සිංහල, Colombo, Democracy, Peace and reconciliation

යුද්ධය සහ ඡන්දය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

යාපනයේ සහ වව්නියාවේ පුංචි ඡන්ද ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන එක් සංඥාවක් පැහැදිලි ය. එනම් එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයෙන් ආණ්ඩුව ලද ජය ඉබේටම දෙමළ ජනතාව දිනා ගැනීමක් බවට පත් නොවන බව යි. මෙය වඩාත් පැහැදිලි වන්නේ සිංහල බහුතර පළාත් වලදී ආණ්ඩුව ලබන දැවැන්ත ජයග්‍රහණයන් සමඟ සසඳා බලන විට ය. සිංහල පළාත්වලදී ලබන මැතිවරණ ජයග්‍රහණයන්ගේ පදනම වන්නේ එල්ටීටීඊ ය පරදවා ලද යුද්ධ ජයග්‍රහණය මිස අන් කිසිවක් නොවේ. මෙම යුද්දයේ තේමාව වූයේ දෙමළ ජනයා එල්ටීටීඊයෙන් මුදා ගැනීම යන්නයි. නමුත් තවම එවැනි හැගීමක් උතුරෙහි දෙමළ ජනයා අතර නැති බව මෙම මැතිවරණ ප්‍රතිඵල අපට පෙන්වයි.

යාපන මහනගර සභා මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද 22,280කි. ඉන් 1,358ක් නරක් වූ ඡන්ද විය. සමස්ත ඡන්ද ප්‍රමාණය 100,417 කි. පොදු පෙරමුණට 10,602කි. දෙමළ සන්ධානයට 8008 කි. ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 20ක් තරම් ය. යාපනය ශ්‍රී ලංකා හමුදා විසින් අල්ලා ගන්නා ලද්දේ 1995 දීය. එම අල්ලා ගැනීම වෙනුවෙන් ද ජයග්‍රාහී මහෝත්සවයක් පවත්වන්නට යෙදුණේ රාජකීය තේජස සිහි ගැන්වෙන පරිදි ය. 1998 පැවැති පළාත් පාලන මැතිවරණයේ දී සියයට 50කට ආසන්න ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කළහ. ඒ එල්ටීටීඊ ය දැක් වූ විරුද්ධත්වය ද තිබිය දීය. නමුත් ඉන් දස වසරකට පසු ඡන්දය දීමට ඉදිරිපත් වන්නේ සියයට විස්සක ප්‍රමාණයකි. එහි තේරුම කුමක් ද? යාපනයේ යුද ජයග්‍රහණයෙන් පසළොස් වසරකට ආසන්න කාලයකට පසුත් එය දේශපාලන ජයග්‍රහණයක් බවට හරවා ගැනීමට ශ්‍රී ලංකාණ්ඩු අසමත්ව ඇති බව ද ? නැති බව ද?
යාපන පළාත් පාලන ඡන්ද ප්‍රතිඵළය පිළිබඳ ග්‍රවුන්ඩ්ස් විව් වෙබ් අඩවියෙහි ආචාර්‍යා නමින් වූ විග්‍රහය වැදගත් සංඛ්‍යා ලේඛන කිහිපයක් දක්වයි. ඒ මෙසේ ය.

දිනුවේ කව්ද?
ආණ්ඩු පක්ෂය ලද ජන්ද 10,000න් 2,000ක් පුත්තලමෙහි ජීවත්වන මුස්ලිම් ජනයාගෙනි. එවිට යාපන දෙමළ ජනයාගෙන් ආණ්ඩුවට ලැබුණේ දෙමළ සංධානය ලද ජන්ද ප්‍රමාණය හා සමාන ගණනාවකි. එමෙන්ම ආණ්ඩුව ලද ආසන 13න් 4ක් ගියේ මුස්ලිම් අපේක්ෂකයින්ට ය. මැතිවරණයට දින තුනක් තිබිය දී ඡන්ද ගුන්ඩුවක් ලෙස අගොස්තු 05 දා යාපනයෙහි යළි පදිංචිකරවන ලද 3000ක් සරණාගත ජනයා ඊපීඩීපී බල ප්‍රදේශයක් වන ගුරුනගර්හි වැසියන් ය. ආණ්ඩු පක්ෂ ලැයිස්තුවෙහි ප්‍රධානියා පරාජය විය. වැඩිම මනාප සංඛ්‍යාව වූ 4,233ක් ලබා ගත්තේ දෙමළ සංධානයේ ප්‍රධානියා වූ රෙමිඩියුස් ය.

