සිංහල, Colombo, Democracy

මහින්දට පරදින මහින්ද

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

මැර බලය, දූෂනය, බලය අනිසි ලෙස යොදා ගැනීම යනාදී ක්‍රම සහ විධි මගින් කෙසේ හෝ බලයට පත්වීමට දේශපාලනඥයකු උත්සාහ කරන්නේ නම් ඒ කුමණ අරමුණකින්ද ? එලෙස බලයට පත්වන දේශපාලනඥයකුට දීර්ඝකාලීනව සමාජයෙහි සහ ඉතිහාසයෙහි අත්වන ඉරණම කුමක් ද?

ජේ.ආර්. ජයවර්ධන 1982 කුප්‍රකට සහ දූෂිත ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු කාලය දිගු කරගෙන සිය දෙවැනි ජනාධිපතිධුර කාලය දිනා ගත්තේ ය. සිය ජයග්‍රහණය සහතික කර ගැනීම සදහා විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඔහු විජය කුමාරතුංග සිරගත කළේ ය. කිසිදු ලැජ්ජාවක් බියක් නැතිව විරුද්ධ පාක්ෂිකයිනට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරියේ ය. 1975 දී සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තු කාලය දෙවසරකින් දිගු කරගත් අතර ජයවර්ධන 1982 දී වසර පහකින්ම පාර්ලිමේන්තු කාලය දිගු කර ගත්තේ ය.

චන්ද්‍රිකා කුමංරතුංග දෙවැනි ධුරකාලය දිනා ගත්තේ රාජ්‍ය බලය අසීමිත ලෙස පාවිච්චි කරමින් අවසානයේදී එල්ටීටිඊ බොම්බ ප්‍රහාරය විසින් ලබා දෙන ලද අනුකම්පා රැල්ල මත ය. එම ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රචාරක තහනම් අවසාන පැය 48 තුළ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සරසවියෙහි උගන්වන ඇදුරන් බුරුතුපිටින් ගෙනැවිත් ආණ්ඩුවේ රූපවාහිනියෙහි පෙනී සිට චන්ද්‍රිකා දිනවීමට දේශණා පැවැත් වීමට ඉඩ සළසා දුන්නා ය. වාර්තාගත 1998 වයඹ ජන්ද කොල්ලයෙන් පසු ඇය දේශපාලන සුජාත බව පිළිබඳ කිසිදු සැළකිල්ලක් දැක්වූයේ නැත.

1977 දී රාජ්‍ය බලය නොමැතිව බලයට පත් ජයවර්ධන මෙන්ම 1994 දී රාජ්‍ය බලය නොමැතිය බලයට පත් කුමාරතුංග සිය දෙවැනි ධුරකාලය වන විට දේශපාලන සදාචාරය අතින් කොතරම් පිරිහී සිටියේ ද යත් ප්‍රජාතන්ත්‍රවාදී වත්පිළිවෙත් තුට්ටුවකට මායිම් නොකරන තරමට විධායක බලයෙන් ඉදිමී සිටියේ ය. එමෙන්ම ඔවුනගේ දෙවැනි ධුර කාලයන්ගෙන් රටට හෝ ජනතාවට සිදු වූ යහපතක් ද නැත.

මහින්ද රාජපක්ෂ ඊට වෙනස් ය. ඔහු ප්‍රථම ධුරකාලය සඳහා බලයට පත් වුයේ රාජ්‍ය බලයේ සහාය ඇතිව අගමැති වශයෙන් කටයුතු කරමිනි. රාජ්‍ය බලය අනිසි ලෙස පාවිච්චි නොකර ජනාධිපතිධුරයට පත්වීමේ අත්දැකීමක් ඔහුට නැත. බලයට පත් වහාම ඔහු සිය මානව හිමිකම් ආරක්ෂක හැව අතහැර කෙවිටෙන් සහ කැරට් අලයෙන් පමණක් ප්‍රශ්ණ විසදීම සිය පිළිවෙත බවට පත් කර ගත්තේ ය. විපාක්ෂික දේශපාලන පක්ෂ සමඟ සංවාදය වෙනුවට ඒවා ඇතුළෙන් බිඳවීම, විසංවාදී ජනමාධ්‍ය මැඩලීම සහ ජනමාධ්‍යවේදින් ඝාතනය කිරීම, ජනවාර්ගික ප්‍රශ්ණයට ඇත්තේ යුද්ධමය විසදුමක් පමණක් බව සහ අවසානයේ දී අපරාධ මැඩලීමේ මඟ වශයෙන් ද ඝාතනය ඔහුගේ ආණ්ඩුවේ දේශපාලන පිළිවෙත බවට පත් විය. අද ඔහු ද පත්ව සිටිනනේ බලය දිනා ගැනීම පිණිස සියළු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් පයට පගා දමන පාලකයකුගේ තත්ත්වයට ය.

