iMAGE: via Verite Research 

ශ‍්‍රී ලංකාවේ (එවකට ලංකාවේ) 1915 මුස්ලිම් විරෝධී කැරලි සාමාන්‍යයෙන් විග‍්‍රහ කරනු ලබන්නේ ජනවාර්ගික, ආගමික හෝ පන්තිමය දෘෂ්ටීන් හරහා ය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය – සහ විශේෂයෙන් කාන්තාවන් – මෙම යටත් විජිත යුගයේ ගැටුම පිළිබඳ ආඛ්‍යානයන්හි නොමැති බව පෙනේ. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි අවධානය යොමු කිරීම එතිහාසික සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විකල්ප දෘෂ්ටියක් ඉදිරිපත් කරයි. එයට චිරස්ථාපිත ආඛ්‍යානයන්ට ද අභියෝග කළ හැකිය. 1915 මුස්ලිම් විරෝධී කැරළි කෝලාහල පිළිබඳ ඉතිහාස ලේඛනයන්හි කාන්තාවන් පෙනී සිටින්නේ නියෝජිතත්වය අහිමි වින්දිතයින් හෝ හුදු සංඛ්‍යාලේඛන දක්වා ලඝු කරනු ලැබූවන් ලෙසය. කෙසේ වෙතත්, ඇතැම් විට, සහකරුවන් සහ ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන්නන් ලෙස ගැටුම් තුළ කාන්තාවන් බොහෝ විට රඟ දක්වන සංකීර්ණ භූමිකාවන් පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට අවකාශයක් තිබේ. මෙම ලිපියෙන් 1915 මුස්ලිම් විරෝධී කැරළි කෝලාහල තුළ කාන්තාවන්ගේ භූමිකාව ගවේෂණය කිරීම සඳහා පෙර භාවිතා නොකරන ලද සංරක්ෂිත තොරතුරු විමසා බලයි.

වින්දිතයින් ලෙස

1915 මුස්ලිම් විරෝධී කැරළි කෝලාහල පිළිබඳ ඉතිහාස ලේඛනයන්හි කාන්තාවන් සාම්ප‍්‍රදායිකව පිළිබිඹු කොට ඇත්තේ ‘වින්දිතයින්’ ලෙසය. කැරළි අතරතුර කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳව සපයනු ලැබ ඇති එකම විස්තරය නම් අපයෝජනයට ලක්වූ යෝනක කාන්තාවන් සිව් දෙනා පිළිබඳවය.

එහෙත් ලේඛනාරක්ෂක තොරතුරු ගැඹුරින් සොයා බැලීමෙන් අපට කැරළිවලදී යෝනක කාන්තාවන්ගේ අත්දැකීම් ගැන වැඩි විස්තර දැනගත හැකිය. නිදසුනක් වශයෙන්, 1915 ජුනි 19 දින ආණ්ඩුකාර රොබට් චාමර්ස් වෙත ලිපියක් යවමින් මොහොමඞ් මාකන් මාර්කර් කියා සිටියේ, වෑයකඩ ‘යෝනක කාන්තාවන් සහ ළමයින් දින තුනක් අසරණව සිට වනාන්තරයට පලා ගොස් ඇති බවයි.

බියෙන් තම නිවෙස්වලින් පලා ගියේ යෝනක කාන්තාවන් පමණක් නොවේ. ආණ්ඩුකාර ඇන්ඩර්සන් කැරළි අතරතුරදී කෑගල්ල දිස්ත‍්‍රික්කයේ විසූ යුරෝපීය කාන්තාවන් සහ ළමුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කොළඹට ගෙන ආ බව කියා සිටිමින් යුරෝපීය ප‍්‍රජාවගේ ආතතිය විස්තර කළේය. මෙම ඉවත් කිරීම සිදු වූයේ හුදෙක් මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයක් ලෙස නොව පුළුල් යටත් විජිත විරෝධී නැගිටීමක් ලෙස (වැරදියට) වටහා ගත් දෙයට ඔවුන් ඉලක්ක වනු ඇතැයි යනුවෙන් බි‍්‍රතාන්‍යයන් අතර වැඞී ආ භීතිය හේතුවෙනි.

