සිංහල

සංවර්ධනය වන රටවල පුද්ගලික අංශය වසරකට රුපියල් කෝටි හාරලක්ෂයක් අල්ලස් දෙයි

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික අංශය සිය ව්‍යාපාර පවත්වාගැනිම හා රහස්‍ය ගණුදෙනු පවත්වා ගැනිම සඳහ දූෂිත දේශපාලකයන්ට හා රාජ්‍ය නිළධාරීන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට(රුපියල් බිලියන 440,000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාදෙන බව ලොව පුරා දූෂණය මැඩලීමට ක්‍රියාකරන ප්‍රමුඛතම ආයතනයක් වන ට්‍රාන්ස්පෙරෙන්සි ජාත්‍යන්තර ආයතනය ඊයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී නිකුත් කළ ගෝලිය වාර්ථාවෙන් පෙන්වා දෙයි.
තමන්ගේ වාසිය සදහා පුද්ගලික ආයතනවල කළමණාකරුවන්, ප්‍රධාන කොටස් හිමියන් සහ
අනෙකුත් ක්‍රියාකාරීන් තමන්ට හිමිව තිබෙන බලතල අයුතු ලෙස යොදා ගන්නා ආකාරය මෙන්ම ඒ
මගින් පුද්ගලික ආයතන හිමිකරුවන්, ආයෝජකයින් මෙන්ම සේවකයින්ට සහ පොදුවේ සමාජයට
සිදුවන අනර්ථයද එම වාර්තාවෙන් හෙළිකර ඇත.
ජාත්‍යන්තර ව්‍යාපාරික ආයතනවල විධායකයන් සමග සිදුකල සමීක්ෂණයන්ට අනුව දූෂණ
හේතුවෙන් බොහෝ ව්‍යාපාරික ව්‍යාපෘතිවල වියදම සියයට දහයකින් ඉහළ යන බව එම වාර්තාවේ
සදහන්ව ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජේ. සී.
වැලිඅමුණ මහතා පැවසීය.
අවසානයේදී එම වියදම දැරීමටද සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට වන අතර වසර 1990 සිට වසර
2005 දක්වා වසර 15 කාලය තුළදී නිෂ්පාදන වල මිළ ගණන් තීන්දු කරන ජාත්‍යන්තර ව්‍යාපාරික
ආයතන තුන්සීයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 300 කට ආසන්න මුදලක් (රු බිලියන 30,000)
ලොව පුරා සිටින පාරිභොගිකයින්ගෙන් අතිරේක ගාස්තුවක් ලෙස අයකරගෙන ඇති බවද එම
වාර්තාව අණාවරණය කර සිටී.
අල්ලස, නිෂ්පාදනවල මිළ තීන්දු කරන ව්‍යාපාරික සමූහයන් සහ මහජනයාට වැදගත්වන ප්‍රතිපත්ති
සදහා අයුතු බලපෑම් සිදුකිරීම යන සිද්ධීන් හරහා සමස්ත ලෝකය පුරාම සිදුවන දූෂණයන්
හේතුවෙන් පුද්ගලික අංශයට රුපියල් බිලියන ගණනක පාඩු සිදුවීමට අමතරව රටවල තිරසාර
ආර්ථික වර්ධනයටද බලපෑම් සිදුවන බව වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
දූෂණය හා පුද්ගලික අංශය෿ යන මැයෙන් නිකුත්ව ඇති පිටු 462 කින් සමන්විත වාර්තාවේ සියලු
රටවල 2007-2008 වසරවල සිදුවූ දූෂණයන් පිළිබද වාර්තාවන්ද සදහන්ව ඇත.
දූෂණ ක්‍රියාදාමයන් මගින් ව්‍යාපාරික ලෝකයේ සාධාරණ තරගකාරීත්වයට හා ස්ථාවර ආර්ථික
වර්ධනයට සිදුවන විනාශකාරී බලපෑමත් එමගින් ව්‍යාපාරික ආයතනවල ස්ථාවරත්වයට සිදුවන
හානියක් වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ. පසුගිය වසර 02 ක් තුළදී පමණක් දූෂිත ගණුදෙනු
නිසා ව්‍යාපාරික ආයතනවල වන්දි ලෙස රුපියල් බිලියන ගණනක් ගෙවීමට සිදුවූ ආකාරයද එහි
සදහන්ය.
මෙම ව්‍යාපාරයන්හි සිදුවන ආර්ථික පරිහානියට අමතරව එම ආයතනවල කාර්යමණ්ඩලවල
මානසිකත්වය බිදවැටීම සහ පාරිභෝගිකයින්ගේ හා ව්‍යාපාරික සගයන් අතර විශ්වාසය බිදවැටීම
සිදුවන ආකාරයද මෙම වාර්තාව මගින් හෙළිදරව් කර ඇතැයි වැලිඅමුණ මහතා වැඩිදුරටත් පැවසීය.