සිංහල, Democracy, Eastern Elections, Peace and reconciliation

මඩකළපුව – පුංචි ඡන්දයට පෙරවදනක්

bote-tmvp.jpg

සටහන සහ ඡායාරූප – සුනන්ද දේශප්‍රිය

15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර වුණා. ඒ පළමුවැන්නා: “සුනන්ද දේශප්‍රිය නේද? මගේ නම අහන්න එපා. ඡන්ද වැටෙවි. බලෙන් ඉල්ලන අයත් ඉන්නවනෙ. ඒත් ඡන්දයක් අපට දැන් අවශ්‍ය නෑ. ” ඒ කෙටි උත්තර.

මේ දෙවැන්නා කළක් දන්නා මාධ්‍යවේදියෙක් ශාලාව ඇතුළට යන ගමන්. “ඡන්දය බොරුවක්. සියයට 35- 40 ක් ඕන නම් ඡන්දය දේවි. ටීඑම්වීපි යට ආයුධ තියෙනවා. ඒත් ඇපල් කණ්ඩායමට වාසි වැඩියි. ඒත් දෙමළ මුස්ලිම් මිශ්‍ර ප්‍රදේශවල ටීඑම්වීපියට වාසි වැඩිවේවි. මුස්ලිම් ඡන්ද කොන්ග්‍රසයට යාවි. පසුගිය මාසෙ උදලු 10,000 ක් බෙදල දුන්නා. කොවිල් වලට රු.15,000 ගානෙ දුන්නා. යූඇන්පිය ඉල්ලුව නම් අපි දෙන්නේ අලියට”

මුස්ලිම් දෙමළ විරසකය මඩකළපු පුංචි ඡන්දයේ ලොකු සාධකයක්. සමහර විට මිශ්‍ර පළාත් පාලන ආයතන වන ආරියම්පති. එරාවුර් පත්තු, වාකරේ සහ වාලච්චේනෛයි වල දි ප්‍රධාන සාධකය එය යි. “අනෙකාගේ බලය වැඩි වෙනවට අනෙකා කැමැති නෑ. මඩකළපුව තේරුම් ගන්න මේ අභ්‍යන්තර ගතිකත්වය තේරුම් ගන්න ඕන. මුස්ලිම් බහුතර ප්‍රදේශ හැම එකකම දිගටම ඡන්දය තිබුණා. ඒ ප්‍රදේශ වඩා දියුණු යි. මුස්ලිම් ඇමැතිවරු ඒ ප්‍රදේශවලට වැඩ කරා. දෙමළ බහුතර ප්‍රදේශ අත හැරුණා. මේ ඡන්දෙදිත් මිශ්‍ර ප්‍රදේශවල ජනයා ඡන්දයට යවන ගතිකත්වය මේ කාරණය වෙන්න පුළුවන්. කොළඹ ඉදළ මඩකළපුව දිහා බලන කොට පේන්නෙ යුද්ධ ප්‍රශ්නය විතරයි” එහෙම කියන්නේ සරිනිහර් කර්තෘ සිවකුමාර්.

තුන්වැන්නා ඡන්දයට පක්ෂයි “ඡන්දෙ ඕන. අව්රුදු 14 ක්ම තිබුනෙ නෑනෙ. අවුලක් නෑ . ඡන්දය හොදට යනවා. එල්ටීටිඊ ය දුර්වල යි. කළබල ටිකක් තියෙන්නේ වාලච්චේනෛ විතර යි. දිනන්නෙ ටීඑම්වීපි ය තමයි ”

වෙන වෙනස් අදහස් ඇති නමුත් මඩකළපුව කතා කරන්නේ නමක් නැතිව ය. “නම දාන්න එපා. කව්ද දන්නේ හෙට කව්රු ආයුධ අරන් එනවද කියලා ”, ප්‍රසිද්ධියේ දේශපාලනය නොකරන හැමෝම වගේ කියති. ඡන්දය ඇති හැම තැනකම ටීඑම්වීපියේ (එනම් කරුණා – පිල්ලෙයාන් කණ්ඩායම) විශාල ප්‍රචාරක පුවරු තිබේ. ඒවා නීතියෙන් තහනම් නමුත් නීතිය ක්‍රියාත්මක වී නැත. ටීඑම්වීපීය තරඟ වඳින්නේ බෝට්ටු ළකුණිනි. ඊපීආර්එල්එප්, ඊපීඩීපී සහ ප්ලොට් සංධානය ඇපල් ගෙඩිය ළකුණින් තරඟ වදී. ඇපල් ගෙඩි පොස්ටර් දුලබ ය. බෝට්ටු වැහි වැහැලා ය.

රැස්වීමට ටිකින් ටික සිවිල් සමාජ සංවිධාන ප්‍රධානීන් පිරුණි. 200ක් විතර ආව. සංවිධානය මානුශිය සේවා ආයතන සමූහය විසින්. ප්‍රසන්න පෙනුමින් යුතු සිල්වෙස්ටර් එහි ප්‍රධානියා.

මැය පුංචි ජන්දය. පොලීසියේ, එස්ටීඑෆ් එකේ ප්‍රධානීන් වේදිකාවෙ, බිෂොප් ස්වාමිපිල්ලේ සමඟ. සිවිල් සමාජ ප්‍රධානීන් කිසිවෙක් වේදිකාවෙ නැත්තෙ ඇයි? කණස්සල්ලට කාරණයක් ද? හැම පක්ෂයකම වගේ පුංචි ජන්දයට තරඟ වදින ප්‍රධානීන් සභාවෙ වාඩිවෙලා. සෑහෙන කාන්තාවන් පිරිසකුත්.

පළමු කතාව. රදගුරු ස්වාමි පිල්ලේ: අප හැම දෙනාම යඥා කරන්න ඕන සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් ලැබෙන්න කියළා. හැම ඡන්දයක්ම වටිනවා. ඒ නිසයි සාමකාමි අවස්ථාවක් තියෙන්න ඕන. අපට ඉවසීම අවශ්‍ය යි. ඡන්දය සාමකාමි සහ සාධාරණ වුනොත් එය සාමයේ සංස්කෘතියක් ගොඩ නැගිමට අවස්ථාවක් වෙව්.

ප්‍රසන්න නානායක්කාර, මඩකළපුවේ නියෝජ්‍ය පොලිස්පති සාමකාමී ඡන්දයක් තියන බවට සහතික වෙනවා. “ ආයුධ ගෙනියන්න දෙන්නෙ නෑ කාටවත්. අප අවශ්‍ය අයට ආරක්ෂාව ලබා දෙනවා. අපෙක්ෂකයින් 165 දෙනෙකුට පොලිස් නිලධාරීන් 800 ක් යොදවා තිබෙනවා. මේ ඡන්දය යුද පිටියක් වෙනවට පොලීසිය කැමැති නෑ. මඩකළපුවේ දේශපාලන නායකත්වය තොරා ගන්නා අවස්ථාවක්. අප හැමෝටම කියන්නේ සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට එකඟවෙන්න කියලයි. ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි. ලොකු සිද්ධි නෑ.”

තවත් කතා ගණනාවකට පස්සෙ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව. හතර දෙනෙක් ප්‍රශ්න ඇහුව. එක දෙමළ අයෙක්වත් ප්‍රශ්න ඇහුවෙ නෑ. ඇත්ත තත්ත්වයේ පිළිඹිබුවක්ද? දෙමළ සමාජය තවමත් ඉන්නේ ඝාතනයේ දේශපාලනයට බියෙන්. ඒ බිය අප සුනාමියේ සිට දන්නා එක් ගමකදිත් දකින්න තිබුණා.

“ගමේ අය ඡන්දයට කැමැති යි. ඒත් ටිකක් හදිස්සි වැඩිය කියලත් හිතෙනවා. ඡන්දෙ දාන නොදෙන එක එදාට තියෙන තත්ත්වය උඩ තිරණය වේවි. ඒත් ඔය ඡන්දය ඉල්ලන අය ගමට වැඩක් කරාවිද කියළ නම් කියන්න බැහැ. මේක පක්ෂ දේශපාලන සටනක්නෙ. සමහරු කියන්නෙ බුලත්විටිකාරයෙකුත් ඉල්ලල ඉන්නවය කියළා. ලැයිස්තුවල ගෑනු නම් ඇත්තෙ ම නැති තරම්. ඒ නිසා ගෑනු කට්ටිය ඡන්දෙ දායිද කියන්නත් බැහැ. බල කරොත් නම් බයට දාවි.”

දෙමළ ජාතික සංධානය නැගෙනහිර ජනයාට කල දෙයක් නැතැයි අයෙක් කියති. පාර්ලිමේන්තු මංත්‍රී ජොෂප් පර රාජසිංහම් ඝාතනයෙන් පසු මඩකළපුවෙහි ටීඑන්ඒ බලපෑම දුර්වලවී ඇති සෙයකි. මුස්ලිම් කොන්ග්‍රසය හැරුණ විට ජාතික තලයේ දේශපාලන පක්ෂ කිසිවක් මේ පුංචි ඡන්දයේ තිරණාත්මක කොටස් රඟ පාන්නේ නැත. පොදු පෙරමුණ ඉන්නේ නමට පමණ ය. එදා රුස්වීමටවත් බුලත් කොළයෙන් කිසිවකු ආවේ නැත. වාලච්චේනෛ දී පොදු පෙරමුණේ අමීර් අලි පොදු පෙරමුණට ඇති තරම් නරක නම ලබා දීමට සමත් වී සිටී. වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා චෝදනා ඔහු නමට සම්බන්ධ ය. මඩකළපු නගරයේ හැර බුලත් කොළ පෝස්ටර් දකින්නට නැත. සමහර විට එම කණ්ඩායම් ඉදිරිපත් කරන්නට ඇත්තේ ද වක්‍රාකාරයෙන් ටීඑම්වීපි ඡන්දපොළ නියෝජිතයින් වැඩි කර ගැනීමට විය හැක.

රෑ වෙලා ගෙදර එන්න යැයි අයකු කළ ආරාධනයකින් විශ්වාසවන්ත පරිසරයක කතාබහකට ඉඩ ලැබුන. “පසුගිය සතියෙත් වැල්ල අද්දරදි වසය 16 ක ළමයෙක් ඉස්සුවා. ළමා නිවාසයක ළමයෙක් අරන් යන්න හැදූ බවත් ආරංචියි. මිනිස්සුන්ට යුදදේ එපාවෙලා. කරුණා කණ්ඩායමටත් එහෙම වෙලා ඇති සමහර විට. දැන් සිද්ද වෙන්නෙ හරියටම එල්ටීටීඊ ය බලයට ආව වගේ වැඩක් නෙ. මේ අවස්ථාව ඡන්දයකට වෙලාවක් නෙවෙයි. අපට ඕන ප්‍රදේශය දියුණු කරගන්න. දැන් පාරවල් හොඳට හැදෙනවා. ආණ්ඩුවට කරන්න තිබුනෙ ඒක. මේ වැඩෙන් ආණ්ඩුවට මඩකළපු මිනිස්සු අතර නම් වාසියක් වෙන එකක් නෑ.”

මේ ඡන්දයේ ප්‍රධාන වාසිය ලැබෙන්නේ කරුණා පිල්ලෙයාන් පාර්ශවය නොහොත් ටීඑම්විපීයට බවට සැකයක් නැත. බොහෝ තැන්වල ඇත්තේ ඔවුන්ගේ හඩ සහ බලය පමණි. එහි ඉතිහාසය මෙන්ම වර්ථමානය ද බැදී ඇත්තේ ආයුධ සමග ය. ඉන් අනතුරුව සිදුවනු ඇත්තේ කුමක් ද? මසුරන් වටිනා ප්‍රශ්නය එය යි.

එයට ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහයට පැමිණීමට විභවයක් සහ හැකියාවක් තිබේ ද? එහි බලය එල්ටීටිඊ සමයේ ගොඩ නඟා ගත් සන්නද්ධ බලයේ කොටසක් පමණක්ද? මඩකළපුවේ යුද දේශපාලන වාතාවරණය ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන අවකාශයක් විවර කිරීමට තරම් ස්ථාවර ද? සන්නද්ධ බලය සහ ආණ්ඩුවේ සහාය නැති වුවද එයට මහජන සහායක් ලැබෙනු ඇත් ද? එයට යුද හමුදා සමග ඇති සමීප සබදතා කෙරෙන් ස්වාධින වී දේශපාලන බලයක් බවට පත් විමට ඉඩ ලැබෙනු ඇත් ද? නැතහොත් යුද්ධයේ ගොදුරක් ම බවට පත්ව සමාන්තර හමුදාවක් ලෙස සිටිමින් ම දේශපාලන බලය ද හොබවනු ඇත් ද? මේ වනාහී මඩකළපු පුංචි ජන්දය විසින් ඉදිරිපත්කරන අභියෝගාත්මක ප්‍රශ්නය.

අප ආපසු කොළඹ එන්නට පොලිස් අවසරය ගන්නට ගිය අතරවාරයේ දැක හදුනා ගත් රජයේ නිලධාරියකු කීවේ මෙයයි: “ජන්දෙ ගැන එච්චචරම විශ්වාස කරන්න එපා. හොදට වෙන්නත් නොවෙන්නත් පුලුවන්. ඒත් නිරීක්ෂනය කරන්න. ටිකක් ප්‍රවේසමෙන් ”