මේ සංඛ්‍යා අපට පෙන්වන්නේ යාපන දෙමළ ජනයා අතර තවමත් දෙමළ සංධානය ප්‍රබල සහයෝගයක් භූක්ති විඳින බව යි. දෙමළ සංධානය එල්ටීටීඊයට පක්ෂපාතීව කටයුතු කළ බව රහසක් නොවේ. තවද එය අද දරන්නේ ද 13වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමේ ස්ථාවරයකි. මැතිවරණයේ දී එය තදින්ම ආණ්ඩුව විවේචනය කළේ ය.

ආණ්ඩුවාදී විශ්ලේෂණ

මෙම පළාත් පාලන මැතිවරණ දෙකෙහි ප්‍රතිඵල ආණ්ඩු හිතවාදී දේශපාලන විශ්ලේෂකයින් ගණනාවකගේම මහත් කණස්සල්ලට හේතු විය. ඔව්හු මෙම පරාජයන්ට හේතු වශයෙන් කරුණූ දෙකක් ප්‍රධාන කොට දැක්වූහ:

1. දේශපාලන විසඳුමක් පිළිබඳ ආණ්ඩුව දක්වන ඈලිමෑලි ආකල්පය නිසා දෙමළ ජනයා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් බලන්නේ නැත. කලින් යුද්ධය අවසන් වූ වහාම දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බව කී ආණ්ඩුව පසුව එම ස්ථාවරය වෙනස් කර ජනාධිපතිවරණයෙන් ජනවරමක් ලබන තුරු දැන් එය කල් තබා තිබේ.

2. ආණ්ඩුවට හිතවත් දෙමළ දේශපාලන පක්ෂවලට, විශේෂයෙන්ම ඩග්ලස් දේවානන්ද නායකත්වය දෙන ඊපීඩීපී. පක්ෂයට සිය අනන්‍යතාවයෙන් තරඟ කිරීමට ඉඩ නොදී පොදු පෙරමුණේ බුලත් කොළය යටතේ තරඟ කිරීමට බල කිරීම මෙම පරාජයට හේතුවකි. (ඉන් අදහස් කරන්නේ බුලත් කොළය දරණ ආණ්ඩු පක්ෂයට එතරම් පිළි ගැනීමක් නැති බව ය.)

දෙමළ සංධානවාදී විශ්ලේෂණ

යාපන මහ නගර සභා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන දෙමළ සංධාන හිතවාදි විශ්ලේෂකයින් පෙන්වා තිබුණේ දෙමළ සංධානය මෙම ඡන්ද සටන ගෙන ගියේ එහි “පාබල සොල්දාදුවන් ” සිය ගණනාවක් පසුගිය යුද සමය තුළ මරා දමා තිබිය දී බව යි. යාපන මහා මැතිවරණයේ දී විවෘතව ම එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිට වැඩිම මනාප ලබා ගත් පාර්ලිමේන්තු මංත්‍රී ගජේන්ද්‍රෙන් වැනි පිරිස් රටින් බැහැරව සිටින තත්ත්වයක දී බවයි. ඇත්ත වශයෙන්ම නම් එල්ටීටීඊ ය මෙම පළාත්පාලන මැතිවරණයන් හි දී කිසිම පක්ෂයකට ඡන්දය දෙන ලෙස කියා සිටියේ නැත. දෙමළ ජනයා අතර සිටින උග්‍ර එල්ටීටීඊ හිතවාදී පිරිස් මෙම පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන්නට නැත.

අප කවුරුත් දන්නා පරිදි ආණ්ඩු පක්ෂය ඡන්ද ව්‍යාපාර කරන්නේ රාජ්‍ය ජනමාධ්‍ය සහ රාජ්‍ය සම්පත් යොදවා ලබා ගන්නා අමතර වාසි ද ඇතිව ය. රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදවා ගැනීම මගින් සියයට 5-10 දක්වා ඡන්ද ප්‍රතිශතයකට බලපෑම් කළ හැකි බව සාමාන්‍යය පිළිගැනීම ය.

