සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දෙමළ ජාතික අරගලය – මෙතැනින් කොතැනට ද?

සුනන්ද දේශප්‍රිය

පසුගිය මාස ගණනාව පුරා විදේශගත මෙරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවෙහි උතුරුකරය ගිනියම්කළා වූ බියජනක යුද්ධයට එරෙහිව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්ෂව ලොව පුරා දැවැන්ත උද්ඝෝෂනයන් හි යෙදුනි. මෙම උද්ඝෝෂනයන්හි ප්‍රධානතම සටන්පාඨය වුයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට වෙනම රටක් සඳහා අයිතිය ඇති බව ය.

ශ්‍රී ලාංකික දෙමළ ජනයා සිය අයිතීන් සඳහා දශක හයක් පුරා සාමකාමීව ද ආයුධ සන්නද්ධව ද කළ අරගලය දැන් කුමණ මාවතක් ගනු ඇත් ද? දෙමළ ජනයා මහත් ඛේදවාචකයකට මුහුණ දී සිටින මෙම දුෂ්කර දේශපාලන අවස්ථාවෙහි අවම හානි මගින් දිනාගත හැකි උපරිම ජයග්‍රහණ මොනවා ද? මෙරට දෙමළ ජනයාගේ ආත්මීය ගරුත්වය යළි නගා සිටුවීම පිණිස ගත හැකි දේශපාලන ක්‍රියා මාර්ග මොනවාද?

මා සිතන්නේ දැන් විදේශගත දෙමළ ප්‍රජාව සිය සැළකිල්ලට ගත යුතු එක් තීරණාත්මක ප්‍රශ්නයක් එය බව යි. ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික අරගලයේ ගමන් මඟ තින්දු කිරීමේ ලා ප්‍රධාන සාධකය නොවන්නේ නම් එක් ප්‍රධාන සාධකයක් බවට විදේශගත දෙමළ ප්‍රජාව අද පත්ව සිටින බව අප සියළු දෙනා පිළිගත යුතු ය.

ශ්‍රී ලංකාණ්ඩුව සමඟ කළ සම්ප්‍රදායික යුද්ධයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජයට පත්ව තිබේ. අන්තර් ජාතික ප්‍රජාවේ ඉල්ලීම අනුව යමින් සිය ආයුධ නිහඩ කිරීමට සූදානම් බවට 17වන ඉරිදා එල්ටීටිඊ අන්තර් ජාතික ප්‍රකාශක එස්. පත්මනාදන් විසින් කරන ලද ප්‍රකාශය එම පරාජය නිල වශයෙන් පිළිගැනීම විය. එහි නායක මංඩලයේ මරණ යුද්ධමය පරාජයේ අවසානය සටහන් කළේ ය. සදුදා උදෑසන ලංකාණ්ඩුවේ යුද හමුදා භූමිය අල්ලා ගැනීමේ සටන ජයග්‍රාහීව අවසන් කළා ය.

සර්ව සම්පූර්ණ නැතත් වඩා යුක්ති ගරුක සාමයකට තිබූ බොහෝ අවස්තා එල්ටීටීඊ ය පැහැර හැරියේ එහි තිබූ තදබල විශ්වාසයන් දෙකක් නිසා ය. එකක් නම් මෙරට දෙමළ ජනයාට වෙනම රටක් අවශ්‍ය ය යන්න යි. දෙවැන්න නම් සන්නද්ධ අරගලය මගින් ඊළාම් රාජ්‍ය ය පිහිටුවිය හැකිය යන්න යි. මෙම ස්ථාවරයන් දෙකෙන් ඉවත්ව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයක් ලබා ගැනීම සිය අරමුණ බවට පත්කර ගැනීමට තරම් දේශපාලන යථාවබෝධයක් එල්ටීටිඊ නායකත්වයට තිබුනේ නම් දෙමළ ජාතිකවාදී සන්නද්ධ අරගලය ජයග්‍රාහීව නිමා වන්නට හොදට ම ඉඩ තිබුණි.

ඇත්ත දේශපාලන ප්‍රශ්නය වන්නේ මෙරට දෙමළ ජනයාට වෙනම රටක් සඳහා අයිතියක් තිබේද නැත්ද යන්න නොව වත්මන් දේශීය සහ ලෝක තත්ත්වය තුළ වෙනම රටක් සන්නද්ධ අරගලය මගින් දිනා ගැනීමට හැකියාවක් තිබුනේ ද යන්න ය. එල්ටීටීඊ ය විසදා නොගත් ප්‍රශ්නය එය යි. එවැනි ඉඩක් තිබුනේ නැත. අද ඇත්තේ ද නැත. එල්ටීටීඊ ය ලද යුද්ධමය පරාජයේ පසුබිමෙහි ඇති යථාර්තය එය යි.