අපට හඳුනාගත හැකි අවසාන ‘වින්දිත’කාන්තා කණ්ඩායම නම්, ස්වකීය ස්වාමිපුරුෂයන් කැරළිවලට සහභාගී වූ බවට චෝදනා කරමින් රජයේ හමුදාවේ නියෝජිතයන් විසින් මරණ දඬුවම පනවන ලද සිංහල කාන්තාවන්ය. මෙම කාන්තාවන් කැරළිවල සෘජුවම ගොදුරු වූවන් නොවූ නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් සිදු කරන ලදැයි වාර්තා වූ ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් වූහ. සමකාලීන නිරීක්ෂකයෙකු ලෙස 1919 දී සටහන් තබන ආමන්ඞ් ද සූසා සඳහන් කළේ, මෙම මිනිසුන්ගේ නිවාස සෝදිසි කිරීමේදී නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන්ට ශාරීරිකව හිරිහැර කළ බවත්, ස්වර්ණාභරණ සහ මුදල් පවා සොරකම් කළ බවත් ය. මෙම කාන්තාවන් පිළිබඳව 1915 එතිහාසික ලේඛනයන්හි සඳහන් නොවේ. කෙසේ වෙතත්, යටත් විජිත ලේඛනාරක්ෂකයන් තුළ ඔවුන් විඳි දුෂ්කරතා පිළිබඳ සැළකිය යුතු තොරතුරු තිබේ.

අධිකරණමය ක‍්‍රියාවලියකින් තොරව ඝාතනය කරන ලද සිංහල පිරිමින් දස දෙනෙකුගේ භාර්යාවන්ගේ සාක්ෂි “වෙඩි තැබීම් පිළිබඳ විමර්ශන කොමිසම් සභාවකට” ලබා දී ඇති සාක්ෂිවල සටහන් වේ. කලින් නොසළකා හරින ලද මෙම සාක්ෂි, කැරළිවලින් අනතුරුව මෙම කාන්තාවන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා දෙයි: එනම්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කැරළිවලට සම්බන්ධ බවට චෝදනා ලැබීම නිසා ඔවුන් මුහුණ දුන් ප‍්‍රචණ්ඩකාරී පළිගැනීම සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අහේනි තත්වයන් පිළිබඳවය.

නිදසුනක් වශයෙන්, පොල්වත්තගේ පොඩිහාමිගේ සාක්ෂියේ දී ඇය විස්තර කරන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ හිංසා පීඩාවලින් බේරීම සඳහා (සමහර යෝනක කාන්තාවන්ගේ අත්දැකීම් හා සමානවම) වනාන්තරයට පළා යාම පිලිබඳවය. ඇය කියා සිටියේ, ‘අප වනාන්තරයට ගිය පසුව කරන්නේ කුමක්දැයි නොදැන, කෑමට කිසිවක් නොමැතිව දින තුනක් එහි රැුඳී සිටියා. දවස් තුනකට පසු අපි වනාන්තරයෙන් එළියට පැමිණ දුර බැහැර ගම්මානයකට සේන්දු වුණා.’ ලේල්ලොපිටියගේ සොපිහාමි ද තේ කඩයක් පවත්වාගෙන ගිය නමුත් ඇය සමත් වූයේ ‘දිනකට එක් ආහාර වේලක් පමණක් ගැනීමට’ පමණි.

හවුල් වූවන් සහ පොළඹවන්නන් ලෙස

1915 කෝලාහලයේදී බොහෝ ජනවර්ගවල කාන්තාවන් නිසැකවම වින්දිතයින් වූ නමුත්, සමහර කාන්තාවෝ කැරළිවලදී වඩාත් ක‍්‍රියාකාරී භූමිකාවන් රඟ දැක්වූහ. ඇත්ත වශයෙන්ම, සමහරු 1915 දී කැරළිවලට හවුල් වූහ. කොළඹ යෝනක කඩවලට පහර දෙන ස්ථානවල දී සමහර කාන්තාවන් ළමයින් සමඟ සිටි බව ඩි සූසා සටහන් කරයි. බොහෝ වෙළඳසැල්වලට ඩයිනමයිට් දැමූ නමුත් ඒවා ගිනි තැබීමට පෙර ඒවායේ තිබූ භාණ්ඩ හිස් කරන ලදී. වෙළඳසැල් පසුබිමේ දැල්වෙද්දී, කාන්තාවෝ කඩ සාප්පුවලින් පිටත බිම දමා තිබූ භාණ්ඩ එකතු කොට සහ රැුගෙන යමින් ඒවා කොල්ල කෑහ.

මුස්ලිම් විරෝධී හිංසනයන් මධ්‍යම පළාතේ මහනුවර සිට සතියක් ඇතුළත තවත් පළාත් හතරකට ව්‍යාප්ත විය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරේ පිහිටි නගරවල සිට දකුණේ ගාල්ල දක්වා වූ සැතපුම් 160 ක් තරම් දුරින් පිහිටි නගරවලට මෙය බලපෑවේය.කැරළි ඇති වූයේ දුරකථනය පුළුල්ව භාවිතා කිරීමට පෙර සමයකදී ය. මේ අනුව තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වීමට කට වචන දායක වන්නට ඇත.

