වසර 10කට පෙර සිය පුතු සොයා යාමේ වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කිරීමට ලක් වුණු ජෙයකුමාරි 2025 මාර්තු මස 26 වන දින කොළඹට පැමිණියාය. ඒ සිය පුතුගේ අතුරුදහන් කිරීම සම්බන්ධව සියලු තොරතුරු සහිත ලිපියක් ජනාධිපතිවරයාට ලබා දීමේ අරමුණෙනි. මේ වසර ගණනාව පුරාවටම විවිධ ආණ්ඩු යටතේ ක්‍රියාත්මක වන මර්දන නීතිත්, ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්, තර්ජන සහ නිරීක්ෂණයට ලක් වීමත් සත්‍ය සහ යුක්තිය කෙරෙහි වන ඇගේ අධිෂ්ටානය මර්දනය කිරීමට සමත් වී නැත.

තුන්තිස් පැයේ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙහා ‘ගෝටාගෝගම’ යැයි ගූගල් සිතියමේ නම් කොට ඇති ස්ථානයේ ඇති ගංසූරිය ගස් දෙකතුන පිරිවරා ගත් කවුදෝ පිරිසකි. නිල ඇඳුම් හෝ නිල හැඳුනුම්පත් නැති මොවුහු ජෙයකුමාරිට සහයෝගය පළ කරමින් පැමිණ සිටි සීමිත පිරිසගෙන් ප්‍රශ්න කළ අතර, ජෙයකුමාරි මාධ්‍යයට අදහස් දක්වද්දී එයත් පැමිණ සිටි පිරිසත් ඡායාරූප ගත කළහ. ජෙයකුමාරි ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම වෙත ළඟා වන විට, ඊට මදන් දුරින් එපිරිස වැළැක් වූ පොලිස් නිලධාරීන් ‘ඔයායි මෙයායි එයායි එන්න’ ලෙස තුන් දෙනෙක් නම් කරද්දි ජෙයකුමාරි සමඟ තවත් 4 දෙනෙක් යා යුතු බවත්, ඒ කවුදැයි තීන්දු කරන්නේ අපි බවත් දැනුම් දීමට සිදු විය. ඉන්පසු පොලිස් නිලධාරීන් විසින් නියෝග කරනු ලැබුවේ ‘ආරක්ෂක හේතු මත’ ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිටීම තහනම් හෙයින් අනිත් පිරිස ඈතට යා යුතු බවයි.

ලිපිය අතුරුදහන් කිරීමට ලක් වූ දරුවෙක් පිළිබඳව බව සැල කිරීමෙන් අනතුරුව දුරකතන පණිවිඩ හුවමාරු කරගැනීමෙන් පසු ‘ලිපිය බාර ගත නොහැකි’ බවට කාර්යාල පිවිසුමේ ආරක්ෂක නිලධාරීහු පැවසූහ. බාරගත නොහැක්කේ මන්දැයි විමසූ විට ඔවුහු පැවසුවේ තමන් ඒ ගැන කිසිත් නොදන්නා බවත්, තමන්ගේ රාජකාරිය කාර්යාලයේ පණිවිඩය සන්නිවේදනය කිරීම පමණක් බවත් ය. ඒ අනුව ‘ඕනෑම වෙලාවක’ මහජනයාට පැමිණිය හැකි බවට නිල වෙබ් අඩවියේ දක්වා ඇති ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන ලිපියක් බාරගත නොහැක්කේ මන්දැයි වගකිව යුතු නිලධාරියෙක් ලවා නිල හේතු දැක්වීමක් ලබා ගැනීමට පුරවැසියන්ට අයිතියක් නැත. කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් සන්නිවේදනය කරන පණිවිඩය මත පුරවැසියා කර බා හැරී යා යුතුය.

දීර්ඝ තර්ක විතර්කවලින් පසු ජෙයකුමාරිට ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය වෙත ලිපිය බාර දෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දෙන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ‘මේ වගේ කඳවුරු පවත්වාගෙන ගියේ එල්.ටී.ටී.ඊ. එකෙන් මිසක් හමුදාවෙන් නොවේ’ පවසද්දී පුනුරුත්ථාපන කඳවුරු යනු මොනවාදැයි යන්නත් ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් එවන් කඳවුරු පවත්වාගෙන ගිය බවත් ඔහුට පහදා දෙන්නට ජෙයකුමාරිගේ නීතිඥවරියන්ට සිදු විය. එසේම, සහකාර ලේකම්වරයාටත් එම කාර්ය මණ්ඩලයටත් ලිපියේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැහැදිලිව දක්වා ඇති කරුණු නැවත නැවතත් පැහැදිලි කිරීමට ඔවුන්ට සිදු විය. එම කාර්ය මණ්ඩලයේ අතුරුදහන් කිරීමේ සිදුවීම් පිළිබඳ කටයුතු කරන නිලධාරිනිය ‘මරණ සහතිකේ ගත්තේ නැද්දැයි’ දෙමළ පමණක් තේරෙන ජෙයකුමාරිගෙන් සිංහලෙන් අසූ විට ‘මේක මරණයක් නෙමේ, අතුරුදහන් කිරීමක්. මරණ සහතිකයක් ගන්න මළ සිරුරක් හමුවෙලා නැහැ.’ යි පහදා දෙන්නටත් සිදු විය.

