සිංහල, Democracy, Peace and reconciliation, Pollonnaruwa, Stories from the silent

යටඋනා දෙමළ මිනිස්සු – කරපොල, වැලිකන්ද

‛අපි ඉස්සර හිටියේ පරණකරපොල. එහේ හිටපු කට්ටිය තමා මහවැලි ව්‍යාපාරය යටතේ මෙහාට ගෙනාවේ. දැනට අවුරුදු 22කට විතර කළින්. අපිට දුන්නේ ගොඩින් අක්කර දෙකයි. මඩින් භාගයයි. මෙහේ දැනට පවුල් 750ක් විතර ඉන්නවා. ඒවා දෙනකොටනන් අපිට සැලකුවේ දෙයියන්ට වගේ. දැන් අපි ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ ආණ්ඩුකරන ඔක්කෝටම’
කරපොල ගමේ මැදිවියේ අයෙක් දුක්මුසුව අප සමග පැවසීය.


කරපොල කියන්නේ වැලිකන්දේ එක් සීමාවක පිහිටි ප්‍රදේශයක්. වර්තමානයේ මෙම ප්‍රදේශය එල්ටීටීඊ සංවිධානයෙන් වෙන් වූ කරුණා කණ්ඩායමට අයිති ප්‍රදේශයක් යැයි පැවසේ.

එය මෙහි මාර්ගවල සහ ගම් ඇතුලට යන ඕනෑම අයෙකුට මනාවට දිස්වේ. අංක තහඩු නැති අලුත්ම යතුරු පැදිවල ආයුධ සන්නද්ධව ගමන් කරන තරුණයින්, කරුණා පාර්ශවයේ කඳවුරු ආදී මෙහි සුලභ දසුනක්.
නමුත් මෙම කණ්ඩායම් නිසා කරපොල ආදි ප්‍රදේශවල ජනයා බියෙන් හා තැතිගැන්මකින් ජීවත් වන බව අපට දිස්විය.

‛ඉස්සර නම් ඕලෙවල්, එලේවල් පාස් උනාම අපේ කොල්ලෝ කොහේ හරි රස්සාවක් කරනවා. දැන් ඒකට ඉඩක් නෑ. මොකද කරුණා පාර්ශවය මේහෙට ඇවිල්ලා. ඒකට ළමයි බලෙන් බඳවා ගත්තා. ඒ ගැන අම්මලා, තාත්තලා ගිහිල්ලා ආමි එකට කිවුවා. අපේ ළමයි අරන් දෙන්න කියලා. අඬ අඬා පිකටින් පවා තිබ්බා. ආමි එකෙන් කිසිදෙයක් කළේ නෑ. ගනන් ගත්තේවත් නෑ. මේවා කියලා වැඩකුත් නෑ. බොරු වැඩක්. නිකං බොරු බජවු.’

මෙම කණ්ඩායම, ආණ්ඩුවත් සමග කුමණ හෝ බැඳීමක් ඇති බවට ඔවුන් විශ්වාස කරයි. මෙම කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වී මෙහි පාලනය කරනව. එයින් මෙම ප්‍රදේශයට කසිදු දියුණුවක් වී නැති බව බොහෝ දෙනා පවසයි. විශේෂයෙන් මොවුන්ගේ බලහත්කාරය කොපමණද යත් එකම තරුණයෙකුටවත් මොවුන්ගේ කණ්ඩායමට නොබැදී ඉන්නට පුලුවන් කමක් නැත. එසේ කණ්ඩායමට බැදීම ප්‍රතික්ෂේප කළහොත් බලෙන් ඔහුව රැගෙන යාමට තරම් ඔවුන් මෙම ප්‍රදේශය තම ආධිපත්‍යට නතු කර ගෙන ඇති බව බොහෝ දෙනා පවසයි. අධ්‍යාපනය හොඳින් කරගෙන යන තරුණ තරුණයින් පවා මොවුන් බලෙන් පැහැරගෙන යන බව ගම්වාසීන් පවසන්නේ ඉමහත් කළකිරීමකින් යුතුවය.

‛දැන් මේකට්ටිය බෙදිලා අවුරුදු දෙක, තුනක් වෙනවා. කිසිම දියුණුවක් මෙහේ නෑ. අඩු ගාණේ නීතියවත් හරියට නෑ. විභාගෙ ලියලා මඩකලපු ගිහිල්ලා කෝස් කරපු 5දෙනෙක් විතර ඉන්නවා. එයාලා හොදට දියුණු උනා. ඒ කට්ටිය ඔක්කොම දැන් රට ඉන්නේ. ඒ පස් දෙනා වගේ තව දහදෙනෙක් මේ අවුරුද්ද තුළ බිහිවෙන්න තිබුණා. ඒවා දැන් නැතිවෙලා තියෙන්නේ. දේවාලේ උත්සවයකටවත් කොල්ලෙක් හොයාගන්න බෑ.’

‛පහුගිය කාලේ තරුණ ගෑණු ළමයින්ට මැහුම් පංතියක් දැම්මා. වෘත්තීය පුහුණු එකෙන්. මාසයක් කරගෙන යන්න හම්බ උනේ නෑ. කරුණා පාර්ශවයෙන් ගෑණූ ළමයි දෙන්නෙක් ඒ පංතියට දැම්මා, ඒ ගෑණු ළමයි දැම්මේ පංතියේ අනිත් ගෑණු ළමයි කණ්ඩායමට බඳවාගන්න කියලා තේරුණ නිසා අනිත් ළමයි පංතියට ආවේ නෑ. පංතිය ඉවරයි.

රජයක් හැටියට මේ දේවල් වලක්වන්න තිබුණා. වැලැක්කුවේ නෑ. අපි දන්නේ නෑ මේ පාර්ශවයන් එක්ක මොනවගේ බැඳීමක් රජයට තියනවද කියලා. ඒක අපිට ප්‍රශ්ණයක්. අපේ ජීවිතවලට ප්‍රශ්ණයක්’

විශේෂයෙන් මෙම කණ්ඩායම එල්ටීටීඊ යට විරුද්ධව ක්‍රියාකරන කණ්ඩායමක් නිසා මෙම කණ්ඩායම්වලට ඔවුන්ගේ නීතිය භාවිත කිරීමටත්, ඔවුන්ට රිසි විදිහට තමන්ගේ ක්‍රියාකාරීත්වයන් කරගෙන යාමටත්, අවසර දී ඇති බව මෙම ප්‍රදේශයේ ජනයාගේ අදහසයි.

පොලිස් නිළධාරින් බලා සිටියදී යතුරු පැදිවල නැගී ආයුධ සන්නද්ධව ගමන් ගන්නා තරුණයින් පිළිබඳ ඔබලා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප එක් පොළිස් නිළධාරියෙකුගෙන් විමසීය.

‛ මහත්තයා ඕවා අහන්න එපා. මටත් දරු පවුලක් ඉන්නවා..’

මෙයින් මෙම ප්‍රදේශවල නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිළධාරින්ට සිදුව ඇති ඉරණම පැහැදිළි කරගත නොහැකිද..?

‛ 6න් පස්සේ අපිට පාරේ යන්න බෑ. අපි මේ ගමේ වෙලා.’

‛ …….ඕයි කවුද..? මල්ලි මම මළ ගෙදර යනවා….මම ආපහු 10ට විතර එනවා. හා… මේ හැමදාම යන්න බෑ.. හරිද….
ලැජ්ජයි. අපට ඇත්තටම. දෙමළ වෙලත්. පොළිසිය අපෙන් අහන්නේ නැති ප්‍රශ්ණ කණ්ඩායමේ අය අහනවා.’

එක් තරුණයෙක් අප සමග පැවසුවේ මහත් වේදනාවෙන්.

‛ මේ කණ්ඩායම් කවදා හරි ආණ්ඩුවත් එක්ක අමනාප උනොත්, දෙයි හාමුදුරුවනේ කරපොළ කුඩුම කුඩුවෙනවා. ආමි එකෙනුත් අපිට ගහනවා. හැමෝම අපිට ගහනවා. උදාහරණයක් කියනවානන්. එල්ටීටීය ගැන හිතලා බලනකොට, එයාලා රණසිංහ ප්‍රේමදාස මහත්තයත් එක්ක හොදට හිටියා. අන්තිමට දෙගොල්ලෝම අමනාප උනා. යටඋනා දෙමළ මිනිස්සු. ඒ වගේ උනොත් තමා කරපොල නෙමේ මේ ඔක්කොම ඉවරයි. ඒකට ආණ්ඩුව තමා පළමුවෙන් වගකියන්න ඕන.’

‛ දැන් බලන්න මහපාරේ බයික් යනවා. හෙල්මට් නෑ. ලයිසන් නෑ. හදිස්සියකට අපි ගියොත් එහෙම. දඩ කොළ සියක්. ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා නීතිය කඩනවා. දඩ දෙන්නේ අහිංසක මිනිසුන්ට.’

මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක වන මෙම ආයුධ සන්නද්ධ කණ්ඩායමුත්, සංවර්ධනය සදහා යැයි කියමින් යොදවන රාජ්‍ය නිළධාරිනුත් නිසා මෙම ප්‍රදේශයේ ජන ජිවිතය ඉතා සීග්‍රයෙන් අඩපණ වෙමින් ඇත. මොවුන්ගේ සංවර්ධනය කෙසේ වෙතත් එදිනෙදා ජිවන මාර්ග යහපත් කිරීමටවත් දකුණේ ආණුඩුවට නොහැකි බව මනාවට මෙම ප්‍රදේශයෙන් දිස්වේ. එසේම අවිගත් කණ්ඩායම් සිදුකරන ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් මෙම ප්‍රදේශ ආණ්ඩුවේ පාලනයෙන් බැහැර ප්‍රදේශයක් ලෙස ද හැදින්වීමට ඕනැතරම් සාදක මෙහි දී හමුවේ.

නමුත් යමක් අවබෝධ කර ගත හැකි, යමක් තෙරුම් ගන්නට උත්සහ කරන ඇතැම් ජනයා තවමත් මෙම දුෂ්කර දිවිපෙවත වඩා, සුන්දර දිවිපෙවතක් කර ගන්නට සිහින මවමින් සිටිම නැගෙණහිර උදානය ව්‍යාපෘතියට නොපෙනුනේ මන්ද..
ඒත් ඔවුන්ගේ සිහින, යතාර්තයක් කර ගැනීමට ඇති ඔවුන්ගේ බලාපොරොත්තුව උණ්ඩයේ ශක්තියට වඩා බලවත් බව නම් නිසැකය.

‛ඇත්තටම කරන්න තියෙන්නේ හොද ප්‍රොජට් එකක් ගෙනල්ලා මෙහේ මිනිස්සු සජීවිකරනය කරන එක. මොකද මෙහේ මිනිස්සු මානසිකව වැටිලා ඉන්නේ.’

මෙම අදහස් පැවසූ කිසිවෙක් තම අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ තමන්ගේ ජීවිතයට ඇති ආශාව නිසා බව ඔවුන්ගේ මුහුණුවලින් අපට දිස්විය.