සිංහල

ඒ ලැයිස්තුව කෝ?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

යුද්ධ ජයග්‍රහණයෙන් පසු ලැයිස්තුවක් එලියට ආවේ ය. ඇත්තටම ආවේ නැත. එන බව කීවේ ය. ලැයිස්තුවේ ජනමාධ්‍යවේදීන් 48 දෙනෙකු සිටින බව කීවේ ය. තමා මෙම ලැයිස්තුව දුටු බව පුන පුනා කීවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍යක නිවේදකයකු ය. සමහර ජනමාධ්‍යවේදීන්ට මසකට රුපියල් 150,000 බැගින් එල්ටීටීඊ සංවිධානයෙන් ගෙවා ඇති බව එක් අවස්ථාවක මෙම නිවේදකයා කීවේ ය. නමුත් ඔහු කිසි දවසක එලෙස එල්ටීටීඊයෙන් මුදල් ලැබුණු බව තමන්ට සනාථ කළ හැකි බව කීවේ නැත. එවැනි ලැයිස්තුවක සිටින එකදු ජනමාධ්‍යවේදියකුගේ හෝ නම සදහන් කලේ නැත. (එක් කතුවරයකු එළෙස මගේ නම වක්‍රෝතියෙන් සදහන් කර තිබූ අතර ඊට එරෙහිව නිසි අවස්ථාවේ නීති පියවර ගැනීමට මගේ නීතිඥයින් සමඟ කතා කර ඇත්තෙමි). එම කතුවරයාගේ් පුවත්පත සදහන් කර තිබුණේ මාධ්‍ය නිදහස සඳහා උද්ඝෝෂන සංවිධානය කළ දිනට පසු දිනම එල්ටීටීඊ ය චෙක්පත් මගින් අදාළ ජනමාධ්‍යවේදීන්ට එම මුදල් ගෙවන ලද බව ය.

බොරුවක් ඇත්ත බවට පෙරළිමට නම් එය යළි යළි කිව යුතු යැයි ඉගැන්වූයේ හිට්ලර්ගේ ප්‍රචාරක ඇමැති ගොබල්ස් ය. එල්ටීටීඊයෙන් ජනමාධ්‍යවේදීන් මුදල් ගත් බවට කළ ප්‍රචාරය හරියටම එවැනි එකකි. ඇත්ත බොරු කෙසේ වෙතත් යුද්ධ ජයග්‍රහනයෙන් ගිනිකණ වැටුනු බහුතර ජනයා එවැනි ලැයිස්තුවක් ඇතැයි ද එම මුදල් ලබා ගෙන ඇත්තේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ජනමාධ්‍ය නිදහස උදෙසා උද්ඝෝෂනය කිරීමට යැයි ද තාවකාලිකව හෝ විශ්වාස කරන්නට පටන් ගත්හ. අප සමහරක් දෙනා පදිංචි වි සිටින නිවෙස් හිමියනට කතා කළ එවැනි පිරිස් කොටි සහකරුවන්ට ගෙවල් දී ඇත්තේ මන්දැයි විමසූහ. විවිධ උවමනාවන් සඳහා යම් යම් අය මුණ ගැසුණු අවස්ථාවන් හි දී අප හිතවත් ජනමාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුගෙන්ම ඔබත් ලැයිස්තුවේ ඉන්නවා දැයි විමසූ අවස්ථාද ඇති විය.

යුද්ධ ජයග්‍රහණ ගැන කතා කිරීම පිණිස ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එකී රූපවාහිනී සේවාවේ වැඩ සටහන් වලට කැදවනු ලදුව එම නිවේදකයා විසින් කටට උත්තර දෙන ප්‍රශ්න අසන ලදී. නමුත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් කිසිවකු එවැනි ලැයිස්තුවක් තමන් සතු බව කීවේ නැත. නමුත් ප්‍රශ්ණ අසන ලද අන්දම නිසා අසන්නන්ට පෙනුනේ මෙම ලැයිස්තුව ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ අනුමැතිය ලද ද්‍රෝහීන්ගේ ලැයිස්තුවක් බව යි. හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතාගෙන් එම ප්‍රශ්නය විමසන ලද අවස්ථාවේ දී ඔහු ලැයිස්තුවක් ගැන කීවේ නැත. නමුත් එළෙස මුදලට ලියූ බවට ඉංග්‍රිසි පුවත්පත් වලට ලියන ආරක්ෂක ලියුම්කරුවන් ගැන නොනමින් සදහන් කළේ ය. එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය අනුව පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. මෙම නිවේදකයා හිටපු හමුදාපතිවරයාගෙන් ඇසූයේ ” ජෙනරල් ඔබ දන්නවාද මාධ්‍ය නිදහසට උද්ඝෝෂනය කිරීමට මුදල් ගත් අය ඉන්නවා” කියා ය. නමුත් ජෙනරල් පොන්සේකා එවැනි සඳහනක් කළේ නැත.

එල්ටීටීඊයෙන් මුදල් ලද ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් ඇති බව කෙලින්ම කීවේ පොලිස්පති ය. එල්ටීටීඊයෙන් මුදල් ලද ජනමාධ්‍යවේදීන් ගැන තොරතුරු හෙළිවී ඇති බවත් එම තොරතුරු හිටපු එල්ටීටීඊ මාධ්‍ය සම්බන්ධීකාරක දයා මාස්ටර් විසින් සැපයූ බවත් පොලිස්පති එම රෑපවාහිනී සේවාව සමඟ පැවැති සාකච්ජාවක දී කීවේ ය. එමෙන්ම ඔහු කියා සිටියේ එවැනි පුද්ගලයින් නීතියට මුහුණ දීමට බියෙන් රටින් පැන ගිය බව ය. තවමත් පරීක්ෂන පැවැත්වෙන බැවින් එම තොරතුරු හෙළි නොකරන බවත් ඔහු කියා සිටියේ ය. මෙම සාකච්ජාව පැවැතියේ පසුගිය මැයි 28 වන දින ය.