අවසානයේ අතුරුදහන් කිරීමට ලක් වූ බලේන්ද්‍රන් මහින්දන්ගේ උප්පැන්න සහතිකයේ නමෙහි ඇති තාක්ෂණික වරදක් හේතුවෙන් එම ලේඛනය හැර අමුණා ඇති අනෙකුත් ලේඛන සමඟ ලිපිය බාර ගත් නමුත් උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් ලබා දෙන තෙක් ලිපිය බාර ගත් බවට ලිපියක් ලබා දීමට නොහැකි බව දන්වන ලදී. එසේම එම ලේඛනය ඔවුන්ට ලැබුණු විගස මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කරන බවටද ඔවුහු ජෙයකුමාරිට සහතික වූහ.

ඇය බාර දුන් ලිපිය පහත පරිදි වේ.

2025 මාර්තු 26
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ජනාධිපතිතුමණි,

මගේ පුතා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ සිදුවීමට අදාළව සහය ඉල්ලා සිටීමට කරනු ලබන ඉල්ලීමයි

බාලේන්ද්‍රන් ජෙයකුමාරි (ජා.හැ.අ.627880944V) වන මම අංක 5, මුසුරන්පිටි, පුලියම්පොක්කනෛ, කිලිනොච්චිය යන ලිපිනයෙහි පදිංචිව සිටිමි. දරුවන් හතර දෙනකුගේ වැන්දඹු මවක් ලෙස, මම විශාල අහිමිවීම් විඳ දරා ඇත්තෙමි. ගැටුම තුළදී මගේ පුතුන් දෙදෙනෙක් ඝාතනය වූ අතර, 2008 වසරේදී මගේ බාල පුතා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූයේය. මගේ ස්වාමිපුරුෂයාද මිය යාමත් සමඟ මට මගෙ පවුලේ ආදරණීයයන් හතර දෙනකු අහිමි වූ අතර, මට පවුලේ ඉතිරිව ඇත්තේ දැනට මා සමඟ ජීවත් වන මගේ දියණිය වන විබුෂිකා පමණි.

ගැටුම අතරතුර, මම මගේ බාල පුත් බාලේන්ද්‍රන් මහින්දන් (උප්පැන්න සහතික අංක: 5369, ඇමුණුම: 1, උපන් දිනය: 1993 ජුනි 27) සහ දියණිය බාලේන්ද්‍රන් විබූෂිකා සමඟ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, K152 ග්‍රාම සේවා කොට්ඨාසයේ, කල්මඩු, පෛන්තමිල්කුඩුඉරිප්පු හි පදිංචිව සිටියෙමි. අපිට කිසිදු ආදායම් මාර්ගයක්, ආහාර පාන හෝ සහයක් නොතිබුණු හෙයින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු මගේ බාල පුතා 2008 දෙසැම්බර් 18 වැනි දින රැකියාවක් සොයා නිවසින් පිටව ගියේය. කෙසේ වෙතත්, ඔහු නැවත නිවසට පැමිණියේ හෝ එතැන් පටන් මම ඔහුව දුටුවේ හෝ නැති අතර, මට මගේ පුතා සමඟ කිසිදු ආකාරයේ සම්බන්ධතාවයක් නොතිබුණි. යුද්ධයේ අවසන් අදියරේදී අප අවතැන් වූ විට මගේ පුතා මා සොයමින් සිටින බව කීප දෙනකු විසින් මට දැනුම් දෙන ලදී. මේ පුද්ගලයන් අතරින් දෙදෙනකු යුද්ධයේ අවසන් අදියරේදී ඝාතනය වූ අතර අනෙක් පුද්ගලයන්ව සම්බන්ධ කර ගැනීමට මට හැකියාවක් ලැබුණේ නැත. මගේ පුතා (තවත් 3 දෙනකු සමඟ) හමුදාව විසින් රැගෙන යනු ඔහු දුටු බව පසුව එක් පුද්ගලයෙක් මට පැවසීය.