ඒ. පී. කන්නංගර පවසන පරිදි, බහුලම කටකතාව වූයේ ‘යෝනකයින්…බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීමේ, මිනීමැරුම් සහ ස්ත‍්‍රීන් දුෂණය කිරීමේ අභිප‍්‍රාය සහිතව සිංහලයින් අභිබවා යමින් සිටි බවය.’  මෙම කටකතාවල පැතිරීමේ හා ඒත්තු ගැන්වීමේ ස්වභාවය කැරළි අතරතුර හා පසුව පළ වූ පුවත්පත් වාර්තාවලින් හා සාක්ෂිකරුවන් වෙතින් තහවුරු විය. නිදසුනක් වශයෙන්, මහනුවර දිස්ත‍්‍රික්කයේ රජයේ නියෝජිතයෙකුගේ උපදේශකයෙකු, මහනුවර පන්සල්වල භික්ෂූන් වහන්සේලා සහ ගම්පොළ පොලිස් මහේස්ත‍්‍රාත්වරයකුගේ සාක්ෂි උපුටා දක්වමින් කන්නංගර ප‍්‍රකාශ කරන්නේ, “මුස්ලිම්වරුන් දළදා මාලිගාවට පහර දී හෝ පහර දීමට සූදානමින් සිටි බවට” කටකතාවක් පැවති බවය.

මෙම කටකතා උසිගැන්වූයේ කවුරුන්ද යන්න පිළිබඳව ස්ථිර සාක්ෂි නොමැත. එහෙත්, ගිනි අවුලූවන කටකතා නිර්මාණය කිරීම හා බෙදා හැරීම සඳහා කාන්තාවන් සහ පිරිමින් යන දෙපිරිසම දායක වී ඇතැයි සිතිය හැක. එබැවින් 1915 දී යෝනකයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ දී කාන්තාවන් යම් භූමිකාවක් ඉටු කර ඇති බව අනුමාන කළ හැකිය. කාන්තාවන් යෝනකයින්ට එරෙහිව ශාරීරික හිංසනයට හෝ කැරලි කෝලාහලවලට සම්බන්ධ නොවූ බව අපි දනිමු. කෙසේ වෙතත්, – ප‍්‍රචණ්ඩත්වයට හේතු වූ කටකතා පතුරවන්නන් ලෙස – උසිගැන්වීම් පිළිබඳ ඔවුන්ගේ භූමිකාව අමතක නොකළ යුතුය. මෙවැනි ආඛ්‍යානයක් කැරළිවලදී කාන්තාවන් නිෂ්ක‍්‍රීය ‘වින්දිතයින්’ පමණක් බවට වන සාම්ප‍්‍රදායික ආඛ්‍යානයට එරෙහි වන්නකි.

නියෝජිතත්වයක් නොමැති වින්දිතයින් ලෙස කාන්තාවන් නිෂ්ක‍්‍රීය තත්වයකට සීමා කරනු වෙනුවට, ලේඛනාරක්ෂක තොරතුරු ගැඹුරින් සොයා බැලීමෙන් හෙළි වන්නේ කැරළිවලදී කාන්තාවන් විසින් ඉටු කර ඇති වඩාත් ක‍්‍රියාකාරී භූමිකාවන්ය. කාන්තාවන් ඔවුන්ගේ පිරිමි සගයන්ගේ සාපරාධීත්වයට සහාය දෙන ද්විතීයික ක‍්‍රියාකාරීන් ලෙස හෝ ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයට හේතු විය හැකි කටකතා පතුරවන්නන් ලෙස අපට හඳුනාගත හැකිය. යටත් විජිත ලේඛනාරක්ෂණවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ස්වභාවය හේතුවෙන්, කාන්තාවන්ගේ හඬ සාමාන්‍යයෙන් වාර්තාවලින් බැහැර කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, ප‍්‍රධාන ධාරාවට එරෙහි විකල්ප කියවීම් මඟින් 1915 කැරළි පිළිබඳ වටිනා නව මානයක් සොයා ගැනීමට අපට හැකි වනු ඇත – ඉන් එකක් නම් වින්දිතයින්, හවුල්කරුවන් සහ උසිගන්වනන් ලෙස බහුවිධ හා බොහෝ විට සංකීර්ණ භූමිකාවන් සහිතව කාන්තාවන් හඳුනා ගනු ලැබීමයි.

ශමාරා වෙත්තිමුණි | Shamara Wettimuny