එමෙන්ම යාපනයේ ඡන්දයෙහි ආණ්ඩු පක්ෂයේ පෙරමුණෙහි සිටි ඊපීඩීපී යට තවමත් දහසක පමණ සන්නද්ධ බල සෙනගක් සිටින බව ද ප්‍රසිද්ධ රහසකි. දක්ෂ දේශපාලනඥයකු වන ඩග්ලස් දේවානන්දා සිය කාර්‍යලයේ එකවර මහජන රැස්වීම් තුනක් සංවිධානය කරයි. එමෙන්ම ආණ්ඩු බලය යොදවා විශාල පිරිස් එම රැස්වීම්වලට කැඳවයි. ඇමැතිවරයකු වශයෙන් ඔහු සතුව මහ ජනයාගේ එදිනෙදා ප්‍රශ්න විසදීමේ බලයක් ද තිබේ.

අප පරාදයි – දේවානන්දා

යාපනයේ ඡන්ද ප්‍රතිඵලය තමා සළකන්නේ පරාජයක් ලෙස යැයි ඇමැති දේවානන්දා කීවේ මෙම සියළු වාසිදායක තත්ත්වයන් තිබියදීත් තීරණාත්මක ජයක් දිනා ගැනීමට බැරි වූ නිසා ය. දෙමළ සංධානය ජය දිනූ වව්නියාවේ දී ආණ්ඩු පක්ෂය ලැබුවේ තුන්වන තැන ය. මෙනයින් යාපනයේ සහ වව්නියාවේ ඡන්ද ප්‍රතිඵල විසින් ආණ්ඩුවට සතුටු වීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැත.

1989- 90 සිය සන්නද්ධ අරගලය පරාජය වීමෙන් පසු දේශපාලන වශයෙන් ගොඩ ඒමට ජනතා විමුක්ති පෙරමුණට වසර 5ක් තරම් ගත විය. 1994 මහා මැතිවරණයේ දී එය ලබා ගත්තේ එක ආසනයක් පමණකි. 2000 දී ආසන 09කි. අද දෙමළ ජනයා අතර දේශපාලන උනන්දුව ඇත්තේ පහළ අඩියක ය. ආණ්ඩු විරෝධි දෙමළ දේශපාලන ක්‍රියාකාරිත්වය ඇත්තේ ද ඉතා පහළ තැනක ය. දේශපාලන සංවිධාන බිඳී ගොසිනි.

මෙම සියළුම අවාසිදායක තත්ත්වයන් තිබියදීත් දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ප්‍රකාශනය වන දෙමළ ජාතික සංධානය කරට කර සටනක් දීමට සමත් විය. එල්ටීටීඊය දැවැන්ත පරාජයකට පත්ව තෙමසක් ඉක්ම යෑමට පෙරම එහි දේශපාලන පෙරමුණ වැනි වූ එල්ටීටීඊ ය සමඟ විවෘතවම දේශපාලන එකඟතාවයන් ඇතිව ක්‍රියාත්මක වූ දෙමළ ජාතික සංධානය දැනටමත් පෙරමුණේ ය. මෙම තත්ත්වය විසින් අපට පෙන්වන්නේ දෙමළ දේශපාලනයේ ඇති විය හැකි වැදගත් ම දිශානතිය යි.

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට දෙමළ ජනයා අතර පිළිගැනීමක් නැත. පදනමක් ඇත්තේ දෙමළ ජාතිකවාදී දේශපාලනයට යි. දෙමළ ජාතික සංධානය පමණක් නොව ඊපීඩීපී ය සහ වව්නියාවේ දී දෙවන තැන ගත් ප්ලොට් සංවිධානය මෙන්ම ආනන්ද සංගරී නියෝජනය කරන්නේ ද දෙමළ ජාතික වාදය යි. මෙම සාධකය පිළි නොගෙන ශ්‍රි ලංකාවේ දේශපාලන සංහිදියාවක් ඇති කළ නොහැක.

සුනන්ද දේශප්‍රිය.