පසුගිය වසර 15 පුරා තිබෙන සෑම මාර්ගයකින්ම මම වෙහෙස නොබලා ඔහුව සෙවූවද, ඔහු සිටින ස්ථානය ගැන කිසිදු තොරතුරක් ලබා ගැනීමට මට නොහැකි විය. මම එතැන් පටන් පහත ලැයිස්තුගත කර ඇති බලධාරීන් වෙත පැමිණිලි ගොනු කර ඇති අතර, වැඩිදුර විස්තර සඳහා අදාළ ප්‍රතිචාරවල ඡායා පිටපත් මම මේ සමඟ අමුණමි:

1. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් නිකුත් කරන ලද 2009 ජූලි 22 දිනැති සහ 2010 ජනවාරි 4 දිනැති ලිපි – ඇමුණුම: 2 සහ 3
2. කිලිනොචිච්චි මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් නිකුත් කරන ලද 2011 දෙසැම්බර් 30 වැනි දිනැති කුවිතාන්සිය (O/W: 96/11) – ඇමුණුම:4
3. යාපනය මානව හිමිකම් කොමිෂන් සභා ප්‍රාදේශීය කාර්යාලයෙන් නිකුත් කරන ලද 2012 නොවැම්බර් 21 දිනැති ලිපිය (HRC/KI/014/2012) – ඇමුණුම: 5
4. කොළඹ මානව හිමිකම් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ලද 2017 ඔක්තෝබර් 03 දිනැති ලිපිය (HRC/152/2014)- ඇමුණුම: 6
5. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් නිකුත් කරන ලද 2014 ජනවාරි 13 සහ 2016 අප්‍රේල් 6 වැනි දිනැති ලිපි (Ref: CICRMP/01/CC) – ඇමුණුම: 7 සහ 8
කෙසේ වෙතත්, විශ්වාසනීය මූලාශ්‍ර මත පදනම්ව, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට මම තරයේ විශ්වාස කරමි. පහතින් ඊට අදාළ තොරතුරු මේ සමඟ මම සපයන අතර, අදාළ සාක්ෂි මේ සමඟ අමුණා ඇත.
1) The Irish Times පුවත්පත (2009 ජූනි 25) – 2009 දී අධිකරණ අමාත්‍යාංශය මගින් පවත්වාගෙන ගිය අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුර ගැන ලියූ ලිපියක එහි පුනරුත්ථාපනය වන තරුණ තරුණියන්ගේ ඡායාරූපයක් පළ විය. මට මේ පුවත්පත ලැබුණු වහාම මගේ පුතා එම ඡායාරූපයේ සිටින බව මම හඳුනා ගත්තෙමි. එම ලිපිය අඩංගු මුල් පත්‍රිකාව මා සතුව තිබෙන අතර එහි පිටපතක් මෙහි ඇමුණුම අංක 9 ලෙස අමුණා ඇත. පුනරුත්ථාපන කටයුතු අධිකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු වූ බව ලිපියේ පැහැදිලිව සඳහන් වේ.
2) 2012 දී ප්‍රකාශයට පත් කරන ලද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් ප්‍රකාශයට පත් කළ පොතෙහි (ISBN:978-955-1655-88-4) අංක 41 පිටුවේ පුනරුත්ථාපනය වූ තරුණයන් පෙන්වන ඡායාරූපයක් ඇතුළත් වන අතර, එහි මගේ පුතා ද සිටියි. මෙම ඡායාරූපය, රජයේ නිල පුවත් වෙබ් අඩවියක් වන ‘ලංකා පුවත්’ තුළින් ලබා ගත් බවට එහි සඳහන් කර ඇත. ඔබේ තොරතුරු සඳහා කවර පිටුව සහ පිටු අංක 41 ඇමුණුම් අංක 10 සහ 11 ලෙස අමුණා ඇත.

මගේ පුතා අතුරුදහන් වූ දා සිට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් 5 වැනි ජනාධිපතිවරයා ඔබයි. දැන් ජනාධිපතිවරයා ලෙස ඔබතුමා, සාමාන්‍ය ජනතාවගේ අරගල තේරුම් ගත් නායකයකු ලෙස අපගේ හැඬීම්වලට සහ කඳුළුවලට අවධානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරන අතර, ඔබ අපගේ දුක්ගැනවිලිවලට සවන් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මම කාරුණිකව ඔබ වෙත පහත ඉල්ලීම් ඉදිරිපත් කරමි;

