සිංහල, Colombo, Life quips

තිරුකෝණමලෛ සඳ

සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදා ම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඩගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා

‛‛නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලිහෛ පූ කොන්ඩු වා’’

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරට
රේණු අතරින් කඳුළු සැලුවා

යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
තිරුකෝණමලෛ එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලුවා

කුරුලු කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතු හට
සඳුගෙ අසරණ දෙ නෙත පෙනුණා
ළ හිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලුණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬගහනවා
සිඟිති අත් පොඩි හොල්ල හොල්ලා

මංජුල වෙඩිවර්ධන