සිංහල, Colombo, Life quips, Media

වෙඩි වදින පෑන – මංජුල වෙඩිවර්ධන

ලංකාදීප සටන
ආරක්ෂක කමිටුවේ රැස්වීමක් දැනුම් දෙනු පිණිස මම මිත්‍ර කසුන් යාපා අමතමි.
’මොකද කරන්නේ’
’ප්ලේන්ටියක් ගහනවා’
’කොහෙද ’
’කැන්ටිමේ’

දැන්, විජය පත්‍ර සමාගමේ මිත්‍ර සන්ධානයට ප්ලේන්ටියක් ගැසීමට අවකාශයක් ඇත. ඒ භාග්‍ය උදා වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රමාණ කැපකිරීම් නිසාවෙන් බව එහි නූතන මාධ්‍ය පරපුර නොදනිති. එවක ලංකාදීපයේ සිටි අපගේ සරතැස නිවාලූ මධ්‍යස්ථානය වූයේ ලංකාදීපයේ විසල් පවුර අබියස පිහිටි අඹගස් සෙවනයි. ඒ කුඩා සොඳුරු අවන්හලේ හිමිකරු වූයේ ලෙංගතු මිනිසෙකු වූ ජයසිරිය.

’විජය’ පාලනයට හිසරදයක් වූ ’ස්වාධීන සේවක සංගමයේ’ නියමුවන් එකිනෙකා කප්පාදුවට ලක්කෙරෙද්දී අප කළ යුත්තේ කුමක් දැයි බොහෝවිට කතිකා කර ගත්තේ ද ජයසිරි ගේ අඹ සෙවන අවන්හළේය. ප්ලේන්ටියක් ගැසීමටවත් ඉස්පාසුවක් නො සැළසූ ඔත්තුකරුවෝ බී හමාර කළ හිස් කෝප්පය වටා ද කරක් ගැසූ හ. මුවහත් වෙමින් ආ වෘත්තීය අරගලය පස්සට තල්ලු කර දැමීමට කිසිවෙකුටත් නොහැකි විය. පරිපාලනය විසින් සිදුකරන ලද්දේ කප්පාදුව පෙරට දැමීමය.

සංගමයේ ලේකම් වූ කුමාරදාස ගිරිබාව ගේ වැඩ අත්හිටුවීමේ ලිපිය ලැබුණේ මේ අතරතුරය. අපේ සහයට කම්කරු බලවේග පවා ඒකරාශී විය. අද අප සමඟ එක්ව මාධ්‍ය සටනේ නියුතු’හරය’ පුවත්පතේ සංස්කාරක ඥාණසිරි කොත්තිගොඩ, එදා කම්කරුවන් අපේ සටනට කැඳවූ කම්කරු නායකයා විය. කොම්පඤ්ඤවීදියේ ’චූටි’ සහෝදරයාද හැම නිතරම සටනට සහය විය. ’ගිරා’ ගේ වැඩ තහනමට එරෙහිව අපි, ලංකාදීපය අබියස උද්ඝෝෂණය කළෙමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය් පතාක යෝධයෙකු වූ ආරියනන්ද දොඹගහවත්ත කාර්යාලය තුළ සේවයේ නිරතව සිටිය දී මෙසේ මාධ්‍ය කප්පාදුවක් සිදුවීම උද්ඝෝෂකයන්ගේ කෝපයට හේතු වි තිබුණි. ඊට එරෙහිව ඒ මොහොතේ නිර්මාණය වූ සටන් පාඨය වූයේ ’ගිරා එළිය් – දොඹයා ඇතුළේ’ යන්න ය.

දොඹගහවත්ත ගැන හෝ ගිරිබාව ගැන හාංකවිසියක් නොදත් කම්කරු මිත්‍රයන් එම සටන් පාඨය උච්චාරණය කළේ ’දොඹය එළියෙ – ගිරා ඇතුළේ’ යනුවෙනි. තීරණාත්මක මොහොතක දි පවා සියල්ලන් තුළම සිනහවක් ජනිත වනු දක්නට ලැබුණි.