ජයවර්ධන සහ කුමාරතුංග සිය ප්‍රථම ජයග්‍රහණ ලබා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුජාත ලෙස ය. දෙදෙනාම දෙවැනි ධුරකාල ලබා ගත්තේ අවජාත ලෙස ය. රාජපක්ෂ සිය ප්‍රථම ධුරකාලය ලබා ගත්තේ ද සුජාත දේශපාලන ක්‍රියා මාර්ග ගැන නොතකමිනි. එහෙත් යුද්ධය විසින් සිංහළ ජනයා අතර ඔහු පිළිගැනීමක් ලබා ගත්තේ ය. දැන් යුද්ධ ජයග්‍රහණ රැස්වළල්ල ප්‍රමාණවත් නැත. අනපේක්ෂිත පරිදි සටනට එළඹි පොන්සේකා පැවැති දේශපාලන සමීකරණය සහමුලින්ම විසුරුවා හැර නව සමීකරණයක් ලියූවේ ය. දැන් කෙරෙන්නේ හුදෙක්ම ඡන්ද සටනක් නොවේ. දේශපාලන සුජාතබාවය පිළිබඳව ද සටනකි. රටක් ජනතාවක් පාලනය කිරීමේ සුජාත භාරකාරත්වය ලබා ගත් හැක්කේ මැතිවරණයක දී ගණනය වන ඡන්ද මගින්ම නොවේ. මැතිවරණ ව්‍යාපාරය තුළ හැසිරීම ද සැළැකිල්ලට ගැනීම මගිනි. ජයවර්ධනගේ මෙන්ම කුමාරතුංගගේ දෙවැනි ධුරකාලය පිරිහීමේ සහ බහින කලාවේ කාලයක් බවට පත් වූයේ ඒ නිසා ය. රාජපක්ෂ අද මුහුණ දී සිටින්නේ පැරදුනත් දිනුවත් අවසානයේ දී දේශපාලන සුජාතබව නැතිව යාම විසින් දීර්ඝකාලීනව පරදවන ලබන අවාසනාවන්ත තත්ත්වයකට ය.

12 දින මේ සටහන ලියන අවස්ථාවේදී මට දැන ගන්නට ලැබුණූ කරුණූ තුනක් මෙසේ ය. පළමුවැන්න නම් තංගල්ල රන්න ප්‍රදේශයෙහි ෆොන්සේකා ආධාරකාරියක වෙඩි තබා මරා දමා ඇති බව යි. තවත් 10 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව යි. දෙවැන්න ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයක සිදු නොවූ පරිද්දෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකන ආණ්ඩුවක් බවට ද රාජපක්ෂ පාලනය පත්ව ඇති බවත් ආණ්ඩුව දිගටම මෙළෙස කටයුතු කරන්නේ නම් තමා මැතිවරණ රාජකාරී කෙරෙන් ඉවත්වන බවට තර්ජනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවීම යි. තෙැවැන්න නම් විශේෂ වැටුප් ලේඛනයක් මගින් සියළුම ගුරුවර ගුරුවරියනට රු.1500 ක විශේෂ දීමනාවක් ලබා දුන් බව යි. (බදාදා උදෑසන තවත් කරුණක් එක් වීය. එනම් පොළොන්නරුව ප්‍රහාරය සහ ජනමාධ්‍යවේදිනී තක්ෂිලා දිල්රුක්ෂිට ආණ්ඩුවේ මැර පිරිස් විසින් පහර දීම යි)

පොදු වශයෙන් බලන විට රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කැපි පෙනෙන ලක්ෂණ කිහිපයක් මෙසේ ය:

විපාක්ෂිකයින්ට එරෙහි බරපතල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මේ වනවිට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා 150කට වඩා ද අනෙක් ප්‍රචණ්ඩ ක්‍රියා 300ක් පමණ ද වාර්තා වී තිබේ.
අති විශාල ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් අරලිය ගහ මැදුරේ සහ පිට පළාත් ජනාධිපති මන්දිරයන්හි දිගින් දිගටම දේශපාලන සාද පැවැත්වීම
ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ සංවිධානයක් විසින් රුපියල් කෝටි ගණන් වැය කරමින් කරගෙන යන ජනාධිපතිවරණ ප්‍රචාරය, දෙසැම්බර් 31 දා වන විට මෙම වැය ලක්ෂ 2000 ඉක්මවා තිබූ බව පොදු දේපල රැක ගැනීමේ වැඩ සටහන වාර්තා කරයි.
මැතිවරණ කොමසාරිස්ගේ නියෝග නොතකා රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව යොදා ගැනීම, සිය පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලවා මෙම ආයතන නිල වශයෙන්ම පාලනය කිරීම, ඒ මගින් මැතිවරණ කොමසාරිස්වරයා හැල්ලුවට ලක් කිරීම
පොලීසිය දේශපාලන අවයවයක් සේ යොදා ගනිමින් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම
නීති විරෝධී ලෙස තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් යනාදීන් සහ ඒ හරහා රාජ්‍ය සම්පත් අසීමිත ලෙස ජනාධිපතිවරණයට යොදා ගැනීම,
ජනාධිපතිවරණයට අදළ ව්‍යාජ පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීම, උදා: පසුගිය ඉරිදා ලංකාදීප මුල් පුවත සහ ඩේලි මිරර් පුවත්පතින් යැවෙන එස්.එම්.එස්. පණිවිඩ ලෙස හැඟී යන පරිදි රාජපක්ෂවාදී එස්.එම්.එස්. පණිවිඩ යැවීම,
ජනාධිපතිවරයාගේ නව අව්රුදු සුභ පැතුම් ලක්ෂ 120ක් නොමිලයේ යැවීම සඳහා සියළුම ජංගම දුරකථන සමාගම් වලට නියෝග කිරීම, එක් එස්එම්එස් පනිවිඩයක මිල රුපියලක් ලෙස සැළකුව ද මේ වනාහි අති විශාල මුදලක් බලයෙන් ලබා ගැනීමකි.
ඉහළම පෙළේ රාජ්‍ය සේවකයකු වන ආරක්ෂ ලේකම්වරයා සියළු නීති සහ සම්ප්‍රධායයන් නොසළකමින් විවෘතවම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ නිරත වීම
අතිවිශාල ධන සම්පත් යොදා ගනිමින් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් කැරෙන මහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු අයවැයෙන් නොදුන් වැටුප් වැඩි කිරීම් දේශපාලන අල්ලස් ලෙස ලබා දීම