1) මගේ පුතා සොයා ගැනීම ගැන සාකච්ඡා කිරීමට මට සහ මගේ දුවට ඔබව පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස.
2) 2009 දී අධිකරණ අමාත්‍යාංශය මගින් පවත්වාගෙන ගිය අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුර පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මට උදව් කරන ලෙස.
3) පොලිසියට සහ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමට සිදු කරන ලද පැමිණිලි සහ සන්නිවේදන සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මට ලබා දෙන ලෙස.
මම ඔබ වෙත මෙම ලිපිය යොමු කරන්නේ මගේ පුතා ගැන තොරතුරු සොයා ගැනීමටත්, පසුගිය වසර 15 තුළ මා මුහුණ දුන් අයුක්තියට යුක්තිය ඉටු කිරීමටත් ඔබ අවධානය යොමු කරනු ඇතැයි යන අවංක බලාපොරොත්තුවෙනි. ඒ සඳහා ඔබෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.

විශ්වාසී,

බාලේන්ද්‍රන් ජෙයකුමාරි
(ජා.හැ.අ. 627880944V)

ජෙයකුමාරි ඔවුන්ට ස්තූති කර අසුනෙන් නැඟිට මදක් ගොස් නැවත හැරී විත් නිලධාරීන් වෙත ආයාචනා කළාය “එන්ඩ පිල්ලෛය තේඩි තාංග..” (මගේ ළමයාව හොයලා දෙන්න)

ජෙයකුමාරි | අපේ කාලයේ ‘පටාචාරාව!’

ජෙයකුමාරි බාලේන්ද්‍රන් ජීවත් වූයේ ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ ය. පිරිමි දරුවන් තිදෙනෙක් සහ එක් දියණියක් ඇයගේ පවුලේ සම්පත විය. තම දරුවන් කුඩා කාලයේදීම, ජෙයකුමාරිගේ සැමියා හෘදයාබාධයකින් මිය ගියේ ය. ජෙයකුමාරි දරුවන් සමග ජීවත් වූයේ කුලී වැඩකර එයින් ලැබෙන ආදායමෙනි. සිය සංහාරයේ පීඩාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙමින්ය. 2006 දී ජෙයකුමාරිගේ වැඩිමහල් පුතා නිවස අසල දී නාඳුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි තැබීමකින් ඝාතනය කළ පසු ජෙයකුමාරි අනෙකුත් දරුවන් ද සමඟ වන්නියට පැමිණියාය.

එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ ‘මානුෂීය මෙහෙයුම්’ යැයි නම් කළ සංහාරය නිසා තැනින් තැන අවතැන්ව යමින් සිටියදී 2009 මැයි 5 වැනි දින ‘යුධ මුක්ත කලාපය’ යැයි ප්‍රකාශයට පත් කළ ප්‍රදේශයේ සිටිය දී එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් ජෙයකුමාරිගේ දෙවැනි පුත්‍රයාද ඝාතනය විය.

2008 දී ජෙයකුමාරිගේ බාල පුත් මහින්දන් නිවසින් පිටව යන්නේ කෑමට පවා යමක් නොතිබූ සිය පවුල වෙනුවෙන් යමක් උපයා ගැනීමේ අරමුණෙනි. ඉන් පසුව මහින්දන් කිසිදා නිවසට ආවේ නැති අතර, ගැටුම උග්‍ර වද්දී ජෙයකුමාරි සිය දියණිය සමඟ අවතැන්ව ප්‍රදේශයෙන් පිටවූවාය. ප්‍රහාරවලින් බේරී අවතැන්ව තැන තැන දුවද්දී හමුවූ ඇතමෙක් මහින්දන් ද සිය මව සහ නැගණිය සොයමින් සිටින බව ජෙයකුමාරිට දන්වා ඇත.

දස දහසක් ඝාතනය වූ මුල්ලිවායික්කාල් භූමියේදී දිව ගළවා ගෙන දියණිය සමඟ අනාථ කඳවුරකට ගාල් කරන ලද ජෙයකුමාරි පුතු ගැන විමසීම අත් නොහළාය. අයර්ලන්ත පුවත්පතක් වන Irish Times පුවත්පතෙහි 2009 ජූනි 25 දින පළ වූ ලිපියක ඇති ඡායාරූපයක මහින්දන් සිටිනු ජෙයකුමාරි හඳුනා ගත්තාය. එම ඡායාරූපය අධිකරණ අමාත්‍යංශය විසින් පරිපාලනය කරන ලද අඹේපුස්ස පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී ගන්නා ලද ඡායාරූපයකි.