නම්‍යශීලී දේශපාලන ස්ථාවරයකට එළඹිමට එල්ටීටීඊ යට දේශපාලන දැක්මක් තිබුණේ නම් චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ සමහර විට මහින්ද රාජපක්ෂ සමඟ පවා අභ්‍යන්තර ස්වයං පාලනය සඳහා එකඟතා ඇති කර ගැනීමට ඉඩ තිබුණි. 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ ස්ථාපිත කරන ලද පළාත් සභා ක්‍රමය තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට ඉඩ කඩ තිබුණි. මෙම සෑම අවස්තාවක්ම දෙමළ ජනයාට ලැබුණේ ඔවුන්ගේ ජාතික අරගලයේ ශක්තියට ස්තුතිවන්නට ය. අද ඒ ශක්තිය නැත. දෙමළ ජනයා සමස්තයක් වශයෙන් සිටින්නේ දේශපාලන සහ සමාජමය වශයෙන් බිඳ වැටුණු සහ දුබල තත්ත්වයක ය. අද දෙමළ ජනයාගේ අයිතීන් සඳහා සටන් කළ හැකි ශක්තිය ඇත්තේ මූලික වශයෙන් විදේශගත දෙමළ ප්‍රජාව තුළ ය.

සිංහල බහුතර පාලනයක් විසින් මෙරට දෙමළ ජනයාට යුක්තිය සහ සමානාත්මතාවය සිය කැමැත්තෙන් ලබා නොදෙන බව නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තය යි. 1959 රටසභා පනතේ සිට 2002 සටන් විරාම ගිවිසුම දක්වා සියළු දේශපාලන වර්ධනයන්ට පාදක වුයේ ස්වකීය අයිතීන් උදෙසා මෙරට දෙමළ ජනයා කළ විවිධ අරගලයන් ය. දැන් එල්ටීටීඊ යට මහත් පරාජයක් අත්කර දෙමින් සම්ප්‍රධායික යුද්ධය අවසන් ව ඇති නිසා වඩා බර ඇත්තේ දෙමළ ජනයාගේ අයිතීන් ලබා නොදීමට සිංහළ බහුතර ආණ්ඩුවේ ලැදියාව වර්ධනය වීමට ය. දේශපාලන විසදුමක් අරභයා වන අන්තර් ජාතික ප්‍රජාවෙහි ඉල්ලීම් නොසළකා හැරීමට තරම් දේශපාලන බලයක් දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ය. ඒ බව ජනාධිපතිවරයා ඉතා ඍජුව පාර්ලිමේන්තුව හමුවේ ද කියා සිටියේ ය. දේශපාලන විසදුම යන වචනය හෝ එම දේශනයේ දී ඔහු පාවිච්චි කළේ නැත. ඔහු කියා සිටියේ විදේශිය විසදුම් අනවශ්‍ය බව යි. මේ වනාහී බලය බෙදීමට එරෙහිව යොදා ගැනෙන ප්‍රධාන තර්කය යි.

මෙම පසුබිම තුළ මෙරට දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය, ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යෑමට නම් මේ තීරණාත්මක වෙනස්කම් දෙකක් ඇති කර ගැනීමට දෙමළ ජාතිකවාදි ව්‍යාපාරය කල්පනා කළ යුතු ය. පළමුවැන්න ඊළාම් සංකල්පයෙන් ඉවත් වීමයි. දෙවැන්න සන්නද්ධ අරගලයේ මාවත වෙනුවට පාර්ලිමේන්තුවාදී අරගලය ද ඇතුළත්ව ප්‍රජාතන්ත්‍රවාදී මහජන අරගලයේ මාවත තෝරා ගැනීම යි.

දෙමළ ජනයාගේ අයිතීන් දිනා දීමට එල්ටීටිඊ විරෝධී යුද්ධයෙහි දී ශ්‍රී ලංකාණ්ඩුවේ සගයින් බවට පත් දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමත්වනු ඇතැයි සිතීම දුෂ්කර ය. මන්ද යත් ඒ සියල්ලන් ම ශ්‍රී ලංකාණ්ඩුව මත යැපෙන පුද්ගලයින්ගෙන් සමන්විත වන නිසා ය. එමෙන්ම ආණ්ඩුවේ සීමාවන් ඉක්මවා යෑමට මේ කිසිදු කණ්ඩායමකට හැකියාවක් නොලැබෙන නිසා ය.

කණගාටුවකට මෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතිකවාදි ව්‍යාපාරයකට අත්වැළක් විය හැකි දේශපාලන හැඩ ගැස්මක් හෝ ප්‍රජාතන්තවාදයේ ධජය ඉහලින් ඔසවා සිටිය හැකි ජාතික දේශපාලන පක්ෂයක් හෝ නැත. යුද්ධමය ජයග්‍රහණය විසින් දකුණේ රණකාමී සිංහල ජාතිකවාදය පෙර නොවීවිරු අන්දමින් ශක්තිමත් කර තිබේ. පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනුවට ශක්තිමත් වනු ඇත්තේ ”රට පෙරට” ’’බඩ වෙනුවට රට’’ ”ජාතික කොඩිය වටා එක්වීම” යනාදී සංකල්පයන් ය. එබැවින් දෙමළ ජනයාගේ අයිතීන් ගැන දකුනේ කෙරෙන කතා සියල්ල බලපෑමක් නැති ආංශික ඒවා වනු ඇත.

දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය ඔව්න් විසින්ම මුදුන් පමුණුවා ගත යුත්තක් මිස අන්තර් ජාතික ප්‍රජාව හෝ සිංහල දේශපාලනඥයින් විසින් හෝ ලබා දෙන දෙයක් නොවනු ඇති බව මෙමඟින් අපට එළඹිය හැකි නිගමනය යි.