සිංහල, Colombo, Corruption

හෙජින් නිසා මිලියන 700 අහිමිවෙයි – තව ආයතන 8 ක දූෂණ හෙළි කරනවා – දූෂණ විමසුම

අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව අනාවරනය කරන ලදි. පවතින රජය යටතේ සිදූවී ඇති දූෂිත ගනුදෙනු හේතුවෙන් මෙරට ආර්ථිකය කඩාවැටීමට ලක්විය හැකිබවත් සමහර අදූරදර්ශී ගිවිසුම් හේතුවෙන් මෙරට මහජන මුදල් කෝට් ගණනින් විනාශ කොට ඇති බවත් ඔවුහු රජයට චෝදනා කරනු ලබති.


මෙහිදි අදහස් දැක්වූ එම සංවිධානයේ පාලක මණ්ඩල සාමාජිකයෙකුවන නිතීඥ ශිරාල් ලක්තිලක මහතා ‛‛ දූෂණ වංචා හේතුවෙන් මේවන විට ලංකාව බරපතල ආර්ථික අර්බූදයකට පත්වෙමින් සිටින්නේ. 2007 රුපියල් බිලියන 3.7 පාඩුවක් ලැබු මිහින් එයාර් සමාගම නැවත ආරම්භ කිරීමට මෙවර අය වැයෙන් මිලියන 600 වෙන්කර තිබියදී නොවැම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් හරහා තවත් බිලියන 1.9 එයාර් පොර්ට් එවියේෂන් සමාගම හරහා ණයට ගනිමින් වෙට් ලීස් ක්‍රමයට බෝයින් 747 වර්ගයේ ගුවන් යානයක් ලබා ගැනිමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මෙයට අමතරව තවත් රුපියල් මිලියන 250 ක ආයතනයේ කොටස් ලබාගන්නා ලෙස භාණ්ඩාගාරයට ද නියෝග කර තිබෙන බවත් එය වක්‍ර ලෙස මිහින් එයාර් ආයතනය වෙත මුදල් යොදවීමක් යැයි පැවසීය.’’
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව මෙරට ප්‍රධාන පෙළේ විදේශීය බැංකු තුනක් සමග ඇති කරගෙන තිබෙන හෙජින් ගිවිසුම මෙරටට ඉතා හානිකර ගිවිසුමක් බවත් එමගින් මෙරටට රුපියල් මිලියන 400 පමණ අහිමිවන බවත් මෙහිදී ප්‍රකාශ වුනි. දූෂණ විමසුම සංවිධානය මෙම හෙජින් ගනුදෙනුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මානව හිමිකම් නඩුවකට යාමට සූදානමින් සිටින බවත් ප්‍රකාශ විය. එහෙත් ඊට පෙර ඩොයිෂ් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හා සිටි බැංකුව යන ආයතන වලට මෙම ගිවිසුම පිළිබඳව කරුණු විමසා ලිපි යවා ඇති බවත් ඊට සමගාමීව මෙම බැංකු තුන අයිති රටවල් වන ඇමෙරිකාව,මහ බ්‍රතාන්‍ය හා ජර්මන් සමුහ ආණ්ඩුව යන රටවල තානාපති කාර්යාල වලට ද මෙම දූෂිත ගණුදෙනුව පිළිබඳව දන්වා ලිපියැවූ බවත් පවසා සිටියේය. විශේෂයෙන් මෙම රටවල් අප රටට හා ලෝකයට යහපාලනය උගන්වන රටවල් නිසා මෙම බැංකු කටයුතු කර තිබෙන ආකාරය වෘත්තීයමය භාවයකින් යුක්තද යන්න විමසා බලන ලෙසද මෙම ලිපි මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ සාමාජික නිතීඥ රවී ජයවර්ධන මහතා ප්‍රකාශකර සිටියේය. එසේම සංස්ථාවේ සභාපති වරයා මෙම ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය,අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය හෝ අවම වශයෙන් සංස්ථාවේ වානිජ අංශයට හෝ යොමුකර නොමැති තත්ත්වයක් තුළ මෙය හුදෙක්ම ඔහුගේ හිතු මානාපයට අනුව කෙරුණ සූදුවක් බවත් මෙ නිසා වන්දිගෙවිමට සිදුවි තිබෙන්නේ මෙරට ජනයාට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ එජාප මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පැවසූවේ අද වන විට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය දූෂණ සිදුවන ප්‍රධානම ආයතන අතර අංක එකේ සිටින බවයි. රජය අද වන විට ජාතික ප්‍රශ්නය මගින් අනෙකුත් සියල්ල යටපත් කරමින් සිටින බවත්ය. වරාය අධිකාරියට දොඹකර 36 මිළදී ගැනීටම කෙරීගෙන යන ගනු දෙනුව මගින් රුපියල් මිලියන 520 රටට අහිමිවන අතර එම ගනුදෙනුව සිදු කිරීමට යන්නේ නියම්ත ටෙන්ඩර් පටිපාටියට පටහැනිව බව ඔහු පැවසීය.
මීට අමතරව ඉදිරියේදී තවත් ආයතන 8 ක කටයුතු පිළිබඳව හෙළි දරවු කිරීමට ද බලාපොරොත්තු වන බවද දූෂණ විමසුම ආයතනය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,විදුලි බල මණ්ඩලය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, දේශීය ආදායම්, වරාය අධිකාරිය, ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශය,ප්‍රීමා පිටි ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එම ආයතනයි.