මෙම සියළු කරුණු කෙරෙන් පෙන්නුම් කැරෙන්නේ සිය ජයග්‍රහණය මිස එය නීතියේ සහ සමාජ සම්මතයේ රාමුව තුළ කරගෙන යා යුතු යැයි රාජපක්ෂ දේශපාලනය කිසිසේත් ම තැකීමක් නොකරන බව යි. ඔහු සිය දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සුජාතබව ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත.

මානව සමාජයේ ඉතිහාසය පුරා දේශපාලන සුජාතබාවය අත්කර ගැනීමට ක්‍රම තුනක් භාවිත වී ඇතැයි ජර්මානු සමාජ විද්‍යාඥයකු වූ මැක්ස් වේබර් පෙන්වා දුන්නේ ය:

1. අනුහස් සහිත නායකත්වයේ සුජාතබව, එනම් වසඟකාරී සහ ආකර්ෂනාත්මක එමෙන්ම පෙළඹවා ගත හැකි සංනිවේදන හැකියාවක් සහිත නායකත්වයක් තිබීම, එම නායකත්වය සතුව සුවිශේෂ බලයක් ඇතැයි යන පැතිරුණූ විශ්වාසය, උදා: ආගමික සහ ගෝත්‍රික නායකත්වයන්
2. සම්ප්‍රදාය මත ලැබෙන සුජාතබව, එනම් දීරඝකාලයක් පැවැතීම නිසා පාලනය කිරීමට අයිතියක් ඇතියි පැතිරුණූ පිළිගැනීමක් ඇති වීම, නිදසුනක් වශයෙන් රාජකීයත්වය,
3.තාර්කිකත්වයේ සහ නීතියේ ආධිපත්‍යයේ සුජාතබව, ආණ්ඩුවේ බලය ව්‍යවස්ථාපිත නීති, මූලධර්ම, සහ පිළිවෙත් මගින් ලැබෙන්නේ ය යන පැතිරුනු පිළිගැනීම, නිදසුනක් වශයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය

රාජපක්ෂ පාලනය තමන්ට දෙවැනි ධුරකාලයක් ලැබුණහොත් එකී ආණ්ඩුකරණයට නීතියේ පාලනයේ සුජාතබාවයක් ලබා ගැනීමට අදහස් නොකරන බව මෙම ජනාධිපතිවරණය කරගෙන යන හැටියෙන් මනාව පෙනෙන්නට තිබේ මැක්ස් වේබර් පෙන්වා දුන් කරුණූ අතරින් රාජපක්ෂ උත්සාහ කරනු ඇත්තේ පළමු සහ දෙවැනි සාධකයන්හි සංකලනයක් මගින් සිය දෙවැනි ධුර කාලය තහවුරු කර ගැනීමට ය. මන්ද යත් ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සහමුලින්ම පදනම් වී ඇත්තේ බලහත්කාරය සහ දූෂනය සහ භීෂනය මත නිසා ය. කණගාටුවට කරුණ නම් මෙකී ප්‍රජාතන්ත්‍ර විරෝධි පිළවෙත මගින් තමන් දිනුවත් පරදින බව මහින්ද රාජපක්ෂ මහතා තේරුම් නොගැනීම යි. කිසිදු බියක් ලැජ්ජාවක් නැතිව දූෂණය සහ භිෂනය මගින් බලයට පත් වීමට දේශපාලනඥයකු උත්සාහ කරන්නේ නම් ඒ මන්දැයි යන ප්‍රශ්නය කියවන ඔබට ඉතිරි කරමි.

සුනන්ද දේශප්‍රිය