ඊට හරියටම මසකට පසු දිවයින කතුවරයා මෙසේ ලීවේ ය. ”එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පෙනි සිටි අයට හිමි වූ ප්‍රතිලාභ ගැන විවිධ කතා තව තිබේ. එහෙත් ඒවා පිළිබඳව රජයෙන් තවමත් පැහැදිළි වාර්තාවක් හෝ විග්‍රහයක් සිදු වී නැත.” තවත් සති තුනක් ගතවීත් පොලිස්පති තවමත් එම ලැයිස්තුව ප්‍රකාශයට පමුණුවා හෝ නීතිමය පියවර ගෙන හෝ නැත.

ජූනි 7 වන ඉරිදා සිළුමිණ පුවත්පත සමඟ සාකච්ජාවකට එක් වෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එල්ටීටීඊ සංවාධානයෙන් මුදල් ලබාගෙන ජාතික ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කළ සංවිධාන සහ පුද්ගලයින් ගැන තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව මහා ජනයා දැනුවත් කරන බවත් ය.

ඒ මෙයට සති පහකට පෙර ය. එහෙත් තවමත් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල එම ලැයිස්තුව ප්‍රකාශයට පමුණුවා නැත. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වසරකට පමණ පෙර පුවත්පත් සාකච්ජාවක දී වරක් කියා සිටියේ අත් අඩංගුවට ගන්නා ලද එල්ටීටීඊ සැකකරුවකුට ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයෙන් හැදුනුම්පතක් නිකුත් කර ඇති බවත් එය ලබා දී ඇත්තේ නිදහස් මාධ්‍ය සංවිධානයක ප්‍රධානියකු බවත් ය. ඒ අනුව යමින් ජනාධිපතිවරයා කතුවරුන්ගේ රැස්වීමක දී කියා සිටියේ එම හැදුනුම් පත ලබා දුන්නේ සුනන්ද දේශප්‍රිය බව ය. දැන් එම කතාව සම්පුර්නයෙන් බොරුවක් බව හෙළි වී ඇත්තේ එම හැදුනුම් පත ව්‍යාජව සකස් කරන ලද්දක් බව ත්‍රස්ත විමර්ෂන අංශය විසින් තහවුරු කරගෙන ඇති නිසා ය.

මේ අතර ආණ්ඩුවට පක්ෂපාතී ඒෂියන් ට්‍රිබියුන් නම් වෙබ් අඩවිය සමඟ සාකච්ජාවකට එක් වෙමින් ජූනි මස මුලදී ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන කීවේ එල්ටීටීඊ මාධ්‍ය සම්බන්ධිකාරක දයා මාස්ටර් කුමණ ලැයිස්තුවක් දී තිබුණ ද නිසි පරික්ෂනයකින් තොරව කිසිදු ජනමාධ්‍යවේදියකුට එරෙහිව පියවර නොගන්නා බව ය. ඇමැති ලක්ෂ්මන් යාපාගේ එම ප්‍රකාශය හිටපු එල්ටීටීඊ නායකයකු වන දයා මාස්ටර් කළැයි කියන ප්‍රකාශ සම්පූර්ණ සත්‍ය ලෙස පිළිගන්නා ජනමාධ්‍යවේදීන්ට දුන් පිළිතුරක් වැනි විය. එවැනි ලැයිස්තුවක් ඇතැයි ඇමතිවරයා කීවේ ද නැත.

මේ අතර ඉන්පසු පැවැති පුවත්පත් සාකච්ජාවක දී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැති අනුර යාපා කීවේ එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කැරෙන ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් පිළිබඳව තමන් නොදන්නා බව ය. එවැනි ලැයිස්තුවක් ඇති බවක් මේ දක්වා ඇමැති අනුර යාපා ප්‍රකාශ කොට නැත. අවසානයේ දී අනෙක් ජනමාධ්‍යවේදීන්ට පහර ගැසීමෙන් වළකින ලෙස රාජ්‍ය ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ජනාධිපතිවරයාම ඉල්ලා සිටියේ ය.

එල්ටීටීඊ ය විසින් අප මාධ්‍ය සංවිධානයන්හි ප්‍රධානීන්ට මාධ්‍ය නිදහස වෙනුවෙන් උද්ඝෝෂන කිරීම සඳහා මුදල් ගෙවන ලද බවට කරන ලද ප්‍රකාශ අමූලික බොරුවක් බව මම නොබියව කියමි. එවැනි චෝදනා ඇතොත් ස්වභාවික යුක්ති ධර්මය අනුව නීතිය හමුවේ නඩු පවරන ලෙස අභියෝග කිරීමට අපට අයිතියක් තිබේ. අපි එවැනි නඩු විභාගයකට බය නැත. මෙම චෝදනා ගොතන ලද්දේ නිදහස් මාධ්‍ය සංවිධාන ජාලය මර්ධනය කොට ජනමාධ්‍ය මත පෙර නොවී විරූ පාලනයක් ඇති කිරීම පිණිස ය. පූනි මාසයේ එක් සතියක් තුළ මාධ්‍ය නිදහස උදුරා නොගන්නා ලෙස කතුවැකි 10ක් ලියන්නට මෙරට පුවත්පත් වලට සිදුවීමෙන් ම සිදුව ඇති සන්තෑසිය පෙනේ. ඒ සන්තෑසියේ තරම පසුව ලියමි.

සුනන්ද දේශප්‍රිය