ස්වාමියා අහිමිව, පුතුන් දෙදෙනකු මානුෂික මෙහෙයුම විසින් ගොදුරු කරගත් ජෙයකුමාරි අතුරුදහන් කළ සිය බාල පුතා මහින්දන් සොයමින් සෑම තැනම ඇවිද්දාය. සිය මව සමඟ සෑම විරෝධයකටම සහභාගී වෙමින් සහෝදරයාගේ ඡායාරූපය ද රැගෙන යමින් විභූෂිකා සිය ‘අයියා‘ ඉල්ලා සිටියා ය.

ඒ අතරතුර 2014 මාර්තු 13 වනදා සවස කිලිනොච්චි, ධර්මපුරම් ප්‍රදේශයේදී ජෙයකුමාරි සහ ඇයගේ දියණිය වන බාලේන්ද්‍රන් විභූෂිකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු ජෙයකුමාරි බූස්ස කදවුරේ රැදවුම්භාරයේ තබා, ඇයට සිටි එකම දරුවා වූ විභූෂිකා පරිවාස භාරයට පත් කළේ ය. රාජපක්ෂ පාලනයේ ගොදුරක් බවට පත් වූ ජෙයකුමාරි දින 362කින් පසු කිසිදු චෝදනාවක් නොලබා අධිකරණය විසින් ඇප මත මුදාහැරියේ ය. කිසිදු චෝදනාවක් නැතිව ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන රදවා තැබූවේ ශ්‍රී ලංකාවේ මුග්ධම පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි විරෝධතා, රැස්වීම් පවත්වමින් රටවටා ගිය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අද ශ්‍රී ලංකාව තුළ තිබුණ ද තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කිසිදු දේශපාලන උනන්දුවක් මාළිමාණ්ඩුව දක්වන්නේ නැත. ඒ වෙනුවට ඒ මර්දනීය පනතින් තවමත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් අත්අඩංගුවට පත්කරමින් ඇත.

ජෙයකුමාරි මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ ‘මගේ පුතා විතරක් නෙමේ. තව ගොඩක් ළමයි මේ වගේ අතුරුදහන්’ ලෙසයි. එක්සත් ජාතීන්ගේ බලහත්කාරී හෝ ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ගණන් බලා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ලෝකයේ දෙවෙනියට වැඩිම බලහත්කාරී අතුරුදහන් කිරීම් සිදු වූ රට වේ. ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලය වන උතුරු-නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට මේ ලියන මොහොත වන විට දින 2961 කි. පෙර ආණ්ඩු මෙන්ම ජාතික ජනබලවේග ආණ්ඩුවද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයන් ප්‍රතික්ෂේප කළේය. ඒ කිසිදු දේශීය යාන්ත්‍රණයක් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටු කිරීම කෙරෙහි දායක නොවන බව ඕනෑවටත් වැඩියෙන් යළි යළිත් තහවුරු වී ඇති පසුබිමකයි.

අතුරුදහන් කරන ලද සිය දරුවා සොයා යන ජෙයකුමාරි කොළඹ එන්නේ එවන් ආණ්ඩුවකින් යුක්තිය ඉල්ලා ගෙනය.

“මම මේ රජයෙන් ඉල්ලන්නේ කොහොම හරි මගේ පුතා හොයලා දෙන්න කියලා. මගේ පුතාගෙ අතපය නැතුව හරි කමක් නැ, පණ පිටින් මගේ ළමයා ගෙනත් දෙන්න. මම ඉල්ලන්නේ එච්චරයි.” ජෙයකුමාරි පවසයි.

“කිලිනොච්චියේ කෝවිලේ දී හමුවුණ වසයක් කෙනෙක් මට කිව්වා ‘පුතා කවදා හරි එනවා, මාව විශ්වාස කරන්න. මෙන්න මේක තියාගන්න. පුතා ආපු දවසක ඇවිල්ලා මට මොනවා හරි දෙන්න’ කියලා.” ජෙයකුමාරි සිය ගමන් බෑගයේ ඉතා පරිස්සමට සඟවා තිබූ දේව ප්‍රතිමාවක් ගෙන අපවෙත පෙන්වූයේ බලාපොරොත්තු දල්වාගත් දෑස් යොමාගෙනය. ‘මට විශ්වාසයි, එයා එනවා‘ ඇය කීවාය. ඒ අම්මලා ය.

ජෙයකුමාරි වන් දහසක් මව්වරුන් සිය දූ පුතුනට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමටත් ඊට වගකිව යුත්තේ කවුදැයි දැනගැනීමටත් තව වසර කීයක් අරගල කළ යුතුද?

සංජුලා පීටර්ස්
සම්පත් සමරකෝන්