අපි අඛණ්ඩ උපවාසයක් පිණිස කතිකා කොට ගතිමු. කොටුවේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ දීය. ඒ අනුව 1995 අගෝස්තු 8 වැනිදා උදෑසන අප අතරින් කිහිපදෙනෙකු ලංකාදීපයේ වහළය මත නැගීම සිදුවිය යුතුව තිබුණි. එහෙත් එදින පෙරවරුවේ අප කාර්යාලයට එන විට සියලුම පඩිපෙළවල් හරස් කරමින් ’වොච්ගාඩ්’ නම් ආරක්ෂක සේවයේ හැඩි දැඩි මුරකරුවෝ කාල වර්ණ නිලැඳුමින් සැරසී රැකවල් ලා සිටියහ. අපේ අවසන් සාකච්ඡාවට සහභාගී වූ ’විශ්වාසවන්ත සගයෙක්’ ඔත්තුව දී තිබුණි. මමත්, තිස්ස නිහාල් වික්‍රමසිංහත් සුනිල් සේරසිංහත් පරිගනක අංශයේ රම්‍ය අශෝකත් ආරක්ෂක කුටියේ වහලය මතට නැග ගතිමු.

අප වහලය මත සිටිය දී මහ පොළොව මත බොහෝ දේ සිදුවිණි.

උපවාසය අවසානයේ ඔත්තුකරුවන්, පාවා දෙන්නත්, පක්කලියන්, නාහෙන් අඬා සමාව ගෙන ඇතුළට රිංගාගත්තවුන් සහ රැකියා විරහිතයන් ලෙස මිනිස් ප්‍රබේද ගණනාවක් ශේෂ වී තිබුණි.

ඒ වසර 13කට පෙර අගෝස්තුවයි. නීතීඥ නිමල් ආර්. රණවක මිත්‍රයා ගාස්තු නොගෙන කළ කැප කිරීම නිසා ඉන් වසර තුනකට පසු අපට ලංකාදීපයෙන් වන්දි ලැබුණි. එහෙත් රැැකියාවක් නම් නොලැබුණි.

උපවාසය දා ලංකාදීප ’නවරැල්ලේ’ පළවනු පිණිස මම කවියක් ලියා තැබීමි.
අප වහලය මත සිටිය දී ජනේල වලින් බලා සිටි ලංකාදීප ප්‍රධානී සිරි රණසිංහයන් ඇතුළු බොහෝ වුන් ’සටන’ නො පැසසු නමුදු කවිය පැසසූ බව පසුව දැන ගන්නට ලැබුණි. එය මෙබඳු ය.

අවසාන කවිය
අවසාන හුස්ම පොද
වා ගැබට මුහුවෙලා යන්ට පෙර
අපේ උරුමය ලොවට
කියන්නට වෙර දරන
හද ගැඹුරු පත්ලෙන් ම මතුව එන
හැඟුම්බර අවසාන කවිය මෙය

බලාපල්ලා අපේ හිස මතට
තබා ඇති සුවිශාල කුළු ගෙඩිය
එය සෙමින් බිඳින්නට
දිරි වැඩෙන – හිත හැදෙන
අපි ගැන ම කියවෙනා කවිය මෙය

කටු කොහොල් පිරි මඟෙක යන අපිට
රතු පලස් කුමකට ද වෙන වෙන ම
පතුල් පැලිලා ගිය ද සත්කඩට
ඉදිරියට ඇදෙමු ඔව් අපි එකට

දිරිය සිතිවිලිවලින් කැටි ගැසුණ
මිතුරනේ අපේ සිත් කඳු වැටිය
කුමන බලවේගයක් උදා වුව
බිඳ දැමිය නො හැකිකම සතුටක් ය

වෑයමින් කෙසඟ දකුණත දිගැර
මැඳඟිල්ල කපාගෙන පිහිතුඩින
දහිරියේ රුහිරු බිඳු
පන්හිඳට එකතු කර
ගැටගැසූ අවසාන කවිය මෙය

එදා මිත්‍රයන් අද වෙන් වෙන් ව බොහෝ අත විසිව ගොසිනි. මා යළි මේ කවිය මෙනෙහි කළේ අද මිත්‍රයන්ට අදාලව ය.

මහින්දගේ ආගිය කතා

මහින්ද නම් දැරූ පමණින් හැමෝට ම මහින්ද හාමුදුරුවන් විය නොහැකිය. එසේ ම මහින්ද නම් දැරූ පමණින් හැමෝට ම මහින්ද රාජපක්ෂ ද විය නොහැකි ය.

දිනමිණ ප්‍රධාන සංස්කාරක මහින්ද අබේසුන්දර දෛනිකව ’කතු වැකි?’ තුනක් ලියයි. එක, රූපවාහිනිය ට ය. දෙක, ස්වාධීන රූපවාහිනිය ට ය. අනෙක, දිනමිණ ට ය. එහෙත් දිනමිණේ ඇත්ත කතුවැකිය ඔහුගේ නොවේ.

මේ තෙවැනි මහින්ද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන්ගේ පරම වෛරක්කරුවකු මෙනි. ඔහු තනිකර ම නගන්නේ අභූත චෝදනා ය. තනිකරම ආත්මගත සංසාරගත වෛරයක උරුමක්කාරයකු මෙනි. ’ආගිය කතා’ ලියූ සමයේ මහත් උනන්දුවෙන් කිය වූ ඔහුගේ ලියවිලිවලට මෙළෙස අසූචි මිශ්‍ර වූයේ ඇයි. අසූචි හා ඔහු අතර ඇති සම්බන්ධය කුමක් ද?

විටෙක ඔහු මාධ්‍යවේදීන් ’කොටි’ කරයි. විටෙක ’එන්ජිඕකාරයන්’කරයි. තවත් විටෙක මාධ්‍යවේදීන් ට ’දේශද්‍රෝහි’ හංවඩුව ගසයි.

යළි කොණ්ඩය, රැවුල් වවාගත් රස්තියාදුකාරයන් බවට පත් කරයි. මේ සා විශාල වූ වෛරයක් කොහෙන් පැන නැගෙන්නේ ද?

ඔහු ඊයේ පෙරේදා දිනවල මාධ්‍ය සංවිධාන සාක් වර්ජනය කරන ලෙස දෙස් විදෙස් මාධ්‍යවේදින් උසි ගැන්වූ බව පැවසීය. මේවා විකාරරූපි උපකල්පනයන් ය.

මාධ්‍ය සගයන් වෙනුවෙන් හා මාධ්‍ය නිදහස වෙනුවෙන් නිරන්තරව උස් හඬ නගන සනත් හා පෝද්දල ලැබූ සම්මාන පවා මෙම තෙවැනි මහින්ද අවමානයට ලක් කරයි.

’බලා සැනසෙන්නට නොව, බලා විමසන්නට’ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කරන ’විමසුම’ විශේෂාංගයෙන් ඉකුත් ජූලි 31 වැනිදාත් මාධ්‍ය සගයන්ට පහර එල්ල කෙරුණි. එදා එය අවසන් කෙරුණු වාක්‍යය මෙබඳු ය.
’බොරුවට හැමදාමත් ඉඩක් නැත. බොරුව හෙළි වූ විට, තත්ත්වය ජයගෙන බොරුකාරයන් සියල්ලන්ට ම ඉතිහාසයේ කුණුබක්කිය හිමි වනු ඇත’

මහින්ද, මෙම උද්දෘතය තමා කෙරෙහිම පවසන්නක් ද?