. ඒ ගැටුම, එකිනෙකා දෙස සැකයෙන් බැලීමට තුඩුදෙන්නේය. එම සැකය, වෛරයටත් ඒ වෛරය ආක‍්‍රමණශීලීත්වයටත් තුඩුදෙන්නේය.

මිනිසා ඇතුළට පිපිරෙමින් සහ පිටතට පිපිරෙමින් විනාශයට පත්වීම

පැසවන කලහකාරීත්වය පාලනය කර ගැනීමට සමාජයක් අසමත් වෙතොත් ඇති වන නියත ප‍්‍රතිවිපාකය වනුයේ, විවිධ අයුරින් මිනිසා මිනිසාට වින කිරීමයි. පළමුව එය සිදුවන්නේ, මනෝමය තලයක විය හැකිය. ඒ අනුව, වෙනත් ජාතීන්ට සහ වෙනත් ආගම්වලට අයත් පුද්ගලයන්ව ප‍්‍රසිද්ධියේ හෙළාදකිනු ලැබේ. ඉන් පසු ඒ මනෝමය එදිරියථ ශාරීරික ප‍්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය කෙරේ. ඒ දෙයාකාරයේම කලහකාරීත්වය විනාශකාරී ය.

මනෝමය ප‍්‍රහාරයන් මගින් කෙරෙන්නේ, ස්වකීය බුද්ධිමය විචාරය මැඩපවත්වා ගැනෙන, යටපත් පුද්ගලයෙකු බවට මිනිසාව පත්කිරීමයි. එයින් මිනිසා ඇතුළතින් පුපුරා යයි. ශාරීරික ප‍්‍රහාරයෙන් කෙරෙන්නේ, පිටතින් පුපුරුවා හැරෙන ක‍්‍රියාවලියක් තුළින් මිනිසාව විනාශ කර දැමීමයි. ශ‍්‍රී ලංකාව, මේ දෙයාකාරයේම ප‍්‍රහාරයන්, කිසි දඬුවමකට යටත් නැතිව, එක ජන වර්ගයකට එරෙහිව තවත් ජන වර්ගයක් දියත් කරනු අප අත්දැක තිබේ.

ආසන්නතම උදාහරණය වන්නේ පසුගිය දා අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් ඇති කළ මහා සංහාරයයි. ලේ ගංගාවයි. එවැනි සංහාරයක් කරන්නේ කවුරුන් වුවද, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහජීවනයට මාරක අනතුරකි. මන්ද යත්, ඒ මගින් මිනිසාට ජීවත් වීමට ඇති අයිතියත්, සාමයෙන් සමෘද්ධියට පත්වීමට ඇති අයිතියත් උදුරා ගැනෙන බැවිනි.

මිනිසා හැම දාමත් තමන් සමඟ සටනක නිරත විය

ඉතිහාසය පුරාම සිද්ධ වී ඇත්තේ මේ මාවතේ යමින් තම තමන් විනාශ කර ගැනීමකි. මධ්‍යතන යුගයේදී ක‍්‍රිස්තියානි ලබ්ධිය සහ ඉස්ලාම් ලබ්ධිය අතර සටන් සිදු විය. දෙපාර්ශ්වයටම අවශ්‍ය කෙළේ අනිත් පාර්ශ්වය විනාශ කර දැමීමෙන් සටන අවසන් කිරීමටයි. එයින් අතිශය ගොරතර සටන ඇති වුණේ යෙරුසලමට අයිතිය පෑම සඳහා ය. මේ දෙපාර්ශ්වයම, ඒ භූමිය තම ආගමේ කේන්ද්‍රය වශයෙන් සැළකීය. ඉතිහාසඥ යුවාල් නොවා හරාරි තමන්ගේ ‘සේපියන්ස්’ නැමැති කෘතියේ පෙන්වා දෙන පරිදි, මේ යුද්ධයේ ඇතැම් අවස්ථාවක යෙරුසලමේ පාරවල් වළලූකර උසට ලේ ගංගාවකින් පිරී යන තැනට මනුෂ්‍යයන් ඇන කොටාගෙන තිබේ.

එහෙත් කාර්මික විප්ලවයේ සම්ප‍්‍රාප්තියත් සමග ඇති වූ සාමාන්‍ය ආර්ථික සමෘද්ධිය හේතු කොටගෙන, සටන් ආරම්මණය ආගමෙන් ආර්ථිකයට විතැන් විය. පළමු ලෝක යුද්ධයත්, දෙවැනි ලෝක යුද්ධයත් දියත් වුණේ, ආගමික ආධිපත්‍යයක් වෙනුවෙන් නොව, ආර්ථික ආධිපත්‍යයක් වෙනුවෙනි. එසේ වෙතත්, මෑතක සිට, ආර්ථිකය තවමත් ප‍්‍රධාන සාධකය වශයෙන් පැවතිය ද, සටන් ආරම්මණය වාර්ගිකත්වය සහ ආගම දිසාවට මාරු වී තිබේ.

අද ඇත්තේ ගෝලීය ත‍්‍රස්තවාදයකි

මේ යුද්ධ එක කේන්ද්‍රයක සිට පෘථුවියේ විවිධ තැන්වලට ව්‍යාප්ත වෙද්දී එය ගෝලීය ත‍්‍රස්තවාදයක් බවට වැඩි දියුණු වී තිබේ. එසේ ලෝක මට්ටමට ත‍්‍රස්තවාදය රැුගෙන ගිය මෑත කාලීන එක් සංවිධානයක් වන්නේ ‘ඉස්ලාමීය රාජ්‍යය’ වශයෙන් හැඳින්වෙන කණ්ඩායමයි. ඔවුන්ගේ අරමුණ වන්නේ, මීට සියවස් ගණනකට කලින් තිබූ, ‘කැලිෆේට්’ නමින් හැඳින්වෙන මුස්ලිම් අධිරාජයෙකුගේ පාලනයට සමානත්වයක් දරන, තනි ඉස්ලාමීය රාජ්‍යයක් බවට මුළු ලෝකයම පත්කිරීමයි. මේ සංවිධානය සතුව තිබු හමුදාමය බලය, ඔවුන්ගේ පරිපාලනික කේන්ද්‍ර වශයෙන් පවත්වාගෙන යමින් සිටි ඉරාකයේදී සහ සිරියාවේදී එල්ල කෙරුණු ප‍්‍රතිප‍්‍රහාර මගින් මේ වන විට මැඩපවත්වා ඇතත්, තම බලය පෙන්වීම සඳහා ලෝකයේ වෙනත් හුදෙකලා තැන්වල ප‍්‍රහාරයන් දියත් කිරීමේ වෑයම ඔවුන් අතහැර නැත. ඔවුන් විසින් පසුගිය දා ශ‍්‍රී ලංකාවේ දියත් කළ ප‍්‍රහාරය එම ප‍්‍රතිපත්තිය සමග පෑහෙයි. එහිදී ඔවුන්ට කිරීමට තිබී ඇත්තේ, තම මූල්‍යමය ශක්තිය සහ දෘෂ්ටිවාදීමය ආරලූබුරලූ පාවිච්චි කොට, මේ ප‍්‍රහාරයන් දියත් කිරීම සඳහා අවශ්‍ය දේශීය ඒජන්තයන් සොයා ගැනීම පමණි.

ආර්ථික ගෝලීයකරණය සමඟ ඇති සමානතා

ඒ අනුව, බොහෝ අංශවලින් එය ආර්ථික ගෝලීයකරණයට කිට්ටු සමීපත්වයක් දක්වයි. ඒ දෙකම උපදින්නේ විදේශයේ ය. අවශ්‍ය ආධාර ගලා එන්නෙත් විදේශයෙනි. ඒ අනුව කෙරෙන දේශීය බඳවා ගැනීම් හරහා ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා අවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කෙරේ. එකම වෙනස වන්නේ, ආර්ථික ගෝලීයකරණය, සමාජය අභිමත ගෝලීය යහපත නිෂ්පාදනය කරන අතරේ ගෝලීය ත‍්‍රස්තවාදය සමාජය අප‍්‍රිය කරන ගෝලීය අයහපත නිෂ්පාදනය කිරීමයි. ගෝලීය යහපත මිනිසාගේ අභිවෘද්ධියට හේතුකාරක වන අතර ගෝලීය අයහපත මිනිස් අභිවෘද්ධියේ පරාභවයට හේතු වන්නේය. එබැවින් මේ දෙවැනුව කී දෙය, නොකැමැති පාරිභෝගිකයා මත පැටවිය යුත්තේ ත‍්‍රස්තවාදී මාර්ගයන්ගෙනි.

කැමැත්තෙන් සහ අකමැත්තෙන් යන අනුගාමිකයෝ

ජගත් ත‍්‍රස්තවාදීන්ට අවශ්‍ය කරන්නේ කුමක්ද? ඔවුන් තමන්ටම ආවේණික දෘෂ්ටිවාදී කෂායක් පෙරාගෙන තිබේ. ඒ තිත්ත කෂාය බලහත්කාරයෙන් අනුන්ට පෙවීමට ඔවුන්ට උවමනා ය. මුලින්ම ඔවුන් එන්නේ වාචික තර්ජන සමග ය. ඒවාට කැමැත්තෙන් අවනත වන පිරිස් ඔවුන් හඳුන්වන්නේ තමන්ගේම සහෝදරයන් වශයෙනි. ඊළඟට ඔවුන්ගේ ඉලක්කය වන්නේ, ඊට නොකැමැති පිරිස් ය. ඒ නොකැමැති කණ්ඩායම අදාළ චින්තනයට සහ දෘෂ්ටිවාදයට නම්මවා ගන්නේ, ශාරීරික හානි පැමිණවීමේ තර්ජනය යටතේ ය. එම කණ්ඩායම සමන්විත වන්නේ නොකැමැති අනුගාමිකයන්ගෙනි.

ත‍්‍රස්තවාදියාගේ ආඥාව: අවනත නොවන්නන් විනාශ කරනු

මේ ආකාරයට, අවනත වන්නන් පවා පංති මට්ටම් දෙකකට බෙදනු ලැබේ. එහිදී, ස්වේච්ඡුා අනුගාමිකයෝ, ස්වේච්ඡුා නොවන අනුගාමිකයන්ට වඩා පිළිගැනීමක් ලබති. ඉතිරි සියල්ලෝ, විනාශ කර දැමිය යුතු සතුරන් බවට පත්වෙති. ඒ විනාශය සැලසුම් කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊළඟට මිනිස් ශ‍්‍රමය, දක්ෂතා සහ මූල්‍ය සම්පත් විශාල වශයෙන් යොදවනු ලැබේ. ඒ සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය පහත දැක්වෙන පරිදි ය.

මුලින්ම, මේ විනාශය බිම් මට්ටමේ ක‍්‍රියාත්මක කිරීමට යොදා ගනු ලැබෙන අන්තේවාසිකයන්ගේ මොළ සෝදනු ලැබේ. එසේ කරන්නේ, අන්තවාදී ආගමික දෘෂ්ටිවාද ඔවුන්ගේ ඔළුවට දැමීමෙනි. ලෝකයේ සත්‍ය ආගමකට ඇත්තේ එකක් පමණක් බවත්, එය තමන්ගේ ආගම වන බවත් ඔවුන්ට කියාදෙනු ලැබේ. අනිත් අය වෙනත් ආගම් අදහන විට, මේ පිරිස ස්වර්ගයට යාම ඒ මගින් අවහිර කෙරෙතැයි කියා දෙනු ලැබේ. එබැවින් ඔවුන් ඉවත් කළ යුතු බව මොවුන්ට කියා දෙනු ලැබේ.

කෙනෙකුගේ ජීවිතයේ සියලූ දෙයක්ම, එනම් ජීවිකාව, විභාග සාර්ථකත්වය, රැුකියාවේ උන්නතිය, පවුල් ජීවිතය, බුද්ධිමත් සහ අති දක්ෂ දරුවන් ලැබීමාදිය අපට සලසා දෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් අපට කළ හැකි ලොකුම මෙහෙවර එය යැයි උගන්වනු ලැබේ. එබැවින්, වෙනත් ආගම් අදහන පිරිස් විනාශ කර දැමීම සදාචාරමය වශයෙන් නිවැරදි වන්නේය. ඊළඟට, මේ කාරණය සඳහාම එකතු කරගෙන ඇති මහා ධනස්කන්ධයෙන් මාරක ව්‍යාපෘති සැලසුම් කරනු ලැබේ. ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය මිලදී ගැනේ. අන්තේවාසිකයන් ගොඩනගනු ලැබේ. තමන්ගේ ස්වර්ග මාර්ගය අවුරන සියල්ලන්ට එරෙහි අවසාන ප‍්‍රහාරය දියත් කරනු ලැබේ.

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

2019 අපේ‍්‍රල් 29 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Global Terrorism Threatening Democracy should be tackled at Global Level  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. මෙහි දෙවන කොටස මීලඟට පළවේ.