සිංහල, Colombo, Democracy, Media

පුරවැසිමාධ්‍යකරුවෙකුගේ සටහන් – ජනමාධ්‍ය, ආණ්ඩුව සහ අපේ ඉල්ලීම්

සුනන්ද දේශප්‍රිය

ජනමාධ්‍ය දුක්ගැනවිලි සොයා බැලීමට ආණ්ඩුව ඇමැති අනු කාරක සභාවක් පත් කරන බව දැන ගන්නට තිබේ. මේ වන විට එය පත්කර තිබීමට ඉඩ තිබේ. මේ කමිටුවට සොයා බැලීම පිණිස අඩුම වශයෙන් පහත සදහන් කරුණු ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු:

පසුගිය දෙ වසර තුළ ඝාතනය කරන ලද කිසිදු මාධ්‍ය සේවකයකු පිළිබඳව හෝ ජනමාධ්‍යට එල්ලකරන ලද තර්ජන ගර්ජන සහ බිය වැද්දවීම් කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවසාන කිරිමට ආණ්ඩුව අසමත්ව තිබීම. ඝාතනය කරන ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 14කි. පැහැර ග්නා ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 9කි. අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 13කි. ගිනි තැබීම් දෙකකි. ජනමාධ්‍ය ආයතන වසා දැමීම් තුනකි. බිය වැද්දවීම් සහ පහරදීම් සිය ගණනාවකි.


අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දෙසැ 27 වැනි දින රූපවාහිනී සංසංථාවට කඩාවැදීම සහ ඉන් අනතුරුව ඊට එරෙහිවූ ජනමාධ්‍යවේදීන්ට බිහිසුණු හිංසා පැමිණවීම. ජනාධිපති නියෝගයෙන් පසු එම වධහිංසා නතර වු නමුත් සිරස මාධ්‍ය ජාලයට එරෙහිව ප්‍රසිද්ධියේ තර්ජනය කොට එම තර්ජනය පසුගිය වෙසක් පොහෝ දින ක්‍රියාවට නැංවීම. එහෙත් මේතාක් මෙකී කිසිදු ජනමාධ්‍ය විරෝ්ධි ක්‍රියාවක් සම්බන්ධයෙන් එකී ඇමැතිවරයාට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම. ඇත්ත වශයෙන්ම නම් ආණ්ඩුව කරනු ලැබුයේ කැළණිය ආසනයේ සංවිධායක වශයෙන් ඔහුට උසස් වීමක් ලබා දීම ය.

ආරක්ෂ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මගින් ජනමාධ්‍ය ආයතන, කතුවරුන්, ජනමාධ්‍ය සංවිධාන සහ ඒවායේ ප්‍රධානීන් ද්‍රෝහීන් ලෙස නම් කොට ඔවුන් ගැන වග බලා ගන්නා ලෙස යුද හමුදා පිරිස් වෙතින් ඉල්ලා සිටීම. මෙම වෙබ් අඩවිය කතුවරුන් සහ කතුවරියන් බල්ලන් ලෙස විකට රූපයට නඟා තිබේ. ජනමාධ්‍ය ආයතන සංකේත රූපයන් එල්ටීටීඊ ලාංඡනය යොදා විකෘති කොට ප්‍රචාරය කරයි. ජනමාධ්‍ය ප්‍රධානින් නම් කොට ඔවුනට එරෙහිව කුපිතකාරි පිරිස් උසි ගැන්වීමට කටයුතු කරයි.

එම වෙබ් අඩවිය මඟින් ආරක්ෂ අමාත්‍යාංශයේ නාමයෙන් ජනමාධ්‍ය වෙත ස්වයං වාරණයක් සඳහා මගපෙන්වීම් ඉදිරිපත් කිරිම. මෙම වාරණ
“නියෝග” අනුව ජනමාධ්‍ය විසින් නොලියා සිටිය යුතු කරුනු මෙසේය: ආරක්ෂ හමුදාවන්හි උස්ස වීම් ලබා දීම හෝ නොදීම, ආරක්ෂ හමුදා විසින් කරන මිලදී ගැනිම්. ආරක්ෂ හමුදා යුද මෙහෙයුම් විවේචනය, නිල ප්‍රකාශකයින්ගෙන් හැර අන් ක්‍රම මගින් යුද්ධයට අදාළ තොරතුරු ලබා නොගැනිම. මේ අනුව ප්‍රමිතියෙන් බාල යුද උපකරණ ගෙන්වීම, වෙළද පොලේ මිලට වඩා මිලක් දී යුද උපකරන ගෙන්වීම, අක්‍රමවත් සහ පුද්ගලික ලැදියාවන් මත කරන උසස්වීම්, යුද මෙහෙයුම් හෝ ආරක්ෂක සැලසුම් හි අඩුපාඩු වාර්තා කිරීම සහ අනෙක් මුලාශ්‍ර මගින් තොරතුරු ලබා ගැනීම තහනම් ය.

මෙම අදහසම ජනාධිපතිවරයා කතුවරුන්ට ද දැන්වු බව ලක්බිම නිවිස් කර්තෘ රාජ්පාල් අබේනායක විසින් ද සනාථ කර තිබේ. මිලදී ගැනීම් සහ උසස්වීම් අතුලුව ආණ්ඩුවේ යුද්ධය විවේචනය කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා කතුවරුන්ගෙන් ඉල්ලා සිටි බව ඒ මහතා කියා සිටී.

දිගින් දිගටම ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය සංවිධාන ප්‍රධානීන් නම් කොට ඔවුන් මරාදැමිය යුතු බවට වක්‍රලෙස ඉල්ලා සිටින කුපිතකාරී සජීවී ගුවන් විදුලි වෛර වැඩසටහන් මෙහෙයවන හඩ්සන් සමරසිංහ ට ආණ්ඩුව විසින් රජයේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය පිරිනැමීම. මෙම වැඩ සටහන ටීඑන්එල් රූපවාහිනියට සම්බන්ධ ගුවන් විදුලි නාලිකාව හරහා කරගෙනු යනු ලබන්නේ එහි අධිපති ෂාන් වික්‍රමතුංග සහ හඩ්සන් සමරසිංහ එක්ව ය.

ජනමාධ්‍ය සංවිධාන පහේ නායකයින් තවමත් මේ පොලවේ ජීවත්වන එකනේ පුදුමේ යැයි එක් වතාවක සජීවි වැඩ සටහනින් කියා සිටි මෙම පුද්ගලයා පෝද්දල ජයන්ත ගැන වගබලා ගන්නා ලෙස එල්ටීටිඊ බෝම්බ ප්‍රහාරයන් ගෙන් විපතට පත් ජනයා උසි ගැන්වෙන සුලු පරිදි කතා කලේ ය. ජනමාධ්‍ය නිදහස පිලිබඳ එජාප ප්‍රකාශක වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මංත්‍රිවරයාගේ මවට සහගැසිය යුතු බවට කියා සිටියේ ය. ආණ්ඩුව මෙම දුරාචාර ජනමාධ්‍ය භාවිතය ගෙන යන හඩ්සන් සමරසිංහට මහජන සේවා විය යුතු නමුත් ආණ්ඩුවේ දේශපාලනයට යටත් කර ඇති ගුවන් විදුලි සංස්ථාව බාර දුන්නේ එම වෛර ප්‍රචාර දිරි ගැන්විමක් ලෙස ද?.

2008 මැයි 26 වැනි දින ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ සභාපති සහ ප්‍රධාන ලේකම් වන සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත කැඳවා ඔවුන් සිය ක්‍රියාකාරකම් හි දිගින් දිගට ම නියැලෙන්නේ නම් හමුදා පිරිස් අතින් ඔවුන් ගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට ආරක්‍ෂක ලේකම්වරයා විසින් කරන ලද තර්ජනය.

ජනමාධ්‍යවේදීන් 200කට වැඩි පිරිසක් සිය වෘත්තියේ නියැලී සිටි යාපනය අර්ධද්වීපයේ ජනමාධ්‍යවලට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ බිහිසුණු මර්දනකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵල වශයෙන් අද එහි ක්ෂෙත්‍රයේ වැඩ කරන කිසිදු ජනමාධ්‍යවේදියකු නොමැති වීම. උදයන් පුවත්පතෙහි කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ වසරකට වැඩි කාලයක් ජීවිතය රැක ගැනීම සඳහා සිය කාර්යාලය තුළ ම ජීවත් වීම.

ජනමාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් දින සියයකට වැඩි කාලයක් නඩු නොපවරා ත්‍රස්ත විමර්ෂණ අංශය යටතේ රඳවා තබාගැනීම. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද ජනමාධ්‍යවේදීනී මෞනුසාමි පරමේශ්වරී ත්‍රස්තවාදිනියකැයි රජයේ ප්‍රධානීන් දිගින් දිගටම චෝදනා එල්ල කිරීම.

මඩකළපුවෙහි ආණ්ඩු පාක්ෂික දේශපාලනඥයකු වන හිස්බුල්ලා හිතවාදි පිරිස් කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන්ට දිගින් දිගටම කරනු ලබන හිංසා පිඩා. ඔහු හැසිරෙන්නේ දෙවැනි මර්වින් සිල්වා කෙනෙකු ලෙස ය.

අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන සාමකාමී මහජන විරෝධතාවයන්ට ආණ්ඩු පාක්ෂික පිරිස් විසින් පුත්තලමේ දී සහ කොළඹ දී කරන ලද ප්‍රචණ්ඩ පහරදීම්.

මෙම කරුනු හදිසියේ විසදුම් සෙවිය යුතු ඒවාය. දීර්ඝ කාලීන ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අලුතෙන් තෙල් පිච්චීමට අවශ්‍ය නැත. මේ සඳහා 1995 පොදු පෙරමුණු ආණ්ඩුවේ මුලිකත්වයෙන් සකස් කරන ලද ජනමාධ්‍ය නීති සංසෝධනය සඳහා වු අර්.කේ. ඩබ්.ගුණසේකර වාර්තාව සහ ලේක්හවුසියේ අයිතිය පුළුල් කිරිම සඳහා වූ සිදත් ශ්‍රී නන්ද ලෝචන වාර්තාව, කර්තෘ සංසදය, පුවත්පත් හිමිකරු සමාජය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශයට පත් කළ 1998 කොළඹ ප්‍රකාශනය සහ ජනමාධ්‍ය සංවිධාන 5 නිකුත් කල 2005 ජනමාධ්‍ය ප්‍රඥප්තිය පදනම් ලියැවිල ලෙස යොදා ගත